Dec 06

එකම පවුලේ පස්දෙනෙක් මුහුණ දුන් මාරක රිය අනතුර


අද ලෝකෙ අපි අත්දකින, අපි අහන සමහර සිදුවීම් හීන වගේ... හිතා ගන්න බෑ... මේ ලෝකෙ මෙහෙම දේවලූත් මිනිසුන්ට වෙනවද කියල හිතෙනකොටත් හරි පුදුමයි.

සුනිල් ඇතුළු එකම පවුලේ පස් දෙනෙක් පසුගිය 27 වැනිදා මුහුණ දුන් මාරක රිය අනතුරත් අන්න ඒ වගේ තමයි.

ඒත් දැන් ඒක අතීතයට එක්වුණු තවත් එක් අනුවේදනීය සිද්ධියක් විතරයි. සිදුවෙලා සතියකුත් ගත වෙලා. අහිංසක සුන්දර කුරුලූ කැදැල්ලක් වන පවුලක් යළි කිසිදා එක් නොවන පරිදි සිඳී බිඳී විසිරී වෙන්වෙලා... සුනිලූත් නවෝද් පුතුත් සංදීප පුතුත් පමණක් මෙලොව තනි කොට සුනිල්ගේ බිරිඳ හෙලනුත් ඔවුන්ගේ ලොකු දුව තිසරවීත් යන්නම යන්න ගිහින්. යන්න ම යන්න... ඔව්... ආයෙත් නොඑන්නම...

ඒක හරිම දුක හිතෙන කතාවක්. ඇහුවොත් කළු ගලක් වන් රළු පරළු ගොරහැඬි හදවතක් වුණත් පුංචි මල් පෙත්තක් තරම් මුදු මොළකැටි කරවන තරම් සංවේදී අනුවේදනීය කතාවක්...

එහෙම කතාවක් කොතනින් පටන් ගන්නද.. කොහොම පටන්ගෙන කොතනින් කියල ඉවර කරන්නද... මට නම් හිතා ගන්න බෑ...

ඒත් මට හිතුනා සුනිල්ගෙන් පටන් ගන්න. ඔහුගේ නම සුනිල් දිසානායක. ගම පස්සර. පස්සර කිව්වට පස්සර පල්ලේගම. සපුරොද කියලත් කියනවා. ගොඩ මඩ දෙකම ගොවිතැන් කරන ගොවියන් ඉන්න සපුරොද හරිම ලස්සන ගමක්. සාගර පලන්සූරිය කවියා සුදෝසුදු කාව්‍යය ලියමින් ‘‘කටුරෙද ගම්මානේ’’ කියලා විස්තර කළේ මේ සපුරොද ගැන ද කියලාත් මට විටෙක හිතුනා. ගොඩ මඩ ගොවිතැනින් සරුවුණ ඒ ගම ඒ තරමට ලස්සනයි. නමුනුකුල කන්දෙන් පටන් ගෙන මහවැලි මිටියාවතින් අවසන් වන ලොග්ගල් ඔය ඒ ගම මැදින් ගම දෙපළු කරගෙන ගලාගෙන ගියා.

සුනිලූයි හෙලනුයි එකම ගමේ. ගෙවල් තිබුණෙ ගඟ දෙපැත්තේ තමයි. ඒත් පස්සර මධ්‍ය මහා විද්‍යාලයට පාසල් ගියේ එකට. එකම පාරෙ... පා ගමනින්... සුනිල් - හෙලන් පේ‍්‍රම වෘතාන්තය පාසල් පේ‍්‍රමයකින් පටන් ගත්ත එකක්. ඒක ටිකක් දිග කතාවක් තමයි. නමුත් තැනින් තැන ටිකක් හරි නොකිව්වොත් මේ කතාව සම්පූර්ණ වෙන්නෙත් නැහැනේ.

සුනිල්ගෙයි හෙලන්ගෙයි පේ‍්‍රම කතාවට බාධක ගොඩයි. හිරිමල් තරුණ වියේ දීම මේ දෙන්න එක්කෙනෙක් වෙන්න හිතන්න ඇත්තෙත් ඒකයි.

පුංචි කාලේ ඉඳලම සුනිල්ට හොඳ ආත්ම ශක්තියක් තිබුණ බව මට මතකයි. ඒ වගේම ඉලක්කයක්. කාගෙවත් හව්හරණක් නොමැතිව හෙලනුත් අරන් කොළඹ ආපු සුනිල් පිය පාර්ශ්වයේ නෑදෑයන්ගෙ සහාය ඇතිව කොටහේනේ පුංචි වෙළඳාමකට මුල පුරනවා.

පේ‍්‍රමය සුන්දර වුණාට ජීවිකාව සරල නෑ. ඒක ඒ තරම් සුන්දරත් නෑ. ඒත් ඔහුගේ ආත්ම විශ්වාසය සුළුපටු නෑ. පුංචියට වුණත් පටන් ගත්ත වෙළඳාම දවසින් දවස දියුණු කරගන්න තරම් ඉලක්කයක් ඔහු තුළ තිබුණා. මුල්ලේරියාවෙ කොටිකාවත්ත අයි. ඞී. එච්. පාරෙ පුංචි ඉඩමක් මිලට ගෙන ඔහු නිවසක් තනන්න පටන් ගත්තා. නිවසක් නෙවෙයි, ඇත්තටම ඒක කැදැල්ලක්. සුනිල් ටික ටික වෙළඳාමෙන් සාර්ථක වෙමින් ජීවිතය දිනමින් උඩට උඩට එද්දි කැදැල්ලත් ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා කියලා කිව්වොත් වැරදි නෑ.

පවුලට එකතුවුණු අලූත්ම සාමාජිකාව රශෂ්චිරා තිසරවී දිසානායක. නම ටිකක් කටට නුහුරුයි නේ? ලොකු දියණියට පස්සේ පුතණුවන්. නම නවෝද් රන්හාර... ඒ නම අක්කගේ තරම් කටට නුහුරු නෑ. පවුලේ බාලයා වුණේ චතූප සන්දීප දිසානායක. ටිකින් ටික ලොකු වුණත් මේ කැදැල්ල දිවි ගෙව්වේ බොහොම සැහැල්ලූවෙන්. නිදහසින්...

කාලයා විසින් සුනිල්ව සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත් කළා. කොටහේනෙන් ඇවිත් කොටිකාවත්ත නගරයේ පුංචි සිල්ලර බඩු කඬේකින් වෙළඳාම පටන් ගත්ත සුනිල්, පසුකාලීනව හෙලන් වෙනුවෙන් රෙදි කඩයකුත් ආරම්භ කළා. ජීවිතය ජය ගනිමින් හෙලන් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් නොමඳව වෙහෙසුනා.

දියණි තිසරවී උදේ පිපුණු පින්න මලක් මෙන් හැදුණු වැඩුණු සුන්දර යුවතියක්. පිනි වැටුනහම පින්න මල් මොන තරම් ලස්සනද. තිසරවී සිනාවෙන විටත් එහෙමයි. ඕ කොළඹ විශාඛා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක්. ක‍්‍රීඩාවෙන් නර්තනයෙන් සංගීතයෙන් මොන තරම් දස්කම් පෑවත් තිසරවී ඒ කිසිවක් අධ්‍යාපනයට බාධාවක් කර ගත්තෙ නෑ. 2019 වසරේ මුල් වරට ගණිත අංශයෙන් උසස් පෙළට ඉදිරිපත්වූ ඕ ඉහළටම යෑමට ඇති අවශ්‍යතාව නිසා නැවත වරක් 2020 වසරේත් උසස් පෙළට පෙනී හිටියා...

කොළඹ ආනන්දයේ ඉගෙනුම ලැබූ ලොකු පුතු නවෝද් රන්හාරත් විද්‍යා අංශයෙන් මුල් වරට උසස් පෙළ විභාගයට පෙනී හිටියේ 2020 දී. විභාගය ඉවර වුණාට පස්සේ දරුවෝ තුන්දෙනත් එක්ක දවස් දෙක තුනක් ගම්පළාතේ ගිහින් විවේකයක් අරන් එන්න සුනිලූත් හෙලනුත් හිතන්න ඇති.

පසුගිය දිනක මේ පස් දෙනා ඔවුන්ගේ සුසුකි සෙලොරියෝ (suzuki celerio) වර්ගයේ කාර් රියෙන් පස්සර බලා යන්නේ එහෙමයි.

මේ කතාව සම්පූර්ණ වෙන්න නම් අපිට චන්ද්‍රා අක්ක ගැනත් කතා නොකරම බැහැ. ඇය හෙලන්ගේ මව. මහමෙරක් තරම් දුක උසුලන්න සමත් දිරිය මාතාව.

පස්සර විවිධ සේවා සමුපකාර සමිතියේ සේවිකාවක ලෙස සේවය කළ චන්ද්‍රා අත්තනායක විවාහ වුණේ එවකට සුළු ව්‍යාපාරිකයෙකුව සිටි සැම්සන් විජේවර්ධන සමග. සැම්සන් අයියත් හරි අමුතු මනුස්සයෙක්. සිනමාවට කලාවට ලෝක දේශපාලනයට හරි උනන්දුයි. මේ නිසා ඔහු ඔවුන්ගෙන් ලොකු දියණියට අමුතු නමක් දැම්මා. පැටී‍්‍රෂියා නූටාන්. දෙවැන්නා හිත හොඳ කොල්ලෙක්. තරමක් කලබල කාරයි. අපට වඩා වසර දෙක තුනක් බාල ඇති. නම නික්සන්. රිචඞ් නික්සන් මතක් වෙනවා නේ. ඔහු නික්සන් විජේවර්ධන. බාලය තමයි අපි මේ කියන හුරතල් කෙල්ල. නම නම ලිටී‍්‍රෂියා හෙලන්.

1987 දී මම පස්සර සෙන්ට‍්‍රල් එකේ උසස් පෙළ කරන කොට සුනිල් හිටියෙ මගේ පන්තියෙ. අපේ පන්තියේ හිටපු අයගෙන් විවාහයක් දක්වා ගිය සාර්ථකම පාසල් පේ‍්‍රමය තමයි සුනිල් - හෙලන් පේ‍්‍රමය. ඒ දවස්වල එයට බාධාවන් ගොඩයි. ලොකුම බාධාව හෙලන්ගේ අයියා නික්සන්. හෙලන් සුනිල්ට වඩා ගොඩක් බාලයි. ඒ දඟකාර කෙල්ල හිටිය පුංචි පන්තියක නිසා ඇගේ ආරක්ෂකයා වන නික්සන් සුනිල් පසුපස එළවන්නට වුණා. සාම්ප‍්‍රදායික පෙම් නවකතාවක හෝ චිත‍්‍ර කතාවක ජවනිකා මේ නිසා එදා අපිට නිතර දකින්න ලැබුණා. කතාවේ දුෂ්ටයා නික්සන් හඹා ඇවිදින් සුනිල්ව අල්ල ගන්න හැම මොහොතකම සේනක මලලසේකර, ඒකනායක, සෙනෙවිරත්න, සරත් කොඩිතුවක්කු, මම, ඥානරත්න, පේ‍්‍රමරත්න, තිලක්, විමල්, සිසිර වගේ අය රැසක් සුනිල්ගේ පැත්තට සිටි නිසා නික්සන් නිතර පසු බැස්සා.

චන්ද්‍රා අක්කා ඇතුළු හෙලන්ගේ පවුලේ අය මට විශේෂ වුණේ මගේ ප‍්‍රියතම ගුරුවරිය අමර මිස් නිසා. අමරා මිස් කියන්නේ චන්ද්‍රක්කාගේ නැගණිය. 1980 ඉඳලම අපිට ඉගැන්නුවා. රුසියානු සාහිත්‍යයම අපට ගෙනත් දීල අපිව කියවන්න හුරුකළා. අපිව බලා ගත්තා.

87/88 උසස් පෙළ විභාග වලින් පස්සේ අපි විසිරිලා ගියා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම කොළඹ එනකොට සුනිලූත් හෙලන් සමග හොර රහසේ විවාහ වෙලා කොළඹට එන්න ඇති. චන්ද්‍රක්කාගේ එකම පුතා නික්සන් සිය අනවරත අරගලකාරී බව නිසා ම 88/ 89 කැරැල්ලට මැදිව රජයේ නිල නොලත් මැර සංවිධානවල ගොදුරක් බවට පත්ව ජීවිතයෙන් සමුගත්තා.

ඒවා පරණ කතා. දැන් ආයෙත් අලූත් කතාවට එමු.

සුනිල් - හෙලන් සමග ගමට ආපු දරු තිදෙනාට මෙවර නිවාඩුව අමුතු ආශ්වාදයක් වුණා. නෑ ගෙවල්වල ඇවිද ගියා. ඇළේ දොලේ කැලේ පැන ඇවිදින්නට වුණා. පස්සරට ඩැමේරියා පාරේ අලූත තැනූ නිවසේ අඩු පාඩු සැකසුවා.

හෙලන් සිය දියණියත් පුතුන් දෙදෙනාත් සමඟ චන්ද්‍රා අක්කා විසූ නිවසේ මිදුල අලංකාරව සැකසුවා. එක පැත්තකින් තුමුල නමුණුකුල. අනිත් පැත්තෙන් ලූණුගල ගිරි මුදුන. ඒ දෙකට මැදින් ඈතට ඈතට ඈතට විහිදුණු මඩොල්සිම කඳුවැටිය. ගේ ඉදිරි පසින් පෙනෙන මේ මිල කළ නොහැකි මනස්කාන්ත දර්ශනයට සරිලන සේ මිදුලේ ගහකොළ අලූත් කරන්නත් මල් පැළ සිටවන්නේ හෙලන් වෙහෙසුනා...

‘‘මේ දොර ජනෙල් නිතර අරින්න. ඈත ඉඳන් එන හීතල හුළඟට ගේ ඇතුළට එන්න ඉඩ දෙන්න...” කියමින් හෙලන් ඒ ගෙදර ජනෙල් දොරවල් ඇර දැම්මා. දොර ජනෙල් තිර අලූතින් මසා දැමුවා. නිවෙස හැඩ කළා...

‘‘මම ආයෙත් එනකොට මේ ගෙදර ලස්සනට තියෙන්න එපායැ. මේ සාලෙ දැන් කොච්චර ලස්සනද.” චන්ද්‍රක්කාගේ චූටි දූ හෙලනුත් මිනිබිරිය තිසරවීත් නිවෙස මේ තරම් හැඩ කරන්නේ කුමන දෛවෝපගත හේතුවක් නිසා දැයි කියා චන්ද්‍රක්කා නිකමටවත් හිතන්න නැතුව ඇති.

දින දෙක තුනක විවේකය හා නිවාඩුව ඉක්මනින් ගෙවීගියා. සුනිල් යළි කොළඹ එන්න කල්පනා කරන්නේ ව්‍යාපාරික කටයුතු නිසා. රෙදි කඬේ වැඩ කටයුතු අතපසු වීම හෙලන්ටත් ලොකු පාඩුවක්.

පසුගිය 27 වෙනි සිකුරාදා උදෙන්ම මේ අය කොළඹ එන්න හදිසි කළේ ඒක නිසා වන්න ඇති.

ආ පසු කොළඹ එන ගමන ඔවුන් පස්සරින් ඇරඹුවේ උදේ 8.30ට විතර. සුපුරුදු පරිදි අසුන් ගන්නා පිළිවෙළට ටිකක් වෙනස් අයුරින් එදා කවුරුත් ඔවුන් ගේ සුසුකි සෙලරියෝ (suzuki celerio) රථයේ අසුන් ගත්තා. ඉදිරි අසුනේ සුනිල්, රියදුරු අසුනේ ලොකු පුතු නවෝද්. පිටුපස මැද බාල පුතු චතූප. දියණිය තිසර වී පසුපස එක් කෙළවරක. මව හෙලන් අනෙක් කෙළවරේ. හුරුබුහුටි නවෝද් පස්සර බඩල්කුඹුර බුත්තල වැල්ලවාය තණමල්විල පසුකරමින් මත්තල 22 කණුව හන්දිය තෙක් වාහනය පරිස්සමින් පදවාගෙන ආවා.


22 කණුව හන්දිය පසුකර දකුණට හැරුනම දිගටම තියෙන්නේ ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් පාර. මත්තල අධිවේගී මාර්ග පිවිසුමට තව කිලෝ මීටර 12යි. ඇතැම් තැන්වල ගොරහැඩි තාර කාපටය. වැඩි කොටසක් කොන්ක‍්‍රීට් පදාස. කොහොම වුණත් තෙරක් නොපෙනී ඈතට ඈතට ඈතට විහිදී තියෙන මේ කෙලින් පාරේ ලෑල්ලට පාගල ගමන යන්න හදිස්සියක් නොදැනෙන හදවතක් කොයින්ද මේ නව යෞවනයෙකුට.

කවුරුන් හෝ වේගය පාලනය නොකළා නම් අත්දැකීම් අඩු නව යොවුන් හදවතක රිද්මය තමයි ඒ.

යන්තමින් හයේ කණුව පසු වන්නට ඇති. අධිවේග මාර්ගයේ පිවිසුමට තව ටිකක් දුරයි. පාර කියන්න බැරි තරම් නිදහස්. ඇක්සලේටරයට බාධාවක් නෑ. වාහනයෙ ඩෑෂ් බෝඩය මත වේගය දනවන මීටරයේ රතු කට්ට තව තවත් ඉහළ නගිනු රිසියෙන් දඟලන්නට ඇති.

එවන් පසුබිමක අනතුරක් සිදුවන්න ඇහි පිල්ලමක් වැටෙන නිමේෂයක් හොඳටම ඇති. මහ දහවලේ කට්ට අව්වේ රත්වෙමින් තිබූ තාර කාපට් මාර්ගයේ මහ පොළවත් කාරයේ රෝදත් ගෑවි නොගෑවී යමින් තිබියදී ස්වභාදහමේ විධි නියාම පවා අකාරුණික වුවහොත් සමාවක් කොයින්ද.

හිටි හැටියේ ම suzuki celerio රථයේ පිටු පස රෝදයක් පුපුරා ගියේය. සුක්කානම මොන තරම් තදින් අල්ලා සිටියත් එවන් අනපේක්ෂිත අත්දැකීමකට නවෝද් තවම පොඩි වැඩියි. ඔහුගේ පාලනයෙන් මිදුණු රථය අසුරු සැණින් උඩු ගුවනට නගින්නට ඇති. පාරෙන් ඉවත තිබූ ගසක කරටිය මත ගැටුණු රථයේ සමබර බව ගුරුත්වයෙන් ගිලිහෙන්නටත් ඇති. වාහනය ගුවනේ එකතැන කැරකෙන්නට ඇති. ඇසි පිල්ලමක් ගැසෙන නිමේෂයක් මොන තරම් ඛේදවාචකයක් සිදු වී තිබේද.

මේ තරම් බිහිසුණු අනතුරක වුවත් පුංචි නවෝද් සුක්කානම අත හැරියේ නැහැ. ඔහුගේ ආරක්ෂාව සැලසුණේ මේ නිසාම වන්නට ඇති. කළ යුත්තේ කුමක්ද. පුංචි නවෝද් හිතන්නට වුණා. තාත්තා (සුනිල්) නිසොල්මන්. ඒත් ඔහුගේ ඇසිපිය සැලෙන බව පුංචි නවෝද් දැක්කා. බාල මලනු දිලීප පිටුපස අසුනේ හිර වී බියෙන් කෑ ගසන හඬත් නවෝද් දුටුවා. ඔවුන්ට ලොකු අනතුරක් නැති බව ඔහුගේ පුංචි හිතට වැටහී ගියා. ඒත් දෙවියනේ පිටිපස දොරෙන් රෙදි

වැරැහැල්ලක් විසි වන්නාක් සේ එළියට විසි වී ගිය අම්මාගේ ඉරණම කුමක් වන්නට ඇතිද. අනික් පසින් එළියට ඇද වැටුණු අක්කාට කුමක් වීද. වහා හැකි පමණ වෙර යොදා උරහිසෙන් ඇන දොර ඇරගත් නවෝද් වාහනයෙන් එළියට ආවා. කාරය සුන්බුන්

ගොඩක්. ඒ මාරක රිය අනතුර ඉව වැටුණු අවට ජනතාව ඒ වන විටත් හතර වටෙන් රොක් වන්නට පටන් ගෙන. හෙලන්ගේ දේහය ඒ වන විටත් නිසලයි. රූබර හිනාවකින් නිරතුරුව මුව සරසාගෙන සිටින දයාබර අක්කා වේදනාබර කෙඳිරියක. සුන්බුන් ගොඩක් වූ සොයුරියගේ සිරුර සහ අම්මාගේ සිරුර අසල්වාසීන්ගේ උදව්වෙන් පාරට ගෙනැවිත් පාරේ යමින් තිබූ වාහනයක පටවා ගෙන දෙබරවැව රෝහලට ගෙන යන්නට තරම් පුංචි නවෝද් එඩිතර වීම මොන තරම් හයියක්ද... ඒත් තම දයාබර අම්මා ඒ වන විටත් ජීවිතයෙන් ඈත්ව හුඟක් දුර ගොස් ඇති බව නවෝද් දැන සිටියෙ නෑ. සොයුරිය තිසරවී කෙඳිරි ගාමින් ජීවිතයත් මරණයත් අතර සටනක.

ප‍්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතුව සුනිල් හා බාලපුතු සංදීප වෙනත් වාහනයක කරාපිටිය රෝහලට යැවුනා. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ වී තිබුණේ නෑ. එහෙත් තිසරවී හම්බන්තොට රෝහලේදී සදහටම දෙනෙත් පියාගෙන තිබුණා. හෙලන් දෙබරවැව රෝහලට ගෙනයන විටත් ඇගේ ඉරණම් ගමන ගොස් තිබුණා. දිරිය පුතු නවෝද් පොලිසියේ දහසකුත් එකක් ප‍්‍රශ්න වලට උත්තර බඳින එකම වගඋත්තරකරු වූවා.

හෙලන්ගේත් සුනිල්ගේත් ඒ සතුටු කැදැල්ල සිඳී බිඳී විසිරී යන්නට ගතව ගිය කාලය මොන තරම් නිමේෂයක්ද. මේ මාරක රිය අනතුරේ නීතිමය කටයුතු අවසන් වන වීමට දින දෙකක් ගත වුණා. සිකුරාදා දහවල් මියගිය මවගේත් දියණියගේත් දේහයන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලත් නෑ හිත මිතුරන්ගේත් උදව් උපකාර මත නිදහස් කර ගත හැකි වූයේ ඉරු දින හවස.

අවසානයේ දින කිහිපයකට පෙර තමන්ගේ දෑතින්ම ජනෙල් තිර දමා සකසා ලස්සන කරන ලද පස්සර නිවසේ මැද සාලයේ පහන් දෙකක එළි මැද්දේ උඩුකුරුව සිටින්නට හෙලන්ට සිදු වුණා. ලෙන්ගතු දියණි තිසරවී ඇගේ තනියට ඇය අසලින්ම උඩුකුරු ව සැතපී සිටියා. අපේ කාලයේ අප සියැසින් දුටු පටාචාරාව ලෙස චන්ද්‍රා අක්කා දේහය අසල බලා සිටියා. අඬන්නට තවත් ඇගේ ඇස් වල කඳුළු නැති තරම්... එහෙත් ඇය නිහඬව ම මනුෂ්‍ය ජීවිතය හා සොබාදහම පිළිබඳ අමුතු කතාවක් කියන්නට ඇති.

හෙලන්ගේ හා දියණිය තිසරවීගේ දේහයන් පස්සර මධ්‍ය මහා විද්‍යාලයට ඉහළින් පිහිටි ලස්සන කඳු ගැටය මත පිහිටි කනත්තේ එකම වළක තැන්පත් කෙරුණා. 2020 අවුරුද්දේ නොවැම්බර් මාසේ අන්තිම දවසෙ හැන්දෑව බැහැබර නෑ. වැහිබර අහසට පහළින් මීදුම් වලාවෝ කඳු ගැට වල ගෑවි ගෑවී ඒ මේ අත පාව ගියා. හෙලන් දියණියත් එක්ක මිහිදන් වුණු මේ සොහොන් බිම මතට මුළු පස්සරම පැහැදිලිව පේනවා. එක පැත්තකින් ඈ පාසල් ගිය අපේ පාසල. පස්සර සෙන්ට‍්‍රල් එක. අනෙක් කෙළවරින් ඇගේ ගම. සපුරොද. ඒ දෙක අතරේ සුනිල් හෙලන් පේ‍්‍රම වෘත්තාන්තයේ හැම රහසක්ම ලියැවුණු මාවත. පස්සර පල්ලෙගම පාර.

හෙලන්ට පාළු නැහැ. පුංචි කාලේ ඉඳන් දක්නට කැමති හැම සුව දසුනක්ම නෙත ළඟ.

හෙලන්ට පාළු නෑ. තනි නොතනියට දියණියත් අත ළඟ.

බුලිත ප‍්‍රදීප් කුමාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.