Sep 30

"අපි අවුරුදු 12ක් නොදැක ආශ්‍රය කළා, ගෙදරින් විරුද්ධ වෙද්දී අපි විවාහ වුණා"


මනූෂ නානායක්කාර කියන සන්නිවේදකයා කාලයක් ශ්‍රී ලංකාවේ කටහඬින් ජනතාවගේ ආකර්ෂණය දිනාගත් චරිතයක්. ඒ සන්නිවේදකයා පසුකාලීනව දේශපාලඥයෙක් බවට පත් වුණා. දේශපාලන ජීවිතය එක්ක හැප්පෙද්දී කුටුම්භය ආරක්ෂා කරන්න වෙහෙස ගත්තේ ඔහුගේ ආදරණිය බිරිඳ ශානිකා නානායක්කාර. ඒ නිසා මනුෂ නානායක්කාර කියන දේශපාලඥයා ගැන ඔහුගේ බිරිඳ එක්ක මේ විදිහට කතා කරන්න අපි කල්පනා කළා. මේ ඔහු ගැන කියන ඇයගේ කතාබහයි.

ශානිකා කාර්යබහුල දේශපාලඥයෙකුගේ බිරිඳක්ද..අපි මුලින්ම ඒ ගැන කියමු..?

දේශපාලඥයෙකුගේ බිරිඳක් හැටියට නෙමෙයි අම්මා කෙනෙක් හා බිරිඳක් හැටියට කාර්යබහුල වෙන අවස්ථා තියෙනවා.

ශානිකා මනුෂව හඳුනා ගන්න කලින් ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් බව දැනගෙන හිටියද..?

නැහැ. මනුෂ නානායක්කාර කියන නම මම මුලින්ම අහන්නේ මම උසස්පෙළ කරන කාලේ. දෙසැම්බර් 31 සමරන්න සුදානම් වුනු මොහොතක මම ගෙදර අස්පස් කරමින් හිටියා. ඒ වෙලාවේ ගෙදර ටීවී එක දාලා තිබ්බේ. මොකක් හරි වැඩසටහනක් මනුෂ ඉදිරිපත් කරමින් හිටියා. ඒ මොහොතේ මගේ තාත්තා කිව්වා හැම ටීවී චැනල් එකකින්ම දකින්න ලැබෙන නිවේදකයෙක් මේ කියලා. ඒ වෙද්දී ටීවී චැනල් කිහිපයකට මාරු වුනු නිසා තමයි තාත්තා එහෙම කියලා තියෙන්නේ.මම ටීවී එක දිහා බලලා අහ් කියලා අහක බලා ගත්තා. ඒ මම කැමති නිවේදකයෙක් නොවුණු නිසා වගේම ඔහු ගැන නොදැන හිටිය නිසා වෙන්න ඇති මම ප්‍රතිචාර නොදැක්වුයේ.

එහෙම ගණන් නොගෙන හිටපු ප්‍රසිද්ධ පුද්ගලයාගේ ජිවිතේට සමීප වෙන්න ලැබෙන්නේ කොහොමද..?

මගේ අක්කාට දේශපාලඥයෙක්ව විවාහ වෙන්න යෝජනා කරලා තිබ්බා. ඔහුගේ යාලුවා තමයි මනුෂ. අක්කා ඒ විවාහ යෝජනාවට අකමැති වුණත් ඔහු වගේම මනුෂ අපේ යාළුවෝ වුනා. ඒ කාලේ මම හිටියේ එංගලන්තයේ. වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. අපි යාළුවො විදිහට කතාබහ කළා අවුරුදු 12ක් විතර. එතකල් අපි දැකලා නෙමෙයි ආශ්‍රය කළේ. එහෙම ආශ්‍රය කරමින් ඉන්නකොට තමයි ඔහු මට විවාහ යෝජනාව ගෙන ආවේ. ඒ 2011 වර්ෂයේ.

ඒ වෙද්දී ඔහු විවාහකයෙක්, එක්දරු පියෙක්. එහෙම කෙනෙක් එක්ක විවාහ වෙනවට ඔබට ගෙදරින් අවසර ලැබුනද..?

අපි දෙන්නා විවාහ වෙනවට අපේ ගෙදරින් දැඩිලෙස විරුද්ධ වුණා. ඔහුගේ ජනප්‍රිය ජිවිතේ නිසා නෙමෙයි. පුද්ගලික ජිවිතේ නිසා. මනුෂව විවාහ කරගත්තොත් මට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙයි කියලා මගේ දෙමාපියෝ ඒවා පෙන්නලා දුන්නා. නමුත් මම ඒ කිසිම දෙයකට ඇහුම්කන් දුන්නේ නැහැ. තනි කැමැත්තට මනුෂ එක්ක විවාහ වුනා. විවාහ වුනාට පස්සේ මගේ දෙමාපියන් කිව්ව හැම ප්‍රශ්නයකටම මට මුහුණ දෙන්න සිදු වුනා. නමුත් අපි දෙන්නා අතර තිබ්බ විශ්වාසය හා අවබෝධයත් ඉවසීමත් නිසා අපි දෙන්නට පවුල් ජිවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් වුනා. අදටත් අපි ජිවත් වෙන්නේ හරිම සතුටින්.

තවමත් දෙමාපියන් විරුද්ධත්වය දක්වනවද..?

නැහැ. විවාහ වෙලා මාස දෙකක් ගියාට පස්සේ මගේ පවුලේ සියලුම දෙනා නැවත මගෙත් එක්ක කතාබහ කරලා පවුලට එකතු කරගත්තා. අද ගෙදර ඉන්න හොඳම බෑනා මනුෂ. ඒ වගේම අක්කට හොඳම මල්ලි, මල්ලිලාට හොඳම අයියා එයා තමයි.

ඔහුගේ කාර්යබහුලකම එක්ක කොයි වෙලාවකවත් හිතුණේ නැද්ද දෙමාපියන් කිව්වා වගේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න තිබ්බා නම් කියලා..?

මනුෂ මුල් කාලේ ඉදලම දේශපාලනය එක්ක පැය 24ම කාර්යබහුල වුණේ නැහැ. නිතරම ගෙදරට මුල්තැන දුන්නා. දරුවෝ එක්ක විනෝද වෙනවා. පවුලට කාලය වෙන් කරගන්න එයා අමතක කරන්නේ නැහැ. ඒ නිසා ඔහු කාර්යබහුලයි කියලා මට හිතිලා නැහැ. ඒ වගේම කියන්න ඕන එයා හරිම හොඳ ගතිගුණ සහිත ආදරණිය මනුස්සයෙක් කියන එක. ඒ හැම දෙයක් නිසාම කවදාවත් ඔහු ගැන අහිතක් මට හිතිලා නැහැ.

දරුවෝ තුන්දෙනා ගැන කිව්වොත්..?

ලොකු පුතා ජෙවිදු නානායක්කාර , වයස අවුරුදු 8යි. දෙවැනි පුතා විජේයිදු නානායක්කාර එයාගේ වයස අවුරුදු 7යි. අන්තිමයා දුව. එයා දෙමින නානායක්කාර. එයාගේ වයස අවුරුදු 4යි. ලොකු පුතා හරිම නිහඬ චරිතයක්. විද්‍යාව විෂයට ඇල්මක් දක්වනවා. දෙවැනි පුතා රගර් හා ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. දුව නම් ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරන ක්‍රියාශීලි දරුවෙක්.

නැවත විවාහ වීමත් එක්ක මනුෂට විවේචන එල්ල වුනා. බොහෝ දෙනා මඩ ගහන්න බලාගෙන ඉන්නවා..ඒ ගැන ඔහුගේ බිරිඳ විදිහට ඔබට දැනෙන හැඟීම කොයි වගේද..?

හැමදාමත් අපිට මඩ ගහන්න මිනිස්සු පිරිසක් බලාගෙන ඉන්නවා. මුල් කාලේ ඒ වගේ කතා ඉවසන්නම බැරි වුනා. විවාහ වුනු අලුත ඒවා දකිද්දී මම දුකට ඇඬුවා. ඒත් එක්ක සමාජයට මුහුණ දෙන්න ලජ්ජා හිතුනා. මනුෂගේ යාළුවො තමයි මගේ හිත හැදුවේ. පසුගිය කාලෙත් මඩ පෝස්ටර් ගාල්ලෙට බෙදලා තිබුනා. කිසිදෙයක් නොතේරන දරුවෝ නිසා තමයි මට ඒ ගැන දුකක් හිතෙන්නේ. ඒ කොහොම නමුත් පවුලක් විදිහට අපි ශක්තිමත්. අපි හරිම සතුටින් ජිවත් වෙනවා.

ජය පැරදුම් මැද දේශපාලන ජිවිතේ ඔහු කලකිරුණු අවස්ථා තිබෙන්න ඇති.ඔබ ඔහුට හයියක් වුනේ කොහොමද..?

දේශපාලන ජිවිතේ ජය පැරදුම් කොහොමත් තියෙනවා. ජය ගත්තම සතුටු වුනා වගේම පැරදුනාම දුක් වෙලා පසුතැවිලත් තියෙනවා. මමත් දුක් වෙනවා ඔහුත් එක්කම. ඒ වෙලාවට මම මනුෂගේ හිත සැහැල්ලු වෙන වටපිටාව හදලා දෙනවා. ඔහුට නිදහසේ ඔහුගේ වැඩකටයුතු කරගෙන යන්න මම කොහොමත් උදව් කරන නිසා මානසිකව වැටුණත් දවස් දෙක තුනකින් ඔහු නැවත යථාතත්වයට පත් වෙනවා.

හර්ෂණී වීරරත්න




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.