Apr 29

අවුරුදු පහක් එක දිගට ජනතාවගේ ගායිකාව වුණු රහස


පස්වැනි වරටත් ජනතාවගේ හදවතේ ගායිකාව ඔබයි. ඒ ගැන සතුටින් ඇති?

ඔව්. ඇත්තටම ස්ලිම් නෙල්සන් පීපල්ස් අවෝඩ් සම්මාන උළෙලේදී පස්වැනි වතාවටත් ජනතාවගේ ගායිකාව වෙන්න මට වාසනාව උදාවුණා. 2016 වසරේ ඉඳලා 2020 දක්වා මට පුළුවන් වුණා මේ සම්මානය එක දිගටම ලබා ගන්න.

මේ සම්මානය අනෙක් සම්මානවලින් වෙනස් වෙන්නේ ජනතාවගේ කැමැත්ත, ආදරය නිසා ලැබෙන සම්මානයක් නිසයි. ජනතාවගේ ආදරය නිසා ලැබුණු සම්මානයක් කියලා දැනෙන කොට හැඟෙන සතුට වචනවලට පෙරළන්න බැහැ.

දැනට මම ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව වැඩ කරන්න පටන් අරන් අවුරුදු 20ක් විතර වෙනවා. ස්ලීම් නෙල්සන් සම්මානය එක දිගට වසර පහක් ලැබීමෙන් පේන්නේ ජනතාවගේ හදවතේ කාලයක් තිස්සේ මට එක දිගට නවතින්න පුළුවන් වුණා කියන පණිවුඩය. ඒ වගේම ඒ ප්‍රේක්ෂක ආදරය, කැමැත්ත මට සජීවී ප්‍රසංග තුළදී නිරන්තරයෙන්ම ලැබෙනවා. මට මේ ක්ෂේත්‍රය තුළ කාලයක් තිස්සේ රැඳෙන්න හයියක් වුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමෝම නිසා සහ ආදරණීය රසිකයන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසයි මේ සම්මානය මට ලැබුණේ.

එක දිගට වසර පහක් ස්ලිම් නෙල්සන් පීපල්ස් අවෝඩ් සම්මානය ලැබීම හරහා ඔබේ කලා දිවියට ලැබුණු ආලෝකය ගැන කතා කරමු?

ඇත්තටම මම හිතන්නේ ගායිකාවක් විදිහට එක දිගට අවුරුදු පහක් සම්මානයට පත් වුණාට, ඊට පෙර සිටම ඒ කියන්නේ මගේ පාරමිතා ගීතය නිකුත් වුණු කාලයේ ඉඳලා ජනතාවගේ ආදරය නිරන්තරයෙන් මට ලබන්න පුළුවන් වුණා. මට හිතෙන විදිහට ජනතාව ආදරය කරන්නේ මගේ හඬට, මගේ ගීතවලට විතරක් නෙවෙයි. අපේ රටේ ජනතාව කැමැතියි ජනප්‍රිය චරිතයක් වුණාම ඒ කෙනා ආදර්ශවත් චරිතයක් වනවා දකින්න. රසිකයා බලාපොරොත්තු වන ඒ ආදර්ශවත් චරිතයක් බවට පත්වෙන්න මට පුළුවන් වුණා. මම ගායිකාවක් වුණා කියලා වෙනස් වුණේ නෑ.

ගමෙන් ආපු කෙනා විදිහටමයි මම ජීවත් වෙන්නේ. අවුරුදු පහක් මේ සම්මාන එක දිගට ලැබෙන්න වාසනාවම නෙවෙයි හේතු වෙන්නේ. ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරද්දී අපට කරන්න වෙන කැප කිරීම්, නිර්මාණයක් තෝරා ගන්න විධිය, ඒ හැමදේම එක්කයි වසර පහක් එක දිගට රැඳෙන්න පුළුවන් වුණේ. මේ සම්මානය එක දිගට අරන් තියෙන්නේ නන්දා මාලනී මහත්මිය. ඇයත් ආදර්ශවත් සහ අපි හැමෝම ගරු කරන චරිතයක්. ඒ වගේම ජනතාවගේ හදවතේ මමත් ඉන්න නිසයි මට මේ සම්මානය එක දිගට ලැබෙන්නේ. හැබැයි මට තවම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මෙවැනි ඇගැයීම් හරහා තවත් නිර්මාණ කරන්න ශක්තියක් මට ලැබෙනවා. ඒ මොකද ජනතාවගේ ආදරය තමයි මේ සම්මානයක් ලෙස අපේ අතට ලැබෙන්නේ.

ඔබ ජනප්‍රියත්වය රඳාපවත්වා ගන්නේ වෙනස් විදිහකට නේද?

ඇත්තටම මම මගේ ජනප්‍රියත්වය රැකගන්න ඕනේ නිසා කිසිම දෙයක් කරන්නේ නෑ. මගේ සාමාන්‍ය ජීවිතේ මම ජීවත් වෙන විදිහට තමයි මම ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙත්. හැබැයි ගොඩක් දෙනෙක් හිතනවා මම හැසිරෙන්නේ ආරූඪ කරගත්ත විදිහකට කියලා. ඒත් ඇත්ත ඒක එහෙම නෙවෙයි. මම අඳින්නේ පලඳින්නේ කතාබහ කරන්නේ මම පුරුදු වුණු විදිහට. පුංචි කාලයේ ඉඳලා ගමේ ජීවත් වුණු මම සරලකමට සහ සංවරකමට කැමැතියි. මම ගමෙන් නගරයට සේන්දු වෙන්නේ අධ්‍යාපන කටයුතු එක්ක.

මගේ මුල්ම සංගීත ගුරුවරයා තාත්තා. ගමේ ඉන්න කාලයේ අපිට විදුලිය තිබුණේ නෑ. හැබැයි අපිට ගුවන්විදුලිය අහන්න තාත්තා ඉඩ සලස්වලා දුන්නා. ඒ කාලේ ගෙදර පොඩි ඕගන් එකක් තිබුණා. ඒක වාදනය කරලා තාත්තා පොඩි පොඩි සින්දු කියලා දුන්නා. ඒ වගේම මගේ අම්මා කියන්නේ හරිම සරලව අඳින ගැමි මවක්. ඉතින් ඒ මවුපියන්ගේ ආදර්ශය පුංචි කාලයේ ඉඳලා මට ලැබුණු නිසයි මම ඒ සරල ජීවිතයට කැමැති වුණේ. නැතුව ජනප්‍රියත්වය වෙනුවෙන් නෙවෙයි මම ඒ විදිහට ජීවත් වෙන්නේ.

ඒ කියන්නේ ඔබේ සරලකමට පවුල් පසුබිම බලපෑවා?

තාත්තා ඒ කාලයේ මාව වැඩසටහනකට එක් කරගෙන යද්දී කිහිප වතාවක් හිතනවා මට ඇඳීමට දෙන ඇඳුම ගැන. ළමයි තමාගේ ජීවිතයට ආදර්ශයක් කරගන්නේ ගෙදර. ඒක නිසා වර්තමානයේ අම්මලා තාත්තලා සැලකිලිමත් වෙන්න ඕනේ දරුවන්ට ඇඳුම් තෝරා ගනිද්දී. විශේෂයෙන්ම ගැහැනු ළමයින්ට. ඒ පුරුද්ද තමයි ඒ ළමයින් ඉස්සරහට ගෙනියන්නේ. මට මගේ මවුපියෝ පුංචි කාලයේ ඉඳලා හරිම සංවරව අඳින්න පුරුදු කළා. ඉතින් මමත් ඒ විදිහට තවම කැමැතියි.

ඒ වගේම ආදරණීය රසිකයන්ට මම එයාලාගේ කැමැතිම ගායිකාව කියලා කියන්න පුළුවන් විදිහට ආදර්ශවත්ව ජීවත් වෙනවා. සමහර අය ගායිකාව කියන නම රැකගන්න කාන්තාවක් ලෙස ජීවිතේ කරන්න ඕනේ දේවල් අතපසු කරගන්නවා. හැබැයි මම එහෙම කළේ නෑ. මම නියමිත කාලයේදී විවාහ වුණා. දැන් මම දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ වගේම මගේ පවුලේ අම්මා, තාත්තා, සැමියා, දරුවන් අපි සියලුදෙනාම එකට ජීවත් වෙන්නේ. ඒ වගේම කලා ක්ෂේත්‍රය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ගායන ශිල්පිනියක් ලෙස රැඳීමට නම් කාලයෙන් කාලයට වෙනස් වෙන විවිධ ශෛලීන්වලට අපි යාවත්කාලීන වෙන්න ඕනේ.

ඔබ කාලයක් දැක්කේ එක ශෛලියකින්. දැන් ඔබ විවිධ ශෛලීන්වලට අයත් ගීත ගායනා කරනවා?

මගේ පාරමිතා ගීතයේ ඉඳලා අද වන තෙක් මම විවිධ ශෛලීන්වලට අයත් ගීත ගායනය කරලා තියෙනවා. ඒකත් එක්ක කාලයක් තිස්සේ එකම විදිහට ජනප්‍රිය වෙන්න පුළුවන් වුණා කියලයි මම නම් හිතන්නේ. මම මුලින්ම 90 දශකයේ ගීත රටාවට අනුව තමයි පාරමිතා ගී එකතුවේ තනු නිර්මාණය කරගත්තේ. ඊට පස්සේ මට කැමැත්තක් ඇති වුණා විවිධ ශෛලීන්වල ගීත ගායනා කරන්න.

2005දී විතර මම නිර්මාණය කරගන්නවා කසුන් කල්හාරට කියලා 'ආකාසයේ දුර ගිම්හානේ' කියන ගීතය. වසන්ත කුමාර මහත්තයා තමයි පද රචනා කළේ මේ ගීයේ. ඒ කාලයට වඩා මේ ගීතය වැඩිපුර ජනප්‍රිය වෙන්නේ මේ කාලයේදී. මම ඉල්ලීම් කරලා ගීත රාශියක් නිර්මාණය කරගන්නවා. එහෙම ඉල්ලීම් කරලා ගී නිර්මාණ කරගන්න හේතුව තමයි මගේ ශෛලිය තරමක් දුරට හෝ වෙනස් කරගන්න ඇති වුවමනාව. ඉතින් කලාව කාලයෙන් කාලයට අලුත් වෙනවා. ඒ අලුත් වීමත් එක්ක අපිත් නිරන්තරයෙන් යාවත්කාලීන වෙන්න ඕනේ කියන එකයි මම නම් හිතන්නේ. ඒ නිසාම මගේ හ¾ඩින් විවිධ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විවිධ ශෛලීන්ගෙන් යුත් ගීත මම ගායනා කරනවා.

ඔබ ගී නිර්මාණයක් කරන්නට පෙර තේරීමකට ලක් කරනවාද?

ඔව්. ඇත්තටම මම ගීත ගායනා කරන්න ලැබෙන සියලුම ආරාධනා පිළිගන්නේ නෑ. නිර්මාණයක් තෝරා ගනිද්දී පද රචනය සහ තනු නිර්මාණය කියන දේ මුලින්ම බලනවා. ඒ වගේම සංගීත සංයෝජනය මොන වගේද කියන දේ ගැනත් සැලකිලිමත් වෙනවා. මම ගොඩක්ම කැමැති සුභාවිත සංගීත භාණ්ඩවල හඬ නිර්මාණයකට යොදා ගන්නවාට. මේවත් එක්ක ගීතයට උපරිම සාධාරණය කරන්න පුළුවන් කියලා හිතුණොත් මම ඒ ගීතය ගායනා කරන්න තෝරා ගන්නවා.

සංගීත කටයුතු එක්ක පෞද්ගලික ජීවිතේ අනෙක් වැඩකටයුතු කරගන්නේ කොහොමද?

ඇත්තටම මගේ ගෙදරින් මට විශාල ශක්තියක් ලැබෙන්නේ. මගේ හැමදෙයකටම කැප වුණු ආදරණීය පවුලක් සිටීම මට භාග්‍යක්. මගේ අම්මා, තාත්තා, මල්ලි වගේම ආදරණීය සැමියා සහ දරුවන් දෙන්නා විශාල උදව්වක් ලබා දෙනවා මේ සාර්ථක ගමන් මඟ පසුපස සිටිමින්. විශේෂයෙන්ම මගේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක් කළත් මගේ වැඩ කටයුතු එක්ක ඔහු රැකියාවෙන් ඉල්ලා අස්වෙනවා. මේ තරම් ආදරණීය පවුලක් මට ලැබීම නිසයි මට මේ තරම් දුරක් කලා ක්ෂේත්‍රයේ එක දිගට ගමන් කරන්න පුළුවන් වුණේ. මට එළිමහන් හෝ ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගි වෙන්න පුළුවන් මානසික නිදහසක් මගේ පවුලේ අය ලබාදීලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රේක්ෂකයන්, රසිකයන් උපරිම රසවින්දනයකට රැගෙන යන්න මට හැකිවෙනවා කියලයි මම නම් හිතන්නේ.

ඔබේ ජනප්‍රියතාව එක්ක ප්‍රසංගවලට විශාල මුදලක් එහෙම අය කරනවා ඇති නේද?

ඇත්තටම නෑ. අපේ රට හරි දුප්පත් රටක් නේ. ඉතින් අපේ රටට ගැළපෙන විධියේ හරිම සාධාරණ මුදලක් තමයි අය කරන්නේ. ඒක ප්‍රසංග සංවිධානය කරන අය හොඳාකාරවම දන්නවා. හැබැයි ප්‍රසංගයකට සහභාගි වෙන්න තියෙන දුරත් එක්ක යම් කිසි විදිහකට මුදල වෙනස් වෙනවා. නැත්නම් ඉතාමත් සාධාරණ මුදලක් තමයි අය කරන්නේ. ප්‍රසංග සංවිධායකයන් පවා කියනවා ජනප්‍රිය ගායිකාව වෙලත් ඔබ හරිම සාධාරණ මුදලක් අය කරන්නේ කියලා. රසිකයන් පිනවන්න ගීත ගායනා කරලා සජීවීව ලැබෙන ප්‍රතිචාර, අය කරන මුදලට වඩා වටිනවා කියලයි මම නම් හිතන්නේ.

අවසාන වශයෙන් ඔබට ආදරය කරන රසිකයන්ට මොකද කියන්න තියෙන්නේ?

ගමෙන් ඇවිල්ලා අද මෙහෙම තැනකට එන්න විශාල පිරිසක් උදවු කළා. මගේ ළඟින්ම හිටිය මගේ පවුල වගේම මට හයියක් වුණු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගඟක් වුණත් ලස්සන වෙන්නේ බාධක තියෙද්දී. ඉතින් මටත් ජීවිතේ විවිධ බාධක තිබුණා. ඒ බාධක නිසයි මෙච්චර ලස්සන ගමනක් එන්න පුළුවන් වුණේ්. වසර විස්සකට වැඩි කාලයක සිට මගේ ළඟින්ම හිටිය ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ, රසිකයන්ගේ ආදරය තමයි මට ජීවිතේ ලැබෙන ලොකුම ආශීර්වාදය. ලැබෙන හැම සම්මානයක්ම ආදරණීය ජනතාවගේ ආදරය කියලා දැනෙනකොට ලැබෙන්නේ අප්‍රමාණ සතුටක්. ඉතින් මගේ මේ කලා ගමන් මඟට වචනයකින් හෝ හයියක් වුණු ඔබ සියලුදෙනාටම ස්තුතියි කියලයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

දිනුෂ රුවන් මුණසිංහ
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.