May
09
සල්ලි පස්සේ දුවපු අපිට සල්ලිවල අගය හරියට දැනෙන්නේ දැන්
‘කොරෝනා වසංගතය අපේ ජීවිතවලට පාඩම් ගොඩක් කියලා දෙනවා. මිනිස්සු වෙලා ඉපදිලා ජීවත් වෙන අපි කොච්චර දේවල් පිටිපස්සේ දිව්වාද? කොච්චර වියදම් කළාද? ඉස්සර ගෙදර ජීවත් වුණු විදිහට වඩා හොඳට අද අපි ජීවත් වෙනවා. සල්ලි, සල්ලි, කියලා සල්ලි පස්සේ දිව්වාට අපි දැන් තමයි සල්ලිවල නියම අගය දැන ගත්තේ.
සල්ලිවලින් අපි කරන්න ඕනේ මොනවාද? නොකරන්න ඕනේ මොනවාද කියලා හරියටම දැනගත්තේ මේ වෙලාවෙයි. හැම දෙයක්ම පිටරටින් ගෙනැල්ලා අපේ ආශාවල් නෙමෙයි පුරවගෙන තියෙන්නේ කියන එක මේ අවස්ථාවේ තමයි අපිට තේරුම් ගියේ. ජරා දේශපාලනයක යෙදෙන අයට කොමිස් මුදල් ගන්න පිටරට ඒවා අපි මිලදී ගෙන තියෙන්නේ කියන දේ මේ වෙලාවේ අපිට හොඳටම ඔප්පු වෙනවා. අපේ රටේ සම්පත් නැතුවද? රාජ්‍ය සේවයට ලංකාවේ ඉතාමත් කාර්යක්ෂමව සේවය කරන්න පුළුවන් කියන දේ අපි දැක්කා මේ කාලයේ.
ඒ මොකද කිසිම දේශපාලන බලපෑමක් නැතිව ස්වාධීනව වැඩ කරන රාජ්‍ය සේවකයෝ ඉතාමත් කාර්යක්ෂමව හා තෘප්තිමත්ව මේ වෙලාවේ වැඩ කරන විදිහ අපිට හොඳටම පේනවා. මෙච්චර කාලයක් වුණේ ඉගෙන ගෙන තැනකට එන රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ කාර්යය හරියට කරන්න නොදී බලපෑම් කරන දේශපාලන හස්තයකට ඔවුන්ට යටත් වෙලා ක්‍රියාත්මක වෙන්න වුණ එකයි. ඒකයි ලංකාවේ රාජ්‍ය සේවය බිඳ වැටෙන්නේ.
ඡන්ද හිඟා කාලා පාර්ලිමේන්තු ගිහින් උගත් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කරනකොට රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීම සාමාන්‍ය දෙයක්. වර්තමාන ජනාධිපතිතුමා මේ වසංගතය හමුවේ ක්‍රියා කරන ආකාරය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. මෙච්චර කාලයක් දේශපාලන කොමිස් තියාගෙන ලංකාවට ගෙනාපු හුඟාක් දේවල් ලංකාවේ දක්ෂයන් ඊට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් දැන් නිර්මාණය කරනවා. ඒ අයට අත හිත දීලා ඉදිරියට ගත්තොත් රටක් ලෙස අපිට මීට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. කොරෝනා ඔබට හුඟාක් දේවල් කියලා දෙනවා. ගෙදරට වෙලා ඉන්න ගමන් ඒ ගැනත් දෙපාරක් හිතන්න.