Sep
01
ඉතාලියට පීසා හදන ලංකාවේ පීසා රජා
විවිධ ක්ෂේත්‍රවලින් ලොව ජයගත් ශ්‍රී ලාංකේය දූ පුතුන් අපමණය. එවැනි ජයග්‍රහණ ඔහුට හෝ ඇයට පමණක් නොව ශ්‍රී ලංකාවට ද මහත් අභිමානයකි. ගෞරවයකි. ඉන් ඇතැම් ජයග්‍රහණ ඉතා සුවිශේෂී ය. එසේ වන්නේ ශ්‍රී ලංකාවට අාවේණික නොවන ක්ෂේත්‍ර හරහා යම් කිසි ගෞරවයක් ලබා ගන්නා විටෙකදීය.
එවැනි දුර්ලභ ජයග්‍රහණයක් අත්කර ගැනීමට පසුගියදා ශ්‍රී ලාංකිකයකු සමත් විය. ඔහු නමින් අමල් සතරසිංහ ය. දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඉතාලියේ පදිංචිව සිටින පීසා සූපවේදියකු වන අමල් එම ක්ෂේත්‍රයේ සූපවේදියකුට ලබා ගත හැකි ඉහළම සුදුසුකම වන ‘මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර් ඔෆ් පීසා‘( Master Instructor of PIZZA )සහතිකයට හිමිකම් කීවේ එවැනි ගෞරවයක් ලද පළමු හා එකම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි.
ඉතාලියේ සුප්‍රකට වැනීසියේ පිහිටා ඇති ලොව පිළිගත් පීසා ඇකඩමියේ දී ( Accademia Pizzaioli)එම පාඨමාලාව සම්පූර්ණ කළ අමල් සතරසිංහට දැන් ලොව ඕනෑම රටක පීසා උපදේශකවරයකු ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි වී තිබේ. ලොව පුරා රටවල් 15ක ශාඛා පිහිටා ඇති පීසා ඇකඩමියේ මූලස්ථානයේදී අමල් ලැබූ සහතිකය ඔහුගේ පීසා සූපවේදි වෘත්තියේ අග්‍රඵලයයි.
“මේ සහතිකය ලැබීමට පාඨමාලා පහක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. ඒ පාඨමාලා 5ම සමත් වීමෙන් පසුවයි උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමේ සහතිකය ලැබෙන ප්‍රායෝගික හා ලිඛිත විභාගය පැවැත්වෙන්නේ. උනන්දුව, ආශාව, කැපවීම තියෙනවා නම් ලෝකය ජයගන්න එක අපිට එච්චර අමාරු වෙන්නෙ නෑ.“
‘මාස්ටර් ඔෆ් පීසා ඉන්ස්ට්‍රක්ටර්‘ පාඨමාලාව හැදැරීමට අමල් සමඟ අමෙරිකානු, ඉතාලි, රුසියා සහ චීනයේ පීසා සූපවේදින් රැසක්ම එක්වී සිටි අතර, එකම ශ්‍රී ලාංකේයා වූයේ ද අමල් ය.
“පීසා සූපවේදින් සඳහා ලොව පුරා දැඩි ඉල්ලුමක් පවතිනවා. මේ ක්ෂේත්‍රය ආර්ථික අතිනුත් ඉතා ඉහළ මට්ටමේ රැකියාවක්. මා ලැබූ අත්දැකීම් හා දැනුම ශ්‍රී ලාංකේය තරුණ පරපුරට ලබා දෙන්න මට බලවත් වුවමනාවක් තිබෙනවා.
ලංකාවේ බොහෝ අයට මේ ක්ෂේත්‍රය ගැන හරි දැනුමක් නෑ. මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න කියලයි. හැබැයි මග නවතින්නේ නැතිව ඉහළටම යන්න. මේක ඉල්ලුමට සරිලන සැපැයුමක් නැති ක්ෂේත්‍රයක්. ඒ නිසා ජාත්‍යන්තර තත්ත්වයේ පීසා සූපවේදියකු විදිහට අනාගතය සාර්ථක කරගන්න අපේ තරුණ පරපුරට හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි හරියට ඉගෙන ගන්න ඕනා. ආශාව, කැපවීමත් වගේම උනන්දුවත් තියෙන්නම ඕනා. ඉහළ වැටුපකට ලොව ඕනෑම රටක මේ රැකියාවට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.“
ඔහු පැවැසීය. 44 හැවිරිදි අමල් සතරසිංහ ඉතාලියේ ගත කරන 17 වැනි වසර මෙයයි. මේ දශක දෙකකට ආසන්න කාලපරිච්ඡේදයේ පීසා නිර්මාණ තරගාවලි රැසකින් පළමු ස්ථානය ලබා ගැනීමට සමත් විය.
“මේක ඇත්තටම කලාවක්. මේ පීසා නිර්මාණ කලාව කැපවීම හා උනන්දුව ඇති ඕනෑම කෙනකුට හදාරන්න පුළුවන්. මම පුදුම විදිහට දැනුම හොයාගෙන යන කෙනෙක්. ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් දැනුමක් ලබන්න අවශ්‍ය නම් මම ඕනෑම මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වියදම් කරනවා. මම මේ පීසා කලාව ඉගෙන ගත්තෙත් ඒ විදිහටයි.“ඔහු එසේ කීවේය.
මුල්ලේරියාව, රාහුල මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ අමල් සතරසිංහ සූපවේදියකු පමණක් නොව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වේ. මේ අපූරු සූපවේදියා ඉතාලියේ පීසා ලෝලීන්ගේ රස නහර පිනා යන ආකාරයේ පීසා සැකසුමට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂයෙකි. හෙතෙම ඉතාලියේදී සිය ක්‍රීඩා දස්කම් විදහා දැක්වීය. මේ වනවිට එරට ක්‍රිකට් සම්මේලනයේ ලියාපදිංචි තරග විනිසුරුවරයෙකි.
සූප ශාස්ත්‍රයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔහු අති දක්ෂ සටන් කලා ශිල්පියකුද වේ. අමල් සටන් කලාව ප්‍රගුණ කළේ ඉතාලියේ පදිංචියට යාමට පෙර වසර 6ක පමණ කාලයක් ජපානයේ රැකියාවක නිරතව සිටියදීය. මේ සියල්ලට අමතරව ජපානයේදි සංගීත කණ්ඩායමකට බැඳී කටයුතු කළ බව සඳහන් කිරීමෙන් ඔහු ගී ගැයුමට ද උපන් හපනකු බව හෙළි විය.
“මට පීසා සූපවේදි ක්ෂේත්‍රයට එන්න මුල් කාලේදි උදව් කළේ සුසන්ත මංගල සිල්පත්කාරිගේ. ඔහු දක්ෂ පීසා සූපවේදියෙක්. මේ ආපු ගමනට අතහිත දීම ගැන එයාට ස්තූති කරන්න ඕනේ“අමල් සිය කෘතවේදිත්වය පළ කළේය.
“මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවට ඇවිත් මේ දැනුම අපේ තරුණ පරපුරට බෙදා දෙන්න. “ ඔහු එසේ හෙළි කළේ සිය අනාගත බලාපොරොත්තුවය.
ඔහු පදිංචිව සිටින්නේ ඉතාලියේ ලුක්කා නගරයේ පිහිටි සුප්‍රකට පීසා කුලුන ආසන්නයේ ය. ඔහුගේ කැදැල්ල සිවුදෙනකුගෙන් සමන්විත ය. බිරිය ඉන්දු ජයවික්‍රම, පුතු ඉනෝන් නිම්සඳු සහ දියණිය ඉනොලි විසාක්‍යා මේ අපූරු සූපවේදියාගේ ජීවිතයේ පංගුකරුවෝ වෙති.
සිළුමිණ - රසදුන