Aug
31
දෑත් අහිමිවූන්ට කාර් හැදූ යුවතිය
දෑත් අහිමිවූවන්ට කාර් හැදූ යුවතිය ජෙසිකා කොක්ස් ඇමෙරිකානු කාන්තාවකි. ජෙසිකා, ගිනස් පොතට ගිය චරිතයකි. ජෙසිකාට උපතින්ම දෑත් අහිමි ය. ඇය සියලු කටයුතු කරගන්නේ පාද ආධාරයෙනි. ජෙසිකා වාර්තා අතරට ගියේ ලොව පළමු දෑත් අහිමි ගුවන් නියමුවරිය බවට පත්වෙමිනි.
ඒත් මේ කතාව ජෙසිකා කොක්ස් ගැන නොවෙයි, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තරුණියක ගැනය. ‘ඇරේබියන් බිස්නස්’ අරාබි සඟරාව 2018 වසරේ දී, අරාබි ලොව කැලැඹූ කාන්තාවන් 50 දෙනකු නම් කළේය. එම ලයිස්තුවට ඇය ද ඇතුළත් ය.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව දක්‍ෂ බුද්ධිමතුන් 100 දෙනකු හඳුන්වා දුන්නේය. එම ලයිස්තුවට ද ඇයගේ නම ඇතුළත් ය. පුරුෂාධිපත්‍යය රජයන අරාබි ලොවේ, කාන්තාවකට කළ නොහැක්කක් නොමැත යන්න ලොවට පෙන්වූ ඇය ඉංජිනේරුවරියකි. නව නිපැයුම්කාරියකි. ඇය 29 හැවිරිදි රීම් අල් මර්සුකී ය.
අල් මර්සුකී, එක්සත් අරාබි එමිරේට්ස් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා උපාධිධාරිනියකි. එක්සත් අරාබි එමිරේට්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, ඇය අබුඩාබි සහ ඩුබායි යන නගරවල ඉංජිනේරු උපදේශන සේවා සැපැයුම් සමාගම් කිහිපයක් සමඟ එක් වී කටයුතු කළාය. එයින් එක් සමාගමක් වන්නේ ‘මුසැනඩා’ ය. ‘මුසැනඩා’ ඉදිකිරීම් සමාගමකි. අල් මර්සුකී, පූර්ණ කාලීනව ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරද්දී, මෝටර් රථ කාර්මික ශිල්පිනියක් ලෙසත්, වඩු කාර්මික ශිල්පිනියක් ලෙසත් දැනුම වර්ධනය කරගත්තාය. ඇය පුරුෂාධිපත්‍යය රජයන සමාජයක කැපී පෙනෙන තරුණියක ලෙස අභියෝග ජයගනිමින් ඉදිරියට ගියාය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික වඩු කාර්මික තරගාවලියට පවා ඇය ඉදිරිපත් වූවාය. එක්සත් අරාබි එමිරේට්ස් ඉතිහාසයේ එම තරගාවලියට නිපැයුම් ඉදිරිපත් කළ පළමු කාන්තාව වන්නේ ද අල් මර්සුකී ය.
රීම් අල් මර්සුකී ට ජෙසිකා කොක්ස් ගැන දැනගන්න ලැබුණේ ‘ඉන්සයිඩ් එඩිෂන්’ නමැති වාර්තා වැඩසටහන නරඹද්දීය. ජෙසිකා සිය පාදවලින් සැහැල්ලු ගුවන්යානයක් පියාසර කර පෙන්වීය. තමන්ට තම පාදවලින්, සුක්කානම හසුරුවමින්, මෝටර් රථ පැදවිය හැකි වුවත්, එය වෙහෙසර ක්‍රියාවක් බව ජෙසිකා ‘ඉන්සයිඩ් එඩිෂන්’ වැඩසටහනේ දී පැහැදිලි කළාය. දෑත් අහිමි අයට සාමාන්‍ය මෝටර් රථ පැදවීම අනාරක්ෂිත බැවින්, තමන්ට වාහන පැදවීමට නීතිමය අයිතියක් නැති බව ද ජෙසිකා පැවැසුවාය.
දෑත් අහිමි වූවන් සඳහා පාදවලින් හැසිරවිය හැකි පාලක පද්ධතියක් සහිත විශේෂිත කුඩා මෝටර් රථයක් නිර්මාණය කිරීමට අල් මර්සුකී ට සිතුණේ එම අවස්ථාවේදීය. එය එම පද්ධතිය නිර්මාණය කළ අතර, එය නව නිර්මාණයක් විය. අනුකරණයක් නොවිණි. අල් මර්සුකී නිර්මාණය කළ පද්ධතිය හැඳින්වෙන්නේ ‘ලෝවර් එක්ස්ටර්මිටි වෙහිකල් නැවිගේෂන් සිස්ටම්’ යන නමිනි. පාදවලින් හැසිරවිය හැකි සුක්කානමක්, තිරිංග ලිවරයක් සහ වේගය පාලනය කරන ඇක්සලේටරයක් ඊට අයත් ය. ඒ අනුව, මෙම පද්ධතිය සහිත මොටර් රථයක් සිරුරේ පහළ කොටසින් පමණක් ධාවනය කළ හැකිය. අල් මර්සුකී, මෙම පද්ධතිය සවි කළ කුඩා මෝටර් රථයක් නිර්මාණය කළේ එක්සත් අරාබි එමිරේට්ස් විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනිමිනි. ඒ, එක්සත් අරාබි එමිරේට්ස් විශ්වවිද්‍යාලයේ ටකාමුල් නමැති ව්‍යාපෘතිය යටතේය.
2014 දී එක්ස්පෝ සයන්ස් ජාත්‍යන්තර ප්‍රදර්ශනයට රීම් අල් මර්සුකීගේ නව නිර්මාණය ඉදිරිපත් කෙරුණු අතර එය කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. නිර්මාණකරු එක්සත් අරාබි එමිරේට්ස් තරුණියක බව අනාවරණය වූ විට, එහි වටිනාකම ඉහළ ගියේය. මහා බ්‍රිතාන්‍යයේ ‘නව නිපැයුම් 100’ යන නමින් පැවැත්වූ ප්‍රදර්ශනයට ද අල් මර්සුකීගේ කුඩා මෝටර් රථය ඉදිරිපත් කෙරුණි. හොඳම නව නිර්මාණකාරිය ලෙස 2014 දී අල් මර්සුකී සම්මානයට පාත්‍ර විය. ඇය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අභිමානයක් විය. කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වුණු 51 වැනි නව නිර්මාණ ප්‍රදර්ශනයට ද අල් මර්සුකීගේ මෝටර් රථය ඉදිරිපත් කෙරුණි. නිර්මාණය වෙනුවෙන් ඇමෙරිකාවෙන් රීම් අල් මර්සුකී ට පේටන්ට් බලපත්‍රයක් පිරිනැමුණි. ඇමෙරිකාවේ දී එක්සත් අරාබි එමිරේට්ස් ජාතිකයකු ට පේටන්ට් බලපත්‍රයක් හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. අල් මර්සුකීගේ මෙම නව නිපැයුම ලොවට හඳුන්වාදීමත් සමඟ පළමුවෙන් ඊට ප්‍රතිචාර ලැබුණේ ජපානයෙනි. ජපානය පමණක් නොව චීනය සහ යුරෝපා රටවල් ද පවා අල් මර්සුකීගේ තාක්‍ෂණය භාවිතයට ගැනීමට එක්සත් අරාබි එමිරේට්ස් විශ්වවිද්‍යාලයෙන් අවසර ලබාගෙන ඇත.
ලුසිත ජයමාන්න
කලීජ් ටයිම්ස් ඇසුරිනි