Apr 29

කොවිඩ් බලන VTM නළය අපේ රටේම හැදුව MRI හපන්නු


වසර 120ක ඉතිහාසයකට උරුමකම් කියන බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයකු ලෙස මාගේ සේවා කාලය වසර 23කි. නිරෝගිමත් ජනතාවක් බිහිකරලීමට පමණක් නොව, අප කුඩා දිවයින නොයෙකුත් වසංගත රෝග හමුවේ අසරණ වූ අවස්ථාවල ඒවා හඳුනාගැනීමට මෙන්ම ඒවාට හේතු වූ නොයෙකුත් බැක්ටීරියා, වයිරස ආදී ක්ෂුද්‍රජීවීන් පිළිබඳ පර්යේෂණාත්මක ප්‍රවේශයන් ඇති කරලමින් කටයුතු කරන්නට හා ශ්‍රී ලංකාවේ ඇති ජීවරසායන, රක්තවේද, ක්‍ෂුද්‍රජීවී විද්‍යාවේද, ආහාර හා ජලය පිළිබඳව මෙන්ම පෝෂණවේදය පිළිබඳ සියලු රසායනාගාර තුළ ගුණාත්මක තත්ත්වයන් ඇති කරලීමේ හා පවත්වාගෙන යෑමේ අතිශය භාරධූර කාර්යය තුළද වෛද්‍ය පර්යේෂණ ආයතන භූමිකාව සම්භාවනාවෙන් සම්භාවනාවට පාත්‍ර වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ දකුණු ආසියානු කලාපයේ වයිරස රෝග පිළිබඳව පෝලියෝ සහ ඉන්ෆ්ලුවන්සා වයිරස රසායනාගාරයන් ඉතා ඉහළම ප්‍රමිති තත්ත්වයන් පවත්වාගනු ලබන රසායනාගාර ලෙස පැසසුමට ලක්වූ අවස්ථා බොහෝය. එම රසායනාගාර ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ අනුමත රසායනාගාර ලෙස වසර ගණනාවක් පුරා පැවැතී තිබේ.

1998 - 99 කාලයේදී ශ්‍රී ලංකාවේ වූ “කොළරා වසංගතය”, 2001 ඇමෙරිකානු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇති වූ “ඇන්ත්‍රැක්ස්” රෝගකාරක සෙවුම් පරීක්ෂණ මාලාව, 2003 - 04 යුගයේ ලොවම බියට පත්වූ සාර්ස් වයිරස හඳුනාගැනීමේ හා නවමු පර්යේෂණ දායකත්ව, 2012 වසරේ ඇතිවූ මර්ස් වසංගතයේ වයිරස හඳුනාගැනීමේ පරීක්ෂණ මාලාව මෙන්ම දශක ගණනාවක් පුරා බරපතළ ගැටලුවක් ලෙස වරින් වර හිස ඔසවන ඩෙංගු රෝග පර්යේෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය ලබාදුන් දායකත්වය අපිරිමිතය.

කොවිඩ් -19 නැතහොත් කොරෝනා රෝග වසංගතය නිසා අද මුළු ලොවම භීතියට පත්වී ඇති බව නොරහසකි. මෙරට කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය සඳහා රජයේ සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙන්ම වෙනත් පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව ගෙනයන වැඩපිළිවෙළ යටතේ කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ඇති දැවැන්තම කාර්යභාරයක් වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් සිදු කෙරෙයි.

කොරෝනා රෝගීන් තහවුරු කරගනු ලබන්නේ PCR  පරීක්ෂණයෙනි. මෙම පරීක්ෂණ සඳහා ගැනෙන්නේ ජෛව සෙම පටල, සෙම හෝ පෙණහලු තුළ වූ ආසාදිත දියරයයි. මෙවැනි සෙම පටල ගැනීම සිදුවන්නේ ඉතාම සුවිශේෂී තත්ත්වය යටතේය. ආසාදනය වූ තැනැත්තාගේ සෙම පටල ලබාගන්නා සෞඛ්‍ය නිලධාරියා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ඇඳුම් පැලඳුමෙන් සැරසී සිටිය යුතුයි. අනතුරුව  එම සාම්පල ඉතාම සුවිශේෂ, වයිරසය නොනැසෙන අති නවීන තාක්ෂණය භාවිත කෙරෙන කුඩා නළයක් (tube) තුළට ඇතුළු කෙරේ. පසුව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්මිතයන්ට අනුව එම නළය සුවිශේෂී බහාලුම් 03ක  බහා සුවිශේෂී අසුරණයක රඳවා වෛද්‍ය පර්යේෂණ ආයතනය (මූලික පර්යේෂණාගාරය) හා අනෙකුත් ප්‍රාදේශීයව ස්ථාපිත පර්යේෂණාගාර තුළ ඇති වෛද්‍ය රසායනාගාරයනට පරීක්ෂණ කටයුතු සඳහා යොමු කෙරේ.

මා ඉහත සඳහන් කළ සෙම පටල රඳවන නළය (VTM නළය) මෙම PCR පරීක්ෂණයේ සුවිශේෂී මෙහෙවරක් සිදු කරයි. ඒ මන්ද යත් එම නළය තුළ ඇති අන්තර්ගත ඉතා සුවිශේෂී වූ වයිරස නොනැසී පවතින මාධ්‍යය (ද්‍රාවණය) නොමැති නම් PCR පරීක්ෂණය සිදුකිරීම කළ නොහැකි නිසාය.

ශ්‍රී ලංකාව තුළ Covid-19  පරීක්ෂණ සිදුකිරීමට අදාළ එම සුවිශේෂී VTM නළ ගෙන්වන්නේ එක්සත් රාජධානියෙනි. ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල සියලුම නිරෝධායන මධ්‍යස්ථාන තුළ Covid - 19 PCR  පරීක්ෂණ සඳහා අති විශාල ඉල්ලුමක් පවතී. ලෝක වෙළෙඳපොළේද VTMනළවලට අතිවිශාල ඉල්ලුමක් තිබේ. එංගලන්තයෙන් ආනයනය කෙරුණු VTM නළ ශීඝ්‍ර ලෙස අවසන් වෙමින් පැවැතුණි. එම නළ නැවත ඇණවුම් කර පැවැතියද ඉතා ඉක්මනින් ඒවා තොග වශයෙන් ගෙන්වා ගැනීම අසීරු ඉලක්කයක් වී තිබිණි.

මෙම සියලු අභියෝග හමුවේ යෝධ පිම්මක් ගැනීමට වෛද්‍ය පර්යේෂණායතනයට හැකි වී තිබේ. PCR  පරීක්ෂණය අඛණ්ඩව සිදුකරගෙන යෑම සඳහා මෙතෙක් කල් එංගලන්තයේ නිපද වූ VTM නළය වෛද්‍ය පර්යේෂණ ආයතන රසායනාගාරයක් තුළ නිම වෙන්නේ අපගේම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන්ගේ අප්‍රතිහත ධෛර්යය කදිමට විදහා පාමිනි.

විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණ වන්නේ එංගලන්තයේ නිෂ්පාදනය වන එම VTM  නළයේ ප්‍රමිතිකරණ තත්ත්වයන් ඒවා ඇසුරුමේදී කළ යුතු ජීවාණුහරණ තත්ත්වයන් සියල්ල අපගේ ඉතා සීමිත සම්පත් සමඟ කළමනාකරණය කර ගැනීමය.

මාගේ වෘත්තීය සගයකු වන ජේ‍යෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ වසන්ත පුෂ්පකුමාර මහතා මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී අතිශය වෙහෙසකර වූ මෙම භුමිකාවට උරදෙයි. ඔහුට වයිරස රසායනාගාරයක් තුළ ඉතා සූක්ෂ්ම පර්යේෂණ සිදුකිරීමට අදාළ විසි වසරක අත්දැකීම් තිබේ. විශේෂයෙන්ම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයකු ලෙස වයිරස වගා කිරීමේ පර්යේෂණ (cell culture),  වයිරස ජාන පරීක්ෂණ (PCR  පරීක්ෂණ), රසායනාගාර තත්ත්ව පාලනය පිළිබඳව දේශීය මෙන්ම විදේශීයවද ඔහු ලබා ඇති පැසසුම් බොහෝය.

ප්‍රතිශක්තිකරණවේද විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතාගේ හා විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක මහත්මියගේද උපදෙස් සහිතව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ පූර්ණ ආශීර්වාදය ඇතිව මෙම දැවැන්ත කාර්යය ඉතා සාර්ථකව මුල් අදියරේදී නිමවූයේ VTM නළ 5000කට වැඩි ප්‍රමාණයක් ඉතා සාර්ථකව නිම කර ගැනීමට හැකි වීමෙනි. ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව PCR  පරීක්ෂණය සිදුකළ හැකි වූයේ මෙම සුවිශේෂී ශ්‍රී ලාංකික නිෂ්පාදනය නිසාය. විශේෂයෙන් එම පරීක්ෂණ නළ ලොව ඉහළම නිෂ්පාදනයන් හා සමානව පැවැතීම අපට ආඩම්බරයකි. නිෂ්පාදනය කෙරුණු මුල් VTM නළ සමස්ත වටිනාකම රුපියල් කෝටි 1/2ක් (ලක්ෂ 50ක්) පමණ වේ.

වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ වසන්ත පුෂ්පකුමාර මහතා මෙම කාර්යය වෙනුවෙන් තම වෘත්තීය සගයන් කණ්ඩායමක් ලෙස ගොනු කර ගනිමින් අනෙකුත් රසායනාගාරය තුළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් සමඟ එක්ව දිවා රෑ නොතකා අඛණ්ඩව කරන මෙහෙය අනාගතයේ රන් අකුරෙන් ලියැවෙනු ඇත.

ඉහත VTM නළ සැකසීිමේදී ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයද සහයෝගය දී ඇත.

මෙම ජාතික කර්තවයට උරදුන් වසන්ත පුෂ්පකුමාර මහතා සමඟ කෙටි පිළිසඳරක යෙදීමට ද මා අමතක කළේ නැත. “විශේෂයෙන් දිවා, රාත්‍රි වෛද්‍ය රසායනාගාරයක් තුළ රැඳෙමින් මෙම අභියෝගයට මුහුණදීම ඉතා පරිස්සමින් කළ යුත්තක්ද වුණා. VTM නළය තුළ ඇති වයිරස නොනැසී පවතින මාධ්‍යය (තරලය) සැකසීම ඉතාම සූක්ෂ්ම කටයුත්තක්. එක් පැත්තකින් ඒවායේ ප්‍රමිතිය ඉහළම තත්ත්වයෙන් තිබිය යුතුයි. අනෙක් පැත්තෙන් මොනම විදියටවත් එම සුවිශේෂී නළ ක්‍ෂුද්‍රජීවී අපවිත්‍රකාරකවලින් ආරක්ෂිත නොවන අයුරින් තබාගන්න බැහැ. ඉතාම සුපරීක්ෂාකාරීව ජීවානුහරණ තත්ත්වයන් පවත්වාගත යුතු අවස්ථාද තිබිණි. රසායනාගාර කටයුත්තට පස්සේ එම VTM නළවලට ලේබල් මුද්‍රණය කර ලබාගැනීමත් දුෂ්කර තත්ත්වයක් වුණා ඇඳිරි නීති තත්ත්වයත් නිසා. කොහොම වුණත් අවසානයේ රට ජාතිය වෙනුවෙන් සුවිශේෂී  මෙහෙවරකට දායක වන්න ලැබීම ගැන අපි කණ්ඩායමක් විධියට සතුටු වෙනවා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතාත් විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක මහත්මියත් අධ්‍යක්ෂතුමාත් මෙහිදී කෘතවේදීව සිහිපත් කරනවා.

මා මිත්‍ර වසන්ත පුෂ්පකුමාර මහතා මෙම සුවිශේෂී මෙහෙවරෙහි යෙදෙමින් සිටින මොහොතේදීම එම රසායනාගාරයට ඉහළ මහලේ වයිරස රසායනාගාරය තුළ PCR  පරීක්ෂණ සිදු කරන්නට අපගේම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන් පිරිසක් කරන අපරිමිත කැපකිරීමද සුවිශේෂී බව අවසන් වශයෙන් ලියා තබමි.

මානව වංස කතාව දිදුලන්නේ අධිෂ්ඨාන සහගත දිරිය මිනිසුන් විසින් කරනු ලබන නවෝත්පාදන නිසාය. ලෝකය වඩාත් ප්‍රබුද්ධ මෙන්ම පැහැබර වූයේ එකී ප්‍රතිභාසම්පන්න මිනිසුන්ගේ අනුහසිනි.

Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.