Dec 29

ලොක්ඩවුන් වූ කාලය තුළ අමතර ගැබ් ගැනීම් ලක්‍ෂ දෙකක්!


“ඉදිරියේ දී, යාකරපු ඇඳන් දෙකක් මත අම්මලා හයදෙනෙක් විතර ඉඳීවි...”


“දැනටමත් අම්මලා හතර දෙනෙක් විතර ඉන්නවා යා කරපු ඇඳන් දෙකක...”


රෝවෙලි සබාලා හොඳට ම ගැබ්බර ය. ඒ ඇයගේ 10වැනි දරුවා ය. ඇය අප හා කතා බහට එක් වූයේ 9වැනි දරුවා ද ඇකයේ ගසා ගෙනය. රෝවෙලි 41 හැවිරිදි ය.

"කාල්, ජුවෙල්, ජොයිස්..." සිය දරුවන්ගේ නම් කියා ගෙන යන අතරවාරයේ 6 හැවිරිදි දරුවා රෝවෙලි සමඟ සෙල්ලමකට අරඇන්දේය. මවගෙන් ලැබුණේ නොරිස්සුම් සහගත බැල්මකි.

"සමාවෙන්න. එයා තමයි චාලි..." ඇය නැවත අප හා එක් වුවාය.

උපත් පාලන ක්‍රමවේද පිළිබඳව රෝවෙලි ට දැනුමක් ලැබෙන විට හත්වැනි දරුවා ද ප්‍රසූත කර හමාරය.

කෙසේ නමුත් පවුලට අලුතින් ම එකතු වීමට නියමිත සාමාජිකයා කලින් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීමකි.

එය සිදු වූයේ රට ලොක්ඩවුන් කර තිබියදී ය. කොරෝනා වසංගතය නිසා පිලිපීනය ලොක්ඩවුන් වූයේ දැඩි නීති යටතේය.

සන්නද්ධ හමුදා භටයෝ වීදි පුරා සැරිසරන්නට වූහ. පොලිස් මාර්ග බාධක තැන තැන ඉදි විය.

නිවාස අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීම සඳහා වෙළෙඳසලකට යාමට අවසරය ලැබුණේ පවුලේ එක් සාමාජිකයෙකුට පමණි.

මෙවැනි දැඩි සීමා යටතේ රට පාලනය වෙද්දී ලක්‍ෂ ගණනක් කාන්තාවන්ට උපත් පාලනය සඳහා අවශ්‍ය කිසිවක් සපයා ගැනීමේ පහසුකම් ඇහිරී ගියේය.

එහි ප්‍රතිඵලය වූයේ නොසිතූ මොහොතක ගැබ්බර වූ කාන්තාවන් පිළිබඳව රට පුරා අසන්නට ලැබීම ය.

ගණන් හිලව් සහිතව දක්වතොත්, කලින් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම් නිසා අමතර දරුවන් 214,000ක් ලබන වසර වන විට පිලිපීනය තුළ උප්පත්තිය ලැබීමට නියමිතය.

එම ප්‍රක්ෂේපණය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පිලිපීනයේ ජනගහන විද්‍යායතනය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසිනි.

මෙම දරුවන් ප්‍රසූත කිරීම සඳහා පහසුකම් සහිත රෝහල් ගර්භනී මව්වරුන්ගෙන් දැනටමත් පිරී ඉතිරී ඇත්තේ පිලිපීනය තුළ වසරකට දරුවන් ලක්ෂ 17ක් බිහිවන බැවිනි.

'ටින් එකක් තුළ සාඩින් අසුරා ඇති ආකාරය' සිහිපත් කරවමින් සිර මැදිරි තුළ මනුෂ්‍යයන් රඳවා ඇත්තේ,

'ටින් එකක් තුළ සාඩින් අසුරා ඇති ආකාරය' සිහිපත් කරවමින් සිර මැදිරි තුළ මනුෂ්‍යයන් රඳවා ඇත්තේ...

පිලිපීනය දැනටමත් ජනගහන අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඊට හේතුව මෙම වසංගත තත්වය ම නොවේ. ඒ සඳහා වෙනත් හේතු පවතින බව පැහැදිලිය.

පිලිපීනයේ මැනිලා අගනුවර පමණක් මිලියන 13ක ජනතාවක් වසති.

2015 දී නිකුත් වූ ජනගහන වාර්තා අනුව මැනිලා නුවර සෑම වර්ග කිලෝමීටරයක ම 70,000කට අධික පිරිසක් වාසය කරති. මෙය 'දෙවුර ගලා යන' තත්වයකි.

මේ ජන තෙරපුම අගනුවර සෑම අංශයකින් ම පිළිබිඹු වේ. නගරයේ රථවාහන තදබදයේ පටන් බන්ධනාගාර දක්වා ම පවතින්නේ එවැනි තෙරපුමකි.

'ටින් එකක් තුළ සාඩින් අසුරා ඇති ආකාරය' සිහිපත් කරවමින් සිර මැදිරි තුළ මනුෂ්‍යයන් රඳවා ඇත්තේ, පවතින බන්ධනාගාර ධාරිතාවට වඩා 300%කින් සිරකරුවන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙනි.

මැනිලා නුවර අතිශයින් ජනාකීර්ණ පෙදෙස්හි වසන දිළින්දන්ගෙන් ඇතැමෙකුගේ කුසට වැටෙන්නේ කුණු බක්කියකින් සොයා ගත් දෙයක් පමණි.

ඇතැම් විශේෂඥයන් පවසන්නේ රටේ දරිද්‍රතාවයට මෙම ඉහළ උපත් අනුපාතිකය සෘජුවම බලපා ඇති බවය. පිලිපීනයේ දැනට පවතින සාඵල්‍යතා අනුපාතිකය සෑම මවකටම දරුවන් දෙදෙනෙකු බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මේ අනුව බලන කල රටේ ජනගහනය වැඩි වීමක් හෝ අඩු වීමක් නොමැතිව දිගටම මෙම තත්වයේ පවතිනු ඇත.

රටේ පවතින සම්පත්වලින් එක් පුද්ගලයෙකු වෙත ගලා එන ප්‍රමාණය වැඩි වීමට නම් රටේ ජනගහනය අඩුකර ගත යුතු බව ඇතැම් විශේෂඥයන්ගේ තර්කය වී තිබේ.

පිලිපීන රජය ද මේ බව නොදන්නවා නොවේ. 1969 දී රටේ සාඵල්‍යතා අනුපාතිකය 6.4ක් විය. එවකට මිලියන 35ක් වූ රටේ ජනගහනය අද වන විට මිලියන 110ක් දක්වා තුන් ගුණයකින් පමණ වැඩි වී පවතී.
නමුත් 2020 වන විට සාඵල්‍යතා අනුපාතිකය 2.75 දක්වා අඩු කර ගැනීමට රජයට හැකි වී තිබේ.

නමුත් අසල්වාසී තායිලන්තය මෙම කාලසීමාව ඇතුළත මීට වඩා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තා අනුව 1960 දී තායිලන්තයේ එක් මවකට දරුවන් 5.8ක් ලෙසින් පැවතුණු සාඵල්‍යතා අනුපාතිකය 2020 වනවිට 1.5ක් දක්වා අඩු කරගෙන සිටී.

තායිලන්තයේ දරිද්‍රතා අනුපාතිකය 10%ක් ව පවතිද්දී පිලිපීනයේ දරිද්‍රතා අනුපාතිකය 17%ක් ලෙස පවතී.

කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා මුහුණු ආවරණ දමා ගත් මව්වරු ඉඩ පිරිමසා ගනිමින් ඇඳන් මත වැතිර සිටිති. ඇතැමෙක් තොටිල්ල පදවති.

කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා මුහුණු ආවරණ දමා ගත් මව්වරු ඉඩ පිරිමසා ගනිමින් ඇඳන් මත වැතිර සිටිති. ඇතැමෙක් තොටිල්ල පදවති

නමුත්, ඇයි මෙවැනි වෙනසක්? පිලිපීනයේ අතිශය බලවත් කතෝලික පල්ලියේ බලපෑම ද එක් හේතුවකි. උපත් පාලනයට එරෙහිව එරට කතෝලික පල්ලිය පෙරමුණේ සිටී. "සඵල වන්න, බෝ කරන්න" යන කියමන යොදා ගනිමින් ඔවුහු ප්‍රජනනය දිරිමත් කරති.

"ඇත්ත වශයෙන්ම අපි ඊට විරුද්ධයි. (උපත් පාලනයට)" පිලිපීනයේ රදගුරු සම්මේලනයේ ජෙරම් සෙසිලානෝ පියතුමා මා සමඟ පැවසුවේ වීඩියෝ තාක්ෂනය ඔස්සේ කතාබහකට එක් වෙමිනි.

"ඊනියා උපත් පාලන පෙතිවලට අවසර නොදීම අපේ විධානයේ කොටසක්... 'සදාචාරාත්මක අවවාද' තියෙන්නේ සදාචාරයේ බලපෑම මිනිසුන්ට නැවත මතක් කරලා දෙන්න. එමගින් අපට ඇතිවිය හැකි නිශේධනීය බලපෑම සිහිපත් කරලා දෙන්න. නමුත් මිනිස්සු අපේ ඉල්ලීම පිළිපදින්නේ නැත්නම් එය එසේ වුනාවේ."

පල්ලියට ඇති බිය එසේ පවතිද්දී පවා, 2012 දී රජය විසින් ප්‍රජනන සෞඛ්‍ය නීතිය ශක්තිමත්ව දියත් කරනු ලැබීම රටේ දරිද්‍රතාවය අඩුකර ගැනීම සඳහා සෘජුව බලපා ඇති බව ජනාතිපති දුතාර්තේ ගේ රජයේ සමාජ-ආර්ථිකය භාර හිටපු අමාත්‍ය අර්නෙස්ටෝ පෙර්නියා පවසයි.

2012 ප්‍රජනන සෞඛ්‍ය නීතිය යටතේ ලිංගික අධ්‍යාපනය ලබා දීම දියත් කෙරුණු අතර දුප්පතුන් වෙත උපත් පාලන කොපු සහ පෙති නොමිලේ ලබා දීම සිදු කෙරිණි.

දැඩි පරිශ්‍රමයකින් ලබා ගත් එම ජයග්‍රහණය කොවිඩ් වසංගතයට සේදී ගොසිනි.

"ඒ වැඩසටහන තුළ පසුගිය වසර හතර ඇතුළත කරගෙන ආ සියල්ල අපට අහිමි වෙනවා," පිලිපීනයේ ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ කොමිසමේ විධායක අධ්‍යක්‍ෂ ජුවාන් අන්තෝනියෝ පෙරේස් පැවසීය.

"සැලසුම් නොකළ ගැබ් ගැනීම් තවදුරටත් ඇතිවේවි. මේ වන විටත් සෑම ගැබ් ගැනීම් 10කින් තුනක් ම සැලසුම් නොකළ ඒවා. තත්වය තවත් නරක අතට හැරුනොත් ඉදිරියේ දී සියලු ගැබ් ගැනීම්වලින් භාගයක් ම සැලසුම් නොකළ ඒවා බවට පත් විය හැකියි."

වෛද්‍ය ජොසේ ෆබෙලා අනුස්මරණ රෝහලේ කාර්ය මණ්ඩලය කවදත් කාර්ය බහුල ය. 2012 දී මෙම රෝහලේ දිනකට දරුවන් 120ක් පමණ උපත ලැබූහ.


ඇමරිකානු යටත් විජිත සමයේ ආරම්භ කෙරුණු මෙම පැරණි රෝහලට "ළදරුවන් තනන කර්මාන්තශාලාව" ලෙස නමක් ද පටබැඳුණේ එබැවිනි.

2012 දේ ප්‍රජනන සෞඛ්‍ය නීතිය අනුමත වීමත් සමඟ මෙම රෝහල තුළ උපත ලබන දරුවන් ගේ ප්‍රමාණය දල වශයෙන් භාගයකින් අඩු විය. නමුත් දැන් ඔවුන් ලහිලහියේ සුදානම් වන්නේ මේ හදිසි "බූමයට" මුහුණ දීම සඳහාය.

අපි 'අංක එකේ වාට්ටුවට' ඇතුළු වුණෙමු. අලුත් උපන් දරුවන් හඬන ශබ්දයෙන් දෙසවන් පිරී ගියේය.

"මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් 'මාස්ක්' සෝදන්න"

"ඒත් තරහ නිවුනම මම හිතනවා කොහොම හරි දරුවෝ ටික හදා ගන්නවා කියල"

පාපන්දු පිටියකින් අඩක් පමණ ප්‍රමාණයෙන් යුත් ශාලාවක තනි ඇඳන් දෙක බැගින් එකට යා කොට තිබුණි.

හඬ නගමින් සෙමෙන් කැරකෙන විදුලි පංකාවලින් රස්නය පහව නොයන තරම්ය.

කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා මුහුණු ආවරණ දමා ගත් මව්වරු ඉඩ පිරිමසා ගනිමින් ඇඳන් මත වැතිර සිටිති. ඇතැමෙක් තොටිල්ල පදවති.

"දැනටමත් අම්මලා හතර දෙනෙක් විතර ඉන්නවා යා කරපු ඇඳන් දෙකක. අවාසනාවන්ත ලෙස අපට ඉඩ නැහැ. තවත් අම්මලා ගොඩක් එන්න ඉන්නවා. මේ රෝහලට දරන්න පුළුවන් උපරිම ප්‍රමාණයටත් වඩා දැනටමත් රෝගීන් ඉන්නවා. ඉදිරියේ දී, යාකරපු ඇඳන් දෙකක් මත අම්මලා හය දෙනෙක් විතර ඉඳීවි," වෛද්‍ය ඩයනා කාජිපේ අපට පැවසුවාය.

පසුගිය මාසයේ මෙම රෝහල වසා දමන්නට සිදු වූයේ රෝගීන් හය දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙනි. මෙවැනි තදබදයක් සහිත ශාලාවක වෛරසය කෙතරම් වේගයෙන් පැතිර යාහැකිද යන්න සිතා ගැනීම එතරම් අපහසු නොවේ.

වැඩි ඇඳන් ප්‍රමාණයක් දැමිය හැකි ගොඩනැගිල්ලක් බලාපොරොත්තුවෙන් සිටිය ද එය තවමත් නිම වී නැත.

දිළිඳු පවුලකට තවත් සාමාජිකයෙකු එකතු වීම දරාගත නොහැකි බරක් විය හැකිය. එමගින් 'පරම්පරාගත දුප්පත්කම' තවත් ඉදිරියට ඇදී යනු ඇත. මෙවැනි තත්වයක් යටතේ එකවර දරුවන් විශාල සංඛ්‍යාවක් සමාජයට එක්වීම දීර්ඝ කාලීනව බලපෑමක් ඇති කරවන කරුණකි. එපමණක් නොව, කෝවිඩ් වසංගතය ද ජාතික අයවැයට බරක් වී හමාරය. එමගින් ද තවත් ප්‍රශ්න රැසක් ඇති කරනු ඇත.

ජනාධිපති දුතර්තේගේ වැඩි අවධානය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පමණක් නොව; පවුල් සැලසුම් කෙරෙහි ද යොමු වී තිබේ.

නව යෞවන වියේ පසුවන්නියන් වැඩිම පිරිසක් ගැබ් ගන්නා අග්නිදිග ආසියානු රටවල් සහිත ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ පිලිපීනයයි.

කොවිඩ් වසංගතය හමුවේ මෙම තත්වය තවත් 20%කින් ඉහළ යනු ඇති බවට පිලිපීනයේ ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ කොමිසම අනතුරු අඟවයි.

කතෝලික පල්ලියේ මතය මෙම හේතු සාධක ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ රටේ ඇති-නැති පරතරය ආමන්ත්‍රණය කිරීම සඳහා රජය මීට වැඩි යමක් කළ යුතුව පවතින බවයි.

"මේ ප්‍රජනක සෞඛ්‍ය ක්‍රමවේදයේ අසමත් කම් වසා ගන්නට පල්ලියට දොස් පැවරීම විපරීත දෘෂ්ඨිකයන්ට ඉතා පහසු දෙයක්. මේ පවතින තත්වයත් එක්ක, දුප්පත්කමේ ගිලිලා ඉන්න මිනිස්සුන්ට උපත් පාලන කොපුවකින් මොනවද කරන්න පුළුවන්. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට මේ පෙති දීල හරියනවද? මිනිස්සුන්ට මේ මොහොතේ අත්‍යවශ්‍ය මොනවද කියල තේරුම් අරගෙන ඊට ප්‍රමුඛතාවය දීමයි කළ යුත්තේ." ජෙරම් සෙසිලානෝ පියතුමා පැවසීය.


මේ හැම දෙනාම කතා කරන්නේ දුප්පත්කම ගැන විනා වෙනත් කිසිවක් නොවන බව රෝවෙලි සබාලා ද හොඳින් ම දැන සිටින්නීය. ඇය ජීවත් වන්නේ ලෝකයේ ජනාකීර්ණ ම පරිසරයක ය.

නමුත්, උපත් පාලනය සහ ගබ්සාව ගැන කතෝලික පල්ලියේ ඉගැන්වීම් ද ඇය හොඳින් දනී.

"මට මේ දරුවා ලැබෙන්න ඉන්න බව දැනගත්තට පස්සේ මම මගේ මනුස්සයට කිව්වා ගබ්සාවක් කර ගමු කියල. ජීවත්වෙන්න අමාරු නිසා."

"එයා කිව්වා අපිට කොහොම හරි දරුවා හදාගන්න පුළුවන් වෙයි කියල. පවක් කරගන්නවට වඩා ඒක හොඳයි කියල මමත් හිතුව," රෝවෙලි පැවසුවාය.

"ඒත් ඒ මනුස්සයා මගෙන් වෙන්වෙලා ගිහින් දැන් මාස තුනක් විතර වෙනවා."

දරුවන්ගේ අනාගතය ගැන හිතමින් තමන් දුක්වන බව රෝවෙලි පවසන්නේ දෙනෙතින් රූරා වැටෙන කඳුළු පිසදමන අතරතුර ය. අප කතා කරමින් සිටින අතරතුර පොලිස් වාහනයක් පැමිණ ගුරු පාර අද්දර හදිසියේ නතර විය. ඔවුහු මත් කුඩු විකුණන්නෙකු ලුහුබඳිමින් සිටියහ. ඒ දෙසට නෙත් යොමු කරමින් රෝවෙලි කියා සිටියේ බොහෝ දෙනෙකුගේ "ගැලවීමට" ඇති එකම මාර්ගය වී ඇත්තේ මත්ද්‍රව්‍ය වෙළඳාම බවය.

කෝවිඩ් වසංගතයෙන් පිලිපීන ආර්ථිකය තවත් හැකිළී ඇත. ජීවන මාර්ග පෙර නොවූ විරූ අයුරින් දුර්වල විය.

"මේක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නය. අඩු තරමින් මේ දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය මුදලවත් හොයාගන්න පුළුවන් කමක් ලැබුනොත් මට ඒ ඇති," රෝවෙලි පවසන්නේ දුක්මුසු ස්වරයෙනි.

"සමහර වෙලාවට මට තරහ ගියාම මාව පාලනය කරගන්න බැරි වෙනවා. මම ඒ වෙලාවට දරුවන්ට කියනවා සල්ලි තියෙන කෙනෙක් හොයල උඹලව හදා ගන්න දෙනවා කියල. ඒත් තරහ නිවුනම මම හිතනවා කොහොම හරි දරුවෝ ටික හදා ගන්නවා කියල."

- BBC සිංහල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.