Jan 07

ට්‍රම්ප් නිසා අමෙරිකානු ඉතිහාසයට අඳුරුතම දිනයක් - ජෝ බයිඩන් නිල වශයෙන් පත්වෙයි


ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා ලෙසින පෙනී සිටින අමෙරිකාවේ ඉතිහාසයට ඊයේ (06) කළු පැල්ලමක් එක්විය.

ඒ, "අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය" ලෙසින් සැලකෙන වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල අසල ඇති වූ විරෝධතාව හේතුවෙනි.

ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඊට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ විරෝධය මැඩපැවැත්වීමට පොලිසිය ගත් පියවර හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඒ අනුව මේවන විට වොෂින්ටන් නුවරට ඇඳිරිනීතිය පනවා දින 15 ක "හදිසි තත්ත්වයක්" ද ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වූ ජෝ බයිඩන්ගේ ජයග්‍රාහී ප්‍රතිඵලය තහවුරුකිරීමේ අවස්ථාව වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල තුළ පැවැත්වෙමින් තිබියදී ජනාධිපති ට්‍රම්ප්ගේ හිතවාදීන් විසින් ඊයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණි.

එම අවස්ථාවේ අවිගත් විරෝධතාකරුවන් බලහත්කාරයෙන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී එහි පාලනය සියතට ගැනීමට උත්සාහකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන්ගැනීමත් සමඟ තත්ත්වය පාලනය සඳහා පොලීසිය රබර් උණ්ඩ ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීමට ගත්තේය.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සමත් වුව ද ප්‍රහාරවලින් කාන්තාවක්ද ඇතුළුව විරෝධතාකරුවන් සිවුදෙනෙකු මියගොස් තිබුණි.

කලහකාරී තත්ත්වය ඇතිකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පනස් දෙදෙනකු අත්අඩංගුවටගත් බව වාර්තා වේ.

ජනාධිපතිවරණ පරාජය පිළිගෙන සාමාකාමීව බලය හුවමාරුකිරීමට ජනාධිපති ට්‍රම්ප් අකමැත්ත පළකිරීම මෙසේ එරට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගීමට ඉවහල් වී තිබූ බව වාර්තා වේ.

සිය පරාජය පසුපස මහ පරිමාණ මැතිවරණ වංචාවක් සිදුව ඇති බව පැවසූ ට්‍රම්ප් ඊට එරෙහිව පෙළගැසෙන ලෙස සිය ආධාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

පසුබිමක ජනතාව නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේ යැයි පවසමින් ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් තාවකාලිකව අවහිර කිරීමට ෆේස්බුක් හා ට්විටර් ආයතන පියවර ගනු ලැබීය.

ජනාධිපතිවරණයේදී ජෝර්ජියා, පෙන්සල්වේනියා, නෙවාඩා, මිචිගන් හා ඇරිසෝනා ප්‍රාන්ත ජයගැනීමට ජෝ බයිඩන් සමත් වූ අතර එය අභියෝගයට ලක්කරමින් රිපබ්ලිකන් පක්ෂය විසින් එරට කොන්ග්‍රසය හමුවේ ගොනුකර තිබූ විරෝධතා සම්බන්ධව ඊයේ විවාදය පැවැත්වීමට නියමිතව තිබුණි.

විරෝධතා හේතුවෙන් ඊට බාධා වුවත් පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් කැපිටල් ගොඩනැගිල්ලේ සභා ගර්භයෙන් සම්පූර්ණයෙන් ඉවත්කිරීමෙන් පසු සභාවාරය යළි ආරම්භ කළේය.

දැඩි රැකවල් මධ්‍යයේ යළිත් කොන්ග්‍රසයේ කටයුතු ආරම්භකිරීමෙන් පසු උප ජනාධිපති මයික් පෙන්ස් විරෝධතාකරුවන්ගේ හැසිරීම දැඩිව විවේචනය කළේය.

ඔහු පවසුවේ, "අද අමෙරිකානු ඉතිහාසයේ අඳුරු දිනයක්. ඇතිවුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වය අපි හෙළාදකිනවා. ජීවිත අහිමිවූවන් වෙනුවෙන් ශෝකය පළකරනවා. අපි ජයග්‍රහණය ලැබුවේ නැහැ. ප්‍රචණ්ඩත්වය කිසිදා ජයගන්නේ නැහැ. ජයගන්නේ නිදහස පමණයි," යනුවෙනි.

මේ අතර රිපබ්ලිකන් පක්ෂයේ 2012 ජනාධිපතිවරණ අපේක්ෂකක් වූ මිට් රොම්නි පැවසුවේ..."ලෝකය පුරා විකාශය වන ඡායාරූප මං දැක්කා. මගේ හදවත ඉන් බිඳී ගියා. අපිට අද මෙහෙම රැස්වෙන්න වෙලා තියෙන්නේ ආත්මාර්ථකාමී මිනිසෙකු හැසිරීම නිසා. ඒ වගේම ගෙවුණු මාස දෙක පුරා රැවටුණු ඔහුගේ ආධාරකරුවන්ගේ පහත් හැසිරීම් නිසා. කනගාටුවට පත්ව ඉන්න ඡන්දදායකයින්ට ගෞරව දක්වන්න පුළුවන් එකම විදිහ ඔවුන්ට ඇත්ත කියන එක. තේරීපත් ජනපති බයිඩන් මැතිවරණය දිනුවා. ජනාධිපති ට්‍රම්ප් පැරදුණා. ඒ අත්දැකීම මං විඳලා තියෙනවා. ඒක වේදනාත්මක බව මං දන්නවා".

විවාදයෙන් පසු, ඡන්දවිද්‍යාල අවසන් ප්‍රතිඵල නිකුත්කිරීම වළක්වමින් ඉදිරිපත්ව තිබූ සියලු විරෝධතා නිෂ්ප්‍රභකිරීමට කොංග්‍රස් සභාව තීන්දු කළේය.

ඉන් අනතුරුව, තේරීපත්වූ ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇති වූ විරෝධතා මාලාව හුදු විරෝධයක් නොව කැරැල්ලක් බවය.

"මෙය විරෝධයක් නොවෙයි. කැරැල්ලක්. ලෝකයම අප දිහා බලන් ඉන්නවා. අනෙක් අමෙරිකානුවන් වගේම, අපේ ජාතිය ගැන මමත් කම්පාවෙනවා. දුක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපේක්ෂාවන් ඉතාමත් අඳුරු කඩඉමක් දක්වා පැමිණ තිබෙනවා."

අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙසින් ජෝ බයිඩන් එළැඹෙන ජනවාරි 20 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලේදී දිවුරුම් දීමට නියමිතය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වොෂින්ටන් අගනුවරට ඇඳිරිනීතිය පනවා ඉදිරි දින 15 සඳහා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව නව ජනාධිපතිවරයා දිවුරුම්දෙන තුරු නගරයට හදිසි තත්ත්වය බලපැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර තම විශිෂ්ට ධුරකාලය අවසන් කරමින් ලබන ජනවාරි 20 වැනිදා ධුර‍යෙන් ඉවත්වන බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් කර තිබේ.

කෙසේ නමුත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බවත්, යුක්තිය වෙනුවෙන් තවදුරටත් සටන් කරන බවත් ට්‍රම්ප්ගේ නිවේදනයේ සඳහන්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.