Apr
29
පිවිතුරු හෙල උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ජනපතිට උවමනා නෑ.
කොවිඩ්19 වසංගතය මැද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිතුමා උත්සාහ කරන බවට විපක්ෂය චෝදනා කරනවා. ඒක පදනම් විරහිත කතාවක්. ජනවාරි 26 දින ලංකාවේ පළමු කොවිඩ්19 පළමු රෝගියා වාර්තා වුණා. එයා පෙබරවාරි 19 සුවය ලබා රෝහලෙන් පිට වී ගියා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට ජනවාරි 26 සිට මාර්තු 2 දක්වා දින 35ක් පුරා ලංකාවේ කොවිඩ්19 රෝගියෙකු වාර්තා වී තිබුණේ නෑ. ඒ් අනුව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබුණු පළමු අවස්ථාවෙන්ම ජනපතිතුමා සිය බලය පාවිච්චි කළා. ඊට දින 9කට පසු මාර්තු11දා තමයි කොවිඩ්19 රෝගියෙකු වාර්තා වෙන්නේ.
ජූනි 20දා මැතිවරණය පැවැත්විය යුතු බවට තීරණය කලේ ජනාධිපතිතුමා නොවේ. මැතිවරණ කොමිසමයි. මැතිවරණයට දින නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින නිසා ඔවුන් දින නියම කළා. මැතිවරණය නොපැවැත්තුවා කියා අපට කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. ජනපති අපේ. අගමැති අපේ. ඇමතිවරුත් අපේ. මැතිවරණය පැවැත්වුවොත් අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන නිසා මැතිවරණය පැවැත්වුවත් නැතත් ආණ්ඩුව අපේ. ඒ නිසා කොවිඩ්19 වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට අපට කිසිම හදිස්සියක් නෑ.
කොරෝනා මැදට මැතිවරණය ගෙනාවේ එජාපයයි.
සාමාන්‍යයෙන් ජනපතිවරණ ජයග්රහණයෙන් පසු ඕනෑම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වනවා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමාට ඒ සඳහා මාර්තු 2දා වන තුරු බලා සිටින්න සිදු වුණා. ඊට හේතු වුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට හැක්කේ වසර හතරාමාරක් සම්පූර්ණ වූවාට පස්සේ කියා විධිවිධානයක් එකතු කිරීමයි. එජාපය ඒ බාධකය ජනපතිතුමාට ඇති කලේ නැති නම් පසුගිය නොවැම්බර් මාසයේ දී ම පාර්ලිමේන්තුව විසුරුවා හරින නිසා වසංගතයට කලින් නැවුම් පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබුණා. ඒ නිසා කොරෝනා මැදට මැතිවරණය ගෙන ඒ්මේ වගකීම එක්සත් ජාතික පක්ෂය භාර ගත යුතුයි.
කොරෝනා රෝගින් ගණන වැඩි වුණත් පොකුරු ඇත්තේ තුනක් පමණයි
පසුගිය දිනවල කොරෝනා රෝගින් ගණන සීඝ්රයෙන් වැඩි වුණු නිසා රටේ ජනතාව භීතියට පත් වී තිබෙනවා. රෝගින් ගණන වැඩි වුණත් තවමත් ලංකාවේ සමාජ පැතිරීමක් නැතිනම් social spread එකක් සිදු වී නෑ. සමාජ පැතිරීම යනුවෙන් හඳුන්වන්නේ තමන්ට බෝ වුණේ කෙසේදැයි හඳුනා ගැනීමට නොහැකි අයුරින් රෝගය වැලැඳීමයි. නමුත් ලංකාවේ හමු වන රෝගින්ගේ දම්වැල හඳුනා ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. එසේ හඳුනන්නේ නැත්තේ කිහිපදෙනෙකුගේ පමණයි.
ලංකාවේ කොවිඩ්19 පොකුරු 15ක් ඇති වුණා. සංචාරක මග පෙන්වන්නාගේ පොකුර, මැණික් ව්‍යාපාරිකයාගේ පොකුර, අටළුගම පොකුර, බේරුවල පොකුර, පුත්තලම පොකුර, අකුරණ පොකුර, යාපනය පොකුර යනා දී වශයෙන් මුල් යුගයේ තිබුණු පොකුරු සියල්ලම දැන් නිවී ගිහින්. තවමත් සක්‍රිය තිබෙන්නේ පොකුරු තුනක් පමණයි. ඒ බණ්ඩාරනායක මාවත පොකුර, සුදුවැල්ල පොකුර සහ නාවික හමුදා පොකුරයි. මේ තුනේම කුඩා ප්‍රදේශයක විශාල පිරිසක් ජීවත් වන නිසා පැතිරීම වේගයෙන් සිදු වී පොකුරෙන් බිහි වන රෝගින් ගණන දැවැන්ත ලෙස ඉහළ ගියා. මේ වන විට ඒ රෝගින් ඇසුරු කළ අය වලලු තුනක් දක්වා හඳුනා ගෙන නිරෝධානයට ලක් කර තිබෙන නිසා සමාජ පැතිරීමකට යෑමට ඇති ඉඩ හරිම අඩුයි.
ප්‍රශ්ණය : ජනාධිපතිතුමා මහා සංඝරත්නයෙන් අනුශාසනා ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ මත පලකෙරෙනවා. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ.
පිළිතුර : එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල් වාදීන් මේ රටේ ඉතිහාසය නොදැන හිටියත් මේ රට වසර දෙදහස් තුන්සීයක් පුරාවට රාජ්‍ය නායකයින් පාලණය කලේ මහාසංඝරත්නයේ අනුශාසනා මත. මහා සංඝරත්නය මේ රටේ රාජ්‍ය නායකයන්ට අනුශාසනා කිරීම ඓතිහාසික කාර්යභාරයක්. එසේම අනුශාසනා ලබාගැනීම අනුලංඝණීය වගකීමක්. පසුගිය වසර පහේ යම් ආකාරයකින් එය පලුදු වීමක් සිදු වුණා. නමුත් ජනපතිතුමන් සෑම මසකම තුන්වන සිකුරාදා මහා සංඝරත්නය මුනගැසී අනුශාසනා ලබාගැනීමට ගත් තීන්දුව මේ රටේ උරුමයට යලි පණදීමක් ලෙසයි අප දකින්නේ.
මහාසංඝරත්නයෙන් ජනපතිතුමන් අනුශාසනා ලබා ගන්නවා විනා ජනපතිතුමන් උන්වහන්සේලාට අනුශාසනා කරන්නේ නෑ. මේ රටේ උත්තරීරත මහා නායක ස්වාමීන්වහන්සේලාට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා අපහාස කර තිබෙනවා ජනාධිපතිතුමන්ට තමන්ගේ දේශපාලන අවශ්‍යතා සදහා පාවිච්චිකල හැකි මෙවලම් විදිහට මේ රටේ මහනායක ස්වාමීන්වහන්සේලා හදුන්වාදීමෙන්. මම හිතනවා එතුමන් ඒ සම්බන්ධයෙන් මහනායක ස්වාමීන්වහන්සේලාගෙන් සමාව ඉල්ලිය යුතුයි කියලා.
ප්රශ්නය : වෛරසය පාලනය සම්බන්ධයෙන් විපක්ෂය රජයට දිගින දිගටම චෝදනා කරණවා නේද ?
පිළිතුර : ලෝකයේ රටවල් සහ ස්වාධීණ පරිපාලන ඒකක 210 ක මේ වන විට වෛරසය පැතිර තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් සියල්ලම වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ නැතුව මුරණ්ඩු ලෙස කටයුතු කලා කියන එකද ? ඒ රටවල් එක්ක බලද්දි ශ්‍රී ලංකාව විශිෂ්ඨ තැනක ඉන්නවා. රොගීන් 588 කට අපේ මරණ වාරතාවී ඇත්තේ හතයි. ආණ්ඩුවේ සැලැස්ම හා එයට ජනතාව දක්වන ප්‍රතිචාරය කියන එකයි මේකෙන් පේන්නේ. අපේ මිලියන 22 ටම මුරණ්ඩු කියන දේ නාහන 25 දෙනෙක් හිටියනම් ඇති මේ රටම කොරෝනා වෛරසයට ගොදුරු වෙන්න. නමුත් මේ රටේ නම් සාතිශ්‍යය බහුතර ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි ඔවුන් ආණ්ඩුවට උපරිම සහය දෙනවා දී ඇති උපදෙස් පිළිපදිමින්. මේ මරණ අනුපාතය පෙන්වන්නේ අපේ සෞඛ්‍ය අංශ කෙතරම් කාර්යක්ෂමද යන්නයි. ලෝකයේ මේ වන විට මරණ අනුපාතය 7%යි. ලෙඩුන් සීයකට 7 දෙනෙක් මිය යනවා. නමුත් ලංකාවේ එය 1.2%. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක හමුවලදී කිව්වේ ජර්මනිය ආදර්ශයට ගන්න කියලා. නමුත් ජර්මනියේ මේවනවිට මරණ අණුපාතය 3.9%යි. කාලයක් කිව්වා කියුබාව සිංගප්පූරුව ආදර්ශයට ගන්න කියලා. නමුත් කියුබාවට සිංගප්පූරුවට වඩා හොදින් අප මෙය පාලණය කර තියෙනවා. ඉතින් කවුරු හරි ආණ්ඩුවට බණිනවනම් කොරෝනා පාලනයට ආණ්ඩුව අසමත් කියලා එය ලෝක තත්වය ගැන මෙලෝ හසරක් නොදන්නා සංඛ්‍යාලේකණ විශ්ලේෂණය කරගත නොහැකි පිරිස් කියන කතා. මාස තුනක් තිස්සෙත් සමාජ පැතිරීමක් නොවන්නට අප වග බලාගත්තා කියන්නේ අපි දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. එය අගේ කිරීමට නොහැකි කුහක අය සිටිනව නම් ඔවුන් අපහාස කරන්නේ අප මව්බිමට මිස ආණ්ඩුවට නොවේ.
– අරවින්ද අතුකෝරල