Sep 19

උපතින් ආබාධිතව ඉපදුණත් ලොව දිනන සඳුනි කාවින්ද්‍යා කියූ සංවේදී කතාව


මේ ජීවිතයේදී අපට පාලනය කර ගත හැකි භෞතික දේ මෙන්ම පාලනය කරගත නොහැකි ස්වාභාවික දේ ද තිබේ. අපේ උත්පත්තියද එවැන්නකි. එය වෙනස් කළ නොහැක්කකි. වෙනත් විදියකින් කිවහොත් ජීවිතය ලැබෙන ආකාරයට පිළිගත යුතුය. ලද දෙයින් සැනසෙනවාය කියන්නේ එයයි.

ලද දෙයින් සතුටු වන අතරම තමන්ට හැකි ඉහළම ආකාරයෙන් ජීවිතය ජය ගන්නට උත්සාහ කරන්නෝද වෙති. පොල්ගහවෙල, වේගොල්ලේමඩ, වදාකඩ සඳුනි කාවින්ද්‍යා රාජපක්ෂ එවැන්නියකි. සිය ජීවන ගමනේ උඩුගං බලා පිහිනන 18 හැවිරිදි ඇය සොයා ඉකුත් දා අපි ඇගේ නිවෙසට ගියෙමු.

උපතින්ම අස්ථි බිඳී යෑම නිසා ඇගේ පාද දුබල වී තිබේ. ඇගේ මව ඇය පාසල් රැගෙන යෑම සඳහා සිය යතුරුපැදියට විශේෂ අසුනක්ද සවි කරවාගෙන ඇත.

සඳුනි ඉගෙන ගන්නේ වදාකඩ කු/විමලසුරේන්ද්‍ර විද්‍යාලයේ එකළොස්වැනි ශ්‍රේණියේය. ඇය ඉගෙනුමටද හපනියකි.

සඳුනි පාසලෙහි හිඳ සිටින්නේ විශේෂ රෝද පුටුවකය. ඇය ගායනයටද දස්කම් දක්වන්නීය. මව ඇය කැඳවාගෙන යෑම සඳහා පාසල ඇරෙන තුරුම රැඳී සිටියි.

සඳුනිගේ මව ජී. එන්. ඒ. චන්ද්‍රකාන්තිය. ඇය සිය දියණියගේ අතීතය සිහිපත් කළේ මෙසේය.

“සඳුනි දුව උපතින්ම අසනීප තත්ත්වයේ සිටියේ. අස්ථි නොවැඩීමේ රෝගී තත්ත්වය තිබුණා. එයාට අවුරුදු පහක් විතර  වෙනකොට ප්‍රතිකාර ගන්න නොගිය තැනක් නැහැ. අන්තිමට කොළඹ ළමා රෝහලෙන් කිව්වා “දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නැහැ. හොඳින් පරිස්සම් කරගෙන ඉන්න” කියලා. එදා ඉඳන් දුවත් එක්ක ගෙදරට වෙලා සුදුසු කාලය වන තෙක් අධ්‍යාපන කටයුතු කරගන්නත් අපහසු වුණා. ඒ වුණත් මම පසුබැස්සේ නැහැ. එයාට මම පොත පතේ පාඩම් කටයුතු කියලා දුන්නා. මේ ඉගෙනීම් කටයුතු කරගෙන යද්දී මට දැනුණා එයා ඉතාමත් බුද්ධිමත් කියලා. දුවට ලොකු ආසාවක් තිබුණා ඉස්කෝලෙකට යන්න. ඒත් මට ලොකු බයක් දැනුණා දරුවාට ඇවිද ගන්න බැරි නිසා පාසලක් ලබා ගන්න බැරි වෙයි කියලා. කොහොමහරි වදාකඩ පාසලට දුවව ඇතුළත් කරගන්න හැකියාවක් ලැබුණා. එදා ඉඳලා හැමදාම එයා පන්තියේ පළමුවැනියා.

මේ වෙනකොට දුව 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දුව එයාගෙ අසනීප තත්ත්වය යටපත් කරගෙන ඉගෙන ගන්න ධාරණ ශක්තිය වඩවා ගත්තා. ඒක මට විශාල ශක්තියක් වුණා. මම මුළු දවසම ගත කරන්නේ දුවත් එක්ක. මට තව පොඩි පුතෙක් ඉන්නවා. පහ වසරෙ. දුව මේ වෙනකොට සාමාන්‍ය පෙළට තොරතුරු තාක්ෂණ විෂය තමයි තෝරගෙන තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ එතැනින් එහාට ඉගෙන ගන්න මේ පාසලේ පහසුකම් නැහැ. මට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා ඊළඟ පියවරේදී. සෑම දෙනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. දුවගේ එදිනෙදා කටයුතු මමම කරන්න ඕනෑ. මටත් රැකියාවක් කරගන්න අපහසුයි. දුවගේ තාත්තා ගල් වැඩපළක තමයි වැඩ කරන්නේ. දුවගේ අනාගතය ගොඩනඟා ගන්න ශක්තියක් වෙන්න හැමෝගෙන්ම උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අධ්‍යාපන කටයුතුවලට ආර්ථික අපහසුකම් ගොඩක් තියේවි. ඒව මඟහැර ගන්න තමයි උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ”

ඉන්පසු සඳුනි කාවින්ද්‍යා දියණිය ද අප හා ‍දොඩමළු වූවාය.

“මම වදාකඩ විමලසුරේන්ද්‍ර විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්ව විභාගයෙනුත් ලකුණු 162ක් ලබාගෙන සමත් වුණා. ඒ වගේම මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරනවා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ඉදිරියට යෑම. ඒකට අපේ පාසලේ පහසුකම් මදි. මම උසස් පෙළට කරන්න හිතන් ඉන්නේ  technology විෂය. මගේ බලාපොරොත්තුව පරිගණක ගුරුවරියක් වීමයි. මගේ ශරීර අවයවවල අඩුව ගැන මම පසුතැවෙන්නේ නෑ. මගේ අම්මයි තාත්තයි, මල්ලියි තුන් දෙනාත් එහෙමයි. අම්මයි තාත්තයි හැම වෙලාවෙම මාව සතුටින් තියනවා. එයාලා මාව ඇවිදින්න බැරි දරුවෙක් කියලා ප්‍රතික්ෂේප කළා නම් මට මොන වගේ ඉරණමක් අත්වෙයිද කියන්න බෑ. ඒ හින්දා මං හැමෝගෙන්ම ඉල්ලන්නේ අපි වගේ අය කොන් කරන්න එපා කියලයි. අපිව අගය කරන්න. අපේ සැඟවුණු හැකියාවන් එළියට ගන්න අපිව සමාජගත කරන්න උදවු කරන්න. ඒ වගේම මගේ පාසලේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් මගේ යහළුවන්ටත් මගේ ස්තුතිය පුද කරනවා.”

සඳුනි කාවින්ද්‍යා දියණිය වෙනුවෙන් උදවු කිරීමට හැකි අයට 0769096586, 0713858214 යන දුරකථන අංක ඇමතිය හැකිය.

ඩිමේෂ් අධිකාරී - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.