Jan 13

කවුද කියන්නේ මම තරින්දිව බඳිනවා කියලා?


මේ වෙද්දී වයස් භේදයකින් තොරව ආදරය ගෞරවය ලබන දක්ෂ චරිතාංග නිහතමානී රංගන ශිල්පියෙක් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. 2021 වසර ගත්තම ඉසුරුගේ ජීවිතය වෙනස් කරන අවුරුද්දක් කියලයි දැන ගන්නට ලැබෙන්නේ. ඒ නිසාම ඉසුරු එක්ක 2021 වසර ගැන ටිකක් කතා කරන්නට හිතුවා.

මාතර නිදන්ගල නම් සොඳුරු ගම්මානයෙ ඉපදුණ ඉසුරු මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිට පාසලේ වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වූ කැපී පෙනෙන චරිතයක්.

පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදා නිලධාරියකු වූ ඉසුරුව දෛවය නැවත රංගනයට ගෙන එන්නේ අපේ කලාව තුළට චරිතාංග නළුවකු බිහිකරමින්. ඉසුරු කලාවට එන්නේ හඬ කැවීම් ශිල්පියෙක් ලෙසින්. බොහෝ දෙනාගේ මතකයේ රැඳෙන චරිතයක් වූ දෙරණ නාළිකාවේ boys of the flowers කොරියානු කතා මාලාවේ ‘ගුජුන්පියෝ’ නම් චරිතයට හඬ දායකත්වය ලබා දුන් ඉසුරු ඉන් පසු සුළු චරිත කිහිපයක් රඟපාමින් සිය රංග හැකියාව ඔප මට්ටම් කර ගන්නට සමත් විය. එමෙන්ම දෙරණ නාළිකාවේම විකාශනය වූ ‘මලී’ ටෙලි නාට්‍යයේ ප්‍රියරත්න නම් චරිතයට පණ පෙවීමෙන් ඉසුරු ගැන වැඩි දෙනා අවධානය යොමු කරන්නට විය. ඉන් නොනැවතී පහුගිය කාලයේ දෙරණ නාළිකාවේ විකාශනය වූ වෙනස්ම ටෙලි කතාවක් වන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ පීටර්ගේ චරිතය තුළින් රසික හදවත් සොරාගන්නට තරම් වාසනාවන්ත විය.

ඉන්පසු ITN නාළිකාවේ විකාශය වූ ‘ සඳ හැංගිලා’ ටෙලි නාට්‍යයේ නාරද නම් දකුණු පළාතෙන් පැමිණි චරිතය නිසා ඉසුරු ගැන හැමෝම කතා කරන්නට විය. ඉසුරුගේ රගපෑම්වල විශේෂත්වය නම් ඔහු සැබවින්ම චරිතාංග නළුවෙකි. ප්‍රතිභාපූර්ණ වීමට චරිතාංග නළුවකු විය යුතුය. ඉසුරුද එවැනි රූපණවේදියෙකු යැයි ඔහුට ලැබුණු චරිත තුළින් සනාථ කර තිබේ.

පුංචි තිරයෙන් සඳ හැංගිල, දේදුන්නයි ආදරේ, ගිනි අවි සහ ගිනි කෙළි, මලී, ඔබ නිසා, නෝ පාර්කින්, දූවරූ, ඉරූදේව, නිරාශා, පරා, හරස් පාර් සහ අහිමි, මිනිගංදෑල, අළු, පැහැසරා, රාවණා, සිහින ගෙනෙන කුමරී, හොඳ වැඩේ වැනි නිර්මාණවල එකිනෙකට වෙනස් වූ චරිත මැවූ ඉසුරු සිනමාවෙන් ප්‍රසිඩන් සුපර් ස්ටර්, කවුරුත් දන්නේ නෑ, රන් සයුර, නිදහසේ පියා D.S., කිඩ්නැප්, හුස්ම, රෂ් වැනි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක සිත් තුළ ලැඟුම්ගත් ආදරණීය රංගන ශිල්පියෙක් බව නොරහසක්.

මෙවැනි අතීත මතකයන් බොහොමයක් තියෙන ඉසුරු 2021දී මොනවද කරන්නේ… ඒ ගැනයි කතාබහේදී මුලින්ම කතා කළේ.

‘‘සුපුරුදු රූගත කිරීම් සහ වැඩ කටයුතු අතරේ 2020 වසරේදී රූගත කිරීම් කටයුතු සිදු කරන්නට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්ත්වය මත නතර වූ චිත්‍රපට තුනක වැඩ කටයුතු මේ වසරේදී ආරම්භ කරන්නට සූදානමින් ඉන්නවා. ඊට අමතරව ඉන්දික ධර්මතිලක මහතාගේ අලුත් ටෙලි නිර්මාණයේ වැඩ පටන් ගන්න නියමිතව තියෙනවා. ඒ නිසා මගේ රංගන ජීවිතය තුළ විවිධ වූ චරිත කරමින් රංගනය ගැන තව තවත් හදාරමින් අලුත් නිර්මාණ කරන්න තමා මේ වසරේ බලාපොරොත්තුවයි.’‘

නිර්මාණ පැත්ත කතා කරනවා නම් බොහොමයක් දේ තියෙනවා ඉසුරුගෙන් අහන්න. ඒ නිසා රංගන ජීවිතය පසෙකලා සැබෑ ජීවිතය ගැන ටිකක් කතා කරන්න හිතුවා. මොකද මේ වෙද්දී ඉසුරු ගැන බොහෝ දෙනා අවධානයෙන් ඉන්නේ. ඒ මේ වසරේදී මංගල සීනු හැඬවෙන බවට ලැබෙන ආරංචි එක්ක. ඇත්තටම ඉසුරු මේ වසර ජීවිතය වෙනස් කරන වසරක් වෙයිද?

‘‘මෙහෙමයි, සමහරු එහෙම කියනවා. නමුත් මම තවම බඳින්නේ කවදද කියලා තීරණය කරපු මනුස්සයෙක් නෙවෙයි. ඒක හරි වෙලාවට හරි විදියට සිද්ධ වෙයි. විවාහය ගැන මගේ ලොකු සැලසුම් නැහැ. මේ කාලයේ මේ මොහොත හොඳයි කියලා හිතුණොත් මම විවාහ වෙන කෙනෙක්. මම ජීවිතය සැලසුම් කරන කෙනෙක් නමුත් විවාහය සැලසුම් කරලා ණය අරගෙන ලෝකයට පේන්න විවාහ වෙන කෙනෙක් නම් නෙවෙයි. සමහරු ඉන්නවනේ අවුරුදු ගාණක් තිස්සේ විවාහය සැලසුම් කරලා හතර වටේට ණය වෙලා අන්තිමට විවාහයෙන් පස්සේ ජීවිතේ ජීවත් කරවන්න සැලසුම් හොයන අය. නමුත් මම එතැන නැහැ.’’

අපි හැමදාම ඉසුරුව දැක්කේ ස්වාධීනව ඉන්න චරිතයක් විදියට. සැබෑ ජීවිතය තුළත් සරලව ජීවත් වන්නට පුරුදු පුහුණු වූ ඉසුරුට විවාහය ගැන හිතු​ණේ කොහොමද කියලත් දැනගන්නට කැමැති ඇතිනේ. පහුගිය වසරම බොහෝ දෙනා වැඩිපුර ගත කළේ නිවෙස් තුළම. ඉතින් තනියම උයා පිහාගෙන ඉසුරුත් මේ කාලය ගත කළා. ඒ නිසාමද හිතුණේ දැන් විවාහ වුණොත් හොඳයි කියලා…

‘‘අනේ නැහැ. මොකද කවුරු හරි දැන් තනියම හිටියා ඇති කියලා විවාහ වෙනවා නම් මම හිතන්නේ ඒක නෙවෙයි වෙන්න ඕනේ කියලා. මොකද මම විශ්වාස කරනවා මම විවාහ වුණත් මම විවාහ විය යුත්තේ තනිකම, උයා පිහාගෙන කන්න, රෙදි සෝදාගන්න කියන තැනින් නෙවෙයි. අපි හිරයක් ගන්නවා, කසාද බඳිනවා කියන එක තුළ මම දකින්නේ අපි හොයා ගන්න ඕනේ ජීවිතයට හොඳ පාට්නර් කෙනෙක්. අපේ ජීවිත තුළ පොඩි කාලේ දෙමාපියන් ඉන්නවා, ඊට පස්සේ සහෝදර සහෝදරියන් ඉන්නවා නමුත් එක කාලයකදී මේ අය අපෙන් ඈත්වෙනවා. අන්න එතැනින් පස්සේ මේ ජීවිතය බෙදා ගන්න පුළුවන් විදියේ කෙනෙක් තමා අපි විවාහයට හොයා ගන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙක් මේ අවුරුද්දේ මගේ ජීවිතයට එයි. ඒක හැබැයි රට කලඹන ගොසිප් මවන උත්සවයක් නම් වෙන එකක් නැහැ.’’

ඒ කෙනා විදියට ඇයි තරින්දිව තෝරා ගත්තේ. ඇය තුළින් දකින විශේෂත්වය මොකක්ද? ඒ ගැන ඇහුවම නම් දුන්නේ වෙනස්ම උත්තරයක්.

‘‘දැන් කවුද කිව්වේ තරින්දිව මම විවාහ කර ගන්නවා කියලා. මම රංගන ශිල්පිනියක් එක්ක ඡායාරූපවලට පෙනී සිටි පමණින්, ගමන් බිමන් හෝ රූපවාහිනී වැඩසටහන්වලට ගිය පමණින් එයාව විවාහ කර ගන්න ඕනෙද?’’

අපි කාලයට ඉඩ දෙමු. මොකද මේ වසරේ ඒ ගැන හරියටම දැන ගන්න අපිට ලැබෙයි. ඒ තරින්දිද? නැත්නම්…. ද? කියලා. ඒ කොහොම වෙතත් පෞද්ගලික ජීවිතේ කරුණු කාරණා පොඩ්ඩකට පැත්තකින් තියලා අපි නිර්මාණ ගැන අපි කතා කළා. මේ වසරේ එන්න තියෙන නිර්මාණ ගැන සහ මේ වසරේ වැඩි ඉඩක් වෙන් කරන්නේ සිනමාවටද පුංචි තිරයටද කියන කාරණාව.

‘‘මේ වසරේදී වෛද්‍ය කපිල සූරියආරච්චිගේ ‘සිනමා’, අනුරුද්ධ ජයසිංහගේ ‘මා’, ප්‍රියන්ත කොළඹගේගේ ‘මන්දාරා’, ඉන්දිකගේ ‘ඉක්තා’ වැනි චිත්‍රපට එන්න තියෙනවා. තව නිර්මාණ කිහිපයක් මේ වසරේදී කරන්නට සූදානමින් ඉන්නවා. මේ වසරේ වැඩි ඉඩක් වෙන් කරන්නේ සිනමාවට. එහෙම කියන්නේ ටෙලි නාට්‍යවලින් ඈත් වෙනවා කියන එක නෙවෙයි. මම කොහොමත් තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ඒක තවදුරටත් තෝරා බේරාගෙන වැඩ කරනවා මේ අවුරුද්දේ.

මගේ ආශාව තියෙන්නේ සිනමාවේ වීරයාවත්, දුෂ්ටයාවත්, කවටයාවත් වෙන්න නෙවෙයි, මට ඕනේ සිනමාවේ චරිතාංග නළුවා වෙන්න. මම දකිනවා අපේ සිනමාව තුළ එවැනි චරිතයකට අඩුවක් තියෙනවා කියලා. ඒ අඩුව පුරවන්න තමා මට ඕනේ. අපේ සිනමාවේ මගේ පරමාදර්ශී චරිතය ජෝ අබේවික්‍රම මහතා. ටෙලි නිර්මාණවල මට එවැනි විවිධ වූ චරිත ලැබුණා. සිනමාවේත් දැනට මම කරපු චරිත එකිනෙකට වෙනස්. ඒ නිසා මේ ගමන මෙහෙම ඉදිරියට යන්න තමා අරමුණ.’’

ඉසුරු ගීතයක් ගායනා කරලා තිබ්බා. සිහින ගෙනෙන කුමරී ටෙලි නාට්‍යයේ ඉසුරුගේම චරිතය වෙනුවෙන්. දැන් ගායනයටත් එන්නද හදන්නේ…


‘‘එකේ සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕනේ නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂතුමාට. සාමන්‍යයෙන් විවේකීව ඉන්න කොට ගායනා කරනවා ඇහිලා තමා මේ ගීතය මට දුන්නේ. තව අලුත් සින්දුවක් කරන්න ඉන්නවා. මට ලස්සන සින්දුවක් ලියලා දුන්නා මිහිර සිරිතිලක. සාලිය ක්‍රිෂාන් තනුව දාලා සංගීතවත් කරලා දීලා තියෙනවා. ඒ සින්දුව නම් මේ වසරේදී කරන්න ඉන්නවා. හැබැයි කවදාවත් මම වේදිකාවට ගිහින් සංගීත සංදර්ශනවල සින්දු කියන්න යන්නේ නැහැ. මගේ වෘත්තීය රංගනය. මරෙනකම්ම මගේ පරමාර්ථය රඟපාන්න. නමුත් සංගීතයට මම ළැදියි. මේ මාසේ මම ඉතාම ආසාවෙන් සහභාගි වූ දෙරණ නාළිකාවේ ‘මා නොවන මම’ වැඩසටහනත් මගේ ආදරණීයන්ට බලන්න ලැබෙයි.’’

අපි දකිනවා ඉසුරුට ආදරය කරන රසිකත්වය අති මහත්. ඉතින් ඒ රසිකත්වය ගැන මතක් කරලම අපි කතාව අවසන් කරමු.

‘‘මම හිතන්නේ මම හරි වාසනාවන්ත රංගන ශිල්පියෙක් කියලා. අතිරේක රංගන ශිලිපියෙක් විදියට සුළු චරිත කරන කාලේ මම බලාගෙන හිටියා ජනප්‍රිය වූ අයට ප්‍රේක්ෂක ආදරය ලැබෙන හැටි. මම කවදාවත් හිතුවේ නැහැ, හීන දැක්කේ නැහැ ප්‍රේක්ෂක ආදරය ලැබෙන නළුවෙක් වෙන්න. මම උත්සහ කළේ හරියට රඟපාන නළුවෙක් වෙන්න. මම ඒකයි කළේ. ඒ තුළ අද මට ලොකු රසිකත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක මට දැනෙනවා. සමාන්‍යයෙන් රංගන ශිල්පියෙක්ට වැඩියෙන් ආදරේ රසිකාවියන්. ඒක තමා ලෝක ස්වභාවය. නමුත් මට ගොඩක්ම ආදරේ රසිකයන්. ඒක සාමාන්‍යයෙන් ටිකක් අමාරු දෙයක්. 

අපි ඒ දේ දකිනවා ජෝතිපාල මහතාට පස්සේ චාමර වීරසිංහට ලැබෙනවා. ඒ ප්‍රේක්ෂක ආදරය ඒ ඔක්සිජන් එක තමා කලාකරුවා ජීවත් කරන්නේ. කවුරු හරි කියනවා නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩක් නැහැ කියලා. ඒක අමූලික බොරුවක්. ඒ නොලැබෙන නිසා කියන කතා. මම නම් පාසල් වේදිකාවට ගිහින් සින්දුවක් හරි කිව්වේ අත්පුඩි සද්දය බලාපොරොත්තුවෙන්. ඒක තමා ඇත්ත. කොහේ හරි දැක්කොත් මට කතා කරන්න සෙල්ෆි එකක් ගන්න ඒක තමා මට මේ කලාව තුළින් ලැබෙන ලාභය සහ සතුට. ඒ ආදරය ලබන්න අපි පින් කරන්න ඕනේ. මේ කාලයේ යන්නේ අපි මාස්ක් දාගෙන තොප්පි දාගෙන. ඒත් කටහඬින් පවා හඳුනාගෙන කතා කරන අය ඉන්නවා. එහෙම වෙන්න බෑ හැමෝටම. රුවින් වගේම හඬින් හඳුනන චරිත ඉන්නේ අතළොස්සයි. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයන්ට මම හිස නමා ආචාර කරනවා.’’

අනුෂා රණසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.