Sep
28
යුරේනි නොෂිකා අප අතරින් සමුගත් ටෙනිසන් කුරේ ගැන ලියූ සංවේදී සටහන
ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ හදිසි වියෝව නිසා කලා තරු රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා.
මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා 68 වන වියේ පසු වූ අතර වැඩබැරි ටාසන්, තැනක් යු බර්ටි, දවල් මිගෙල් රෑ දනියෙල් වැනි අතිශය ජනප්‍රිය සිනමාපට ඔස්සේ ජනතාවට සමීපවූ ආදරණීය රංගන ශිල්පියෙක්.
ඔහුගේ සිනමා ජිවිතයේ ලඟම මිතුරෙකු වන බන්දු සමරසිංහද මේ සිදුවීම සම්බන්දයෙන් සිය මුහුණු පොතේ සංවේදී සටහනක් පළකර තිබුණා.
මේ අතර හිරු මෙගාස්ටාර්ස් 2 හී නිවේදකයෙකු ලෙසද කටයුතු කළ ටෙනිසන් කුරේ මහතා ගැන රංගන ශිල්පී යුරේනි නොෂිකාද සංවේදී සටහනක් ලියා තිබෙනවා.
යුරේනි නොෂිකා , බන්දු සමරසිංහ , ටෙනිසන් කුරේ සමග එහි එකට නිවේදන කටයුතු සිදුකළ අතර එම මතකයන් ගැන ඇය සටහනක් මෙලෙස පළකර තිබුණා..
"ටෙනි අයියා මට ඔයා ගැන මෙතන ලියන්න ඉඩ මදි. අපි mega stars කරන කාලේ ගොඩාක් බඩ රිදෙනකම් ඔයත් එක්ක හිනාවුනා. ඔයාගෙන් මම ජීවිතයට ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් එ තමයි ජීවිතයේ මැරෙනකම් මිනිස්සුන්ට උදව් කරන්න ,මිනිස්සුන්ව සතුටින් තියන්න සහ තමන් සතුටින් ඉන්න. ඔයා වගේ මිනිස්සුන්ගේ දුක ඇහුවම හිත උනුවුන කලාකාරයෙක් මම දැකලා නැහැ . මට සතුටුයි ඔයා ජීවිතයේ පුදුමාකාර විදිහට විනෝද උන හැමදාමත් හිනාවෙලා හිටිය කෙනෙක් . ඔයා අසනීප වෙලාවෙ බලන්න එන්න ගියාම කියලා තිබුනේ මම කැමතිනෑ මගේ යාලුවො ඇවිල්ල අනුකම්පා කරනවට . එයාලට මගෙ හොද මතකයන් තිබ්බොත් ඇති කියලා. අපි කරපු පිස්සු වැඩ,හිනාව නවත්වන්න බැරිව අඩ්නකම් කියපු කතා තාම මතක්‍යි ටෙනි අයියා. මට sure ඔයා ස්වර්ගයට ගිහිල්ලා එතන ඉන්න දෙවිවරුන්වත් හිනාගස්සලා සතුටු කරයි . ඔයා අපිව දාලා ගියාට ගොඩාක් දුකයි. කවදාහරි ස්වර්ගයට එන්න ලැබුනොත් ඔයත් එක්ක හිනාවෙලා chat එකක් දාන්න එනවමයි . එතකන් ඉන්න තැනක සතුටින් ඉන්න. RIP our Legendary comedian Tennyson Cooray . You will always remain in our hearts forever "
මේ අතර ජනප්‍රිය ඡායාරූප ශිල්පි දයාන් විතාරණද මෙලෙස සංවේදී සටහනක් තබා තිබුණා....
සිනහවක් මැද ආයෙත් හමුවෙන තුරා
ටෙනී සුබ ගමන් ඔබට...
ප්‍රවීණ හස රංගනවේදී ටෙනිසන් කුරේ අද දින සිය ජීවන රඟ මඬලින් බැස ගියේය.
මෙරට ජනකාන්ත සිනමා තාරකාවන් තරමටම ජනප්‍රිය වූ විකට ශිල්පීන් තිදෙනා වූයේ ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ ය. "හද ඇඳි සිත්තම්" විත්ති කතා චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂෙත්‍රයට අවතීර්ණ වන ඔහු දිනේෂ් ප්‍රියසාද්ගේ "ඇක්ෂන්" විත්ති කතා චිත්‍රපටයේ පිටපත ද රචනා කරමින් සිනමා රංගනයට අවතීර්ණ වූවේය. හේමසිරි සෙල්ලප්පෙරුමගේ "ජීවන්ති" චිත්‍රපටය හරහා වෘතාන්ත සිනමාවට අවතීර්ණ වූ ඔහු "නොම්මර එකයි" චිත්‍රපටයෙන් බන්දු සමරසිංහ සමග සුසංයෝග වූවේය. සිනමාවේ හස රංග යුග අතරින් ජනකාන්තම යුවළ වූයේ බන්දු සහ ටෙනී ය. "ඔබටයි ප්‍රියේ ආදරේ", "ආසයි බයයි", "පෙරලිකාරයෝ", "චෙරියෝ ඩොක්ටර්", "චෙරියෝ කැප්ටන්", "රෑ දැනියෙල් දවල් මිගෙල්", "සොමි බෝයිස්", "ජැක් ඇන්ඩ් ජිල්", "සීත සමීරේ", "කොලොම්පූර්", "ජීවිතේ ලස්සනයි", "රන්ජා", "ජය ශ්‍රී ඇමතිතුමා" වැනි චිත්‍රපට රැසක රංගනය කළාය. ඉකුත් වසරක දෙරණ සිනමා සම්මාන උළෙලේ දී "කොට උඩ එක්ස්ප්‍රස්" චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් වසරේ හාස්‍යෝත්පාදන රංගනය වෙනුවෙන් ඔහු සිය සිනමා ජීවිතයේ පළමු සම්මානය දිනා ගත්තේය. ඔහුටම ආවේණික පෙනුමෙන් මෙන්ම ඔහුගේම ශෛලියකින් රසිකයන් අතරට ගිය ටෙනී, සිනමාවේ සහ රසික පර්ෂදයේ වෙසෙන සැමට භේදයකින් තොරව එක ලෙස සෙනෙහස දක්වන්නෙකි.
පසුගිය කාලවකවානුවේ තරමක් අසනීප තත්ත්වයකින් ඔහු පසුවන බවට ආරංචි සැල වුවත් අප සැමගේ එක සිත් ආශිර්වාදයෙන් ඔහු නිරෝගීව වෙසෙමින් ඉක්මණින් යලි සිනමාවේ දක්නට ලැබේ යැයි අපේක්ෂා කළෙමි. ඔහු හෘදයාබාධය ලක්ෂණ මතු වී රෝහල්ගත කළ බව මා දැනගෙන ඒ වෙනුවෙන් සුව පතා තැබූ සටහන වෙනුවෙන් ඔහුගේ දුවණිය ද අමතා සියලු තොරතුරු සනාථ කළත්, ටෙනී විසින්ම මා යළි අමතා පවසා සිටියේ ඔහුට ඇති වූ උදරාබාධයක් නිසාවෙන් හෙතෙම රෝහල්ගතව සිට මේ වන සුව ලබා ඇති බව ය.
කෙසේ නමුදු මේ ශෝකි පුවත අප කෙසේ නම් අදහනුදැයි නොතේරේ. ඔහු අපට සිනහව දුන් තරමටම අද කඳුළක් එක්කර අවසන් ය.
ආදරණීය ටෙනී, ඔබට නිවන් සුව වැඩි ඈතක නොවේවා !!!