Jun
16
කෙල්ලෙක් ලෙස කොළඹ ඇවිත් කොල්ලෙක් වුණ බට්ටි අක්කා
කැලෑ සටනකට ගැළපෙන ආකාරයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි අයෙක් අමුතු විදියේ විරු සැමරුමකට සූදානම්ව සිටියේය. මේ කියන මැයි 19දා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ඇති රණවිරු ස්මාරකය අබියස ජාතික රණවිරු සැමරුම් උළෙල පැවැත්වෙමින් තිබිණි. කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසල විරු සැමරුමට තනිව එක්ව සිටි අය කවුරුන්ද යන කුතුහලය මා හට ඇති වූයේ එබැවිණි.
යුද්ධය නිමාවී කලක් ගතවී ඇති හෙයින් මේ කැලෑ සටන්වලට එක්වීමට නියමිතව සිටින සොල්දාදුවකු නොවන බව විශ්වාසය. එහෙත් අතෙහි තුවක්කුවක්ද ඇත. හිසෙහි හෙල්මටයක් වූ අතර, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටරයක්ද බෙල්ලේ එල්ලාගෙන සිටිනු පෙනිණි. ඒ කවුදැයි ගුවන් හමුදා කඳවුරේ සිටි මිතුරකුගෙන් විමසුවේ හිතට දැනුණු කුතුහලය නිසාවනි. බැලූ බැල්මට එහි සිටින පුද්ගලයා ඇය ගැහැනියක්ද, පිරිමියෙක්ද යන්න හඳුනා ගැනීම පවා අසීරු විය.
‘‘ආ… බට්ටි අක්කාද? එයා මෙතැන තමයි ඉන්නේ. එදා එයා රණවිරු දිනේ සැමරුවා. එයා අපේ මූලස්ථානේ ඉන්න හැමෝටම ලෙන්ගතුයි’’ ඔහු කීවේය.
ඒ කතාබහෙන් පසු දිනක මම බට්ටි අක්කා හමුවූයේ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිට ඇති නුග ගස් සෙවණේ හිඳය. ටීෂර්ට් එකක් සහ දිගු සායකින් සැරසී සිටි ඇය කොණ්ඩය කොටට කපා තිබුණාය.
දන්න කියන සැමට ‘බට්ටි අක්කා’ වූ ඇය විදානගමගේ ප්‍රේමවතීය. උපන්නේ 1958 වසරේ මාතර, කඹුරුපිටියේදීය. ඇය 1971 වසරේ තනිවම කොළඹට එන්නේ ගෙදර නෝක්කාඩුවක ප්‍රතිඵලයක් ලෙසිනි. එවකට දහතුන් වැනි වියේ පසුවූ ඇය කොළඹ කොටුවේ මගී පාලම උඩ සැරිසරමින් කරන්නේ කුමක්දැයි සිතමින් සිටියාය. පොලිස් නිලධාරියෙක් ඇයට ‘මල්ලී’ යැයි ඇමතුවේ ඒ මොහොතේයි. ඒ ඇය කොට කලිසමක්, කමිසයක් හැඳ කොණ්ඩයද කපා කොලුවකු මෙන් දිස්වූ බැවිනි. නොදන්නා කොළඹ රටේ පිරිමියකු මෙන් හැසිරීම වඩා ආරක්ෂාකාරී යැයි එදිනත් ඇයට සිතී ඇත. කොටුව පොලිසියෙන් පටන්ගත් කොළඹ ජීවිතේ ගැන ඇය මෙසේ කීවාය.
‘‘එදා රාළහාමි ‘මල්ලි මෙස් එකට ගිහින් කාලා බීලා එන්න පුළුවන්. යමු’ කියලා කිව්වා. මම පොලිසියට ගියා. මෙස් එකේ උයන පිහන ඒවට උදව් කළා. අවුරුදු පහළොවක් කරදරයක් නැතුව කොල්ලෙක් විදියටම හිටියා. දවසක් නාන වෙලාවක රාළහාමි කෙනෙක් මාව දැකලා. එයා ඕ.අයි.සී. මහත්තයට ගිහින් කියලා මම කොල්ලෙක් නෙවෙයි, කෙල්ලෙක් කියලා. ඒ වුණාට ඕ.අයි.සී. මහත්තයා ප්‍රශ්න ඇති කළේ නෑ. ඒ රහස රැකගෙන මට අබාන්ස් එකේ පිරිසුදු කරන රස්සාවක් අරන් දීලා එතැනින් පිටමං කළා. පස්සේ රස්සාව කරන ගමන් කාලයක් කොටුව ගුවන් පාලම උඩ ගෙයක් වගේ හදාගෙන හිටියා. ටික කාලෙකට පස්සේ ගුවන් හමුදා මූලස්ථානය ළඟට ආවා. මෙතැනට ඇවිත් දැන් අවුරුදු 25ක් වෙනවා.’’
මේ වනවිට ඇගේ වයස හැට දෙකකි. අදටත් ඇය නිරතව සිටින අබාන්ස් ආයතනයේ පිරිසුදු කිරීමේ රාජකාරියට අමතරව ඇය වසර ගණනක් මුළුල්ලේ ආරක්ෂක අංශයන්ට නිල නොවන මට්ටමෙන් කළ සේවය ගැනද අසන්නට ලැබුණි. ඒ තිස් වසරක යුද්ධයේදී කොළඹ පිපිරූ බෝම්බ ගැන ඇයට ඇති අත්දැකීම් සමගය. මහ බැංකු බෝම්බය පිපිරු අවස්ථාවේදී ඇය සිය දෑතින්ම මළමිනී අදින්නට දායක වූවාය. ඇගේ මතකයේ වූ අවසන් බෝම්බ අත්දැකීම ඇත්තේ එල්ටීටීඊ සංවිධානයේ අවසන් ගුවන් ප්‍රහාරය සමගය. එය එල්ල වූයේ 2009 පෙබරවාරි 20දා ගුවන් හමුදා මූලස්ථානය ඉලක්ක කරගනිමිනි. මුහුදට සමාන්තරව කොළඹ වරාය දෙසින් ඇතුළු වූ එල්ටීටීඊ ගුවන්යානාව ඉලක්ක කර ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක විය. එම ප්‍රහාරයේදී කොටි ගුවන්යානාවට ඉලක්කය වැරදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට කඩා වැටී පුපුරා ගියේය. මේ ප්‍රහාරය එල්ල වූ රාත්‍රියේ බට්ටි ඊට යාබද ගුවන් හමුදා මූලස්ථානය අසල සිටියාය. එදා ඇගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. එකල ගුවන් හමුදාපතිවරයා වූයේ එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකය. වරක් ඔහු ඉලක්ක කර පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ගුවන් හමුදා මූලස්ථානය කිට්ටුවටම ආවේය. එදාත් බට්ටි එතැනය.
‘‘කොටුව පැත්තෙන් ආව කෙනා ගැන මට සැකයක් ඇතිවුණා. පෙනුම හැටියට බෝම්බයක් බැඳගෙන ඇති කියලම හිතුණා. ‘ගුවන් හමුදාපතිට එන්න දෙන්න එපෝ. බෝම්බයක්’ කියලා එදා මම කෑගැහුවා. ඒ මනුස්සයාව පරීක්ෂා කරද්දී බෝම්බයක් තිබුණා. ඒ පුද්ගලයාව එදා අත්අඩංගුවට ගත්තා. තව දවසක් ගුවන් හමුදා මූලස්ථානයේ ගේට්ටුව ඉස්සරහා බෝම්බයක් පිපිරුණා. එදා මම වැඩ. බොරැල්ලේ පාර අතුගාන ගමන් ආරංචියට ඉදලයි, සවලයි දාලා දුවගෙන ආවා. ඇවිත් බලද්දි එදා ගුවන් හමුදාවේ සේවය කරපු බණ්ඩාර පුතා මැරිලා. එදා ඒ පුතාට උසස්වීමක් ලැබුණු දවසක්. මැරුණට පස්සේ තවත් උසස්වීමක් ලැබුණා. එක දවසේ උසස්වීම් දෙකයි. ජීවිතේ එහෙම තමයි…’’
තවත් අවස්ථාවකදී ත්‍රස්තවාදියකු බෝම්බ බැඳගෙන ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණියේ බට්ටි අක්කා හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින් සැරසීගෙනය. පෙනුමෙන්ද ඇය මෙන්ම වූ මෙම පුද්ගලයාගේ තිබූ එකම වෙනස නම් කකුලේ වූ නොන්ඩිය පමණි.
‘‘බට්ටි අක්කේ… අන්න ඔයාගෙ අයියා යනවා, කියලා ගුවන් හමුදාවේ පුතෙක් මට විහිළු කළා. ‘කවුද දන්නෙ කොටියෙක්ද කියලා’ මම කිව්වා. එදා ඒ මනුස්සයා අල්ලා ගත්තා. බලද්දි මරාගෙන මැරෙන බෝම්බකාරයෙක්. බෝම්බේ පුපුරලා ඒ මනුස්සයා මැරුණා.’’
මේ ආකාරයෙන් බට්ටි අක්කා හමුදා විරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට දුන් දායකත්වය අති මහත්ය.
හමුදාවත් සමග ඇති බැඳීම නිසාම ඇය සෑම වසරකම තනිවම විරු සමරුවකට එක්වෙයි. ඒ සඳහා කැලේකට වැද කොළ අතු ටිකක් සොයාගන්නා ඇය, පිටකොටුවෙන් සෙල්ලම් තුවක්කුවක්ද මිලදී ගනී. එහිදී ඇඳුම් නිර්මාණය මුළුමනින්ම ඇගේ සිතැඟි පරිදි සිදුවේ.
එසේ හැඳ පැලඳ ගන්නා ඇය, ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටට එන්නේ රණවිරුවන් සමරන්නටය. ඇයටම කියා දරුවකු නැතත් උදේ සවස බට්ටි අක්කා යැයි ඇයට ඇමතූ බොහෝ සෙබළ පුතුන් ඇයට දරුවන් මෙනි. අදටත් ඇයට ඇතැම් මියගිය සෙබළ සෙබළියන්ගේ නම් ගම් හොඳින් මතකය.
ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිට ඇති පිට්ටනිය අසල නවත ඇති සෙබළුන්ගේ මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ බලාගන්නේද ඇයයි. ඇගේ නිදි යහනද එහි නවතා ඇති ත්‍රිරෝද රථයකි. අමතක වී දමා යන යතුරු ඇය පරිස්සම් කරන අතරම ළඟකදී බොරැල්ලේ පාර අතුගාමින් සිටියදී එක් ගුවන් හමුදා නිලධාරියකුගේ මුදල් පසුම්බියක් ඇයට හමුවිය.
මේ ආකාරයට ඇයට ලැබී ඇති මුදල් පසුම්බි ගණන ගණන් කළ නොහැකි තරම්ය. ඒවා නැවත අදාළ අයට ලබාදීමට තරම් ඇය කාරුණිකය. කන්න බොන්න දෙනවා පමණක් නොව, මාසෙකට යම් මුදලක්ද මේ සහෘදයන්ගෙන් ඇගේ අතට ලැබෙයි. උදේ පාන්දර ඉදලයි, සවලයි රැගෙන පාරට එන ඇය සවස් කාලයේ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටට එයි. ඒ දින චර්යාව ගැන ඇය මෙසේ කීවාය.
‘‘හවස හය වෙද්දි ත්‍රීවීල් එකකට ගිහින් ටිකක් නිදා ගන්නවා. අටට විතර මොනවා හරි කනවා. ආයෙම නිදියනවා. රෑ දොළහට ඇහැරිලා කොම්පඤ්ඤවීදියේ පොලිසියෙන් රෙදි ටික හෝදලා නානවා. ඒවා මේ පාර අයිනේ වේළෙන්න දානවා. ආපහු නිදාගෙන නැගිටින්නේ උදේ හතරට’’ ඇය කියන්නේ හිතේ දුකක් නැතිවය.
‘‘මට බල්ලෝ පහක් ඉන්නවා. එයාලට කඩෙන් කන්න අරන් දෙනවා. මීයන්ටයි, කපුටන්ටයි කන්න දෙනවා. පාන් රාත්තල් දෙකක් විතර ඕන ඒකට. මම එද්දි කපුටො ටික පියාඹලා එනවා. කතා කරලා කෑම ඉල්ලන්නද මේ සත්තු?’’ ඇය අසයි.
ඇයගේ නවාතැන අසල ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිසුදු වන්නේද ඇගේ අතිනි. මසකට වරක් දෙකක් නුගේගොඩ ප්‍රදේශයේ පන්සලකට දාන වේලකට වුවමනා කරන බඩුමුට්ටුද රැගෙන යයි.
‘‘පිනක් දහමක් කරගන්නත් එපැයි. ගෙදරින් පැනලා ආවට මොකද අද මුළු ගෙදරම බලාගන්නේ මම’’ ඇය සිය පවුලේ උදවියද සිහිපත් කළාය. එදා මෙන්ම අදත් ඇය ඔවුන්ට ලෙන්ගතුය.
‘‘මගේ පවුලේ හයයි. අම්මයි, තාත්තයි ඒ කාලෙම නැතිවුණා. එයාලා මැරෙනවාවත් මම දන්නෙ නෑ. මට නිවුන් සහෝදරයෙක් ඉන්නවා. එයා අසනීප වෙලා. අක්කාට වයස 72යි. නංගි කොළඹ ගෙවල්වල වැඩ. එක අයියෙක් කෝච්චියට පැන්නා. තව අයියා කෙනෙක් එල්ලිලා මැරුණා. ගමේ ඉන්න අයට සලකන්නේ මම.’’
පාර නිවහන කරගත් ඇයට ඉහෙන් බහින රෝගයක් නැති බව ඇය කියයි. පැරසිටමෝල් පෙත්තක්වත් බී නැතැයි ඇය කීවාය. බට්ටි අක්කා මස්, මාළුවලින්ද තොරය. ජීවිතේ ඇය ගිය එකම පාසල සමාජ පාසල පමණි.
‘‘මම කොළඹ ජීවත් වෙන විදිහ දැනගත්තා. ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා ඕන තරම්. දැනටත් ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට පිස්සෙක් වගේ ජීවත් වෙන්න වෙනවා. ඒත් මට පිස්සුවක් නෑ. සමහර වෙලාවට පිස්සු වගේ හිටියම මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න පුළුවන්.’’
සුදු පිරුවටින් ඔප දැමුවත් සුදු පැහැ ජීවිත නැත. අන්ධකාරේ කළුව ඇතිරූ කළුම කළු ජීවිතද අපට හමු නොවෙයි. බට්ටිගේ ජීවිතයද කළු සුදු මිශ්‍ර එකකි.
‘‘හැමදාම මෙහෙම ඉන්නදැයි කල්පනාව?’’ මම ඇසීමි.
‘‘නෑ, මගේ අක්කව බලාගන්න ඕන. දැන් එයාට වැඩක් කරන්න අමාරුයි. තව ටික කාලයක් ඉඳලා කීයක් හරි හම්බ කරගෙන ගමට යනවා.’‘
ඇය සන්සුන්ව කියයි. ජීවිතයේ ගන්නා ඇතැම් තීරණ නිසා ජීවිතය නවතින්නේ නොසිතූ තැනකය. බට්ටි අක්කාගේ ජීවිතයද එසේය. ගැහැනියක වුවත් පිරිමියකු වාගේ ජීවිතයට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා තිබේ. කුඩා වියේ සිටම පාරතොට නිවහන කරගත් ඇයගේ සැඳෑ සමය කෙබඳු අයුරින් ගෙවේදැයි කියන්නට ඇය දන්නේ නැත. එහෙත් ජීවත්වන තාක් කල් ලොවට ලෙන්ගතු වන්නට ඇයට පුරුදුය. සමාජ තක්සලාව විසින් ඇයට ඉගැන්වූ පාඩම එයයි.
ශිරන්තනි මානවඩු
ඡායාරූප-ක්‍රිෂාන් කාරියවසම්
Source - අරුණ