Dec
18
කුඩම්මලාගේ හිරිහැරවලට ලක්ව කුසට අහරක් නැතිව සිටි අවුරුදු 03 දෝණිට පොලිසිය පිහිට වෙයි
මෙලොවට බිහිකළ මව අත්හැර දමා යෑමෙන් පසුව සිය පියා විසින් වරින් වර කැඳවාගෙන ආ කුඩම්මලාගේ හිරිහැරවලට ලක්වෙමින් කටුමැටි පැල්පතක අසරණව, කුසට අහරක් නොමැතිව විවිධ වූ අඬම්තේට්ටම්වලට මුහුණදී හෙම්බත්ව සිටි වයස අවුරුදු තුනක දැරියක් නහවා පිරිසිදු කොට අලූත් ඇඳුම් අන්දවා කවා පොවා පරිවාස භාරයට පත් කිරීමට මඩොල්සිම පොලිසියේ නිලධාරීහු පිරිසක් ඊයේ (17 දා) කටයුතු කළහ.
මඩොල්සිම පොලිස් වසමට අයත් මැටිගහතැන්න, බකිනිලන්ද ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු තුනක් වයසැති හිමංසා සල්මිනි නමැති දැරියක් මෙලෙස පරිවාස භාරයට පත් කෙරිණ.
මෙම දැරිය මීට පෙර අවස්ථාවකදීද ඇයගේ මව විසින් කැලෑවක අතරමං කොට දමා ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරියගේ මවට විරුද්ධව අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇත. සිද්ධියට සම්බන්ධ දැරියගේ පියාගේ අනියම් බිරියක් විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම දැරිය පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කෙරිණි. මෙම දැරියට වයස අවුරුදු දෙකක් පමණ වෙද්දී ඇයගේ මව දැරිය හා සැමියා අත්හැර ගොස් වෙනත් විවාහයක් කරගෙන ඇති අතර දැරියගේ පියාද අවස්ථා කීපයකදීම අනියම් බිරින්දෑවරුන් කීප දෙනකුම සිය නිවස වෙත කැඳවාගෙන විත් ඇත.
ඒහෙත් ඔහු සමග දබර කර ගන්නා ඔවුන් දැරිය හා පියා අත්හැර දමා ගොස් ඇති අතර පෙරේදා (16) පොලිසිය වෙත පැමිණි තවත් අනියම් බිරියක් දැරිය පත්ව සිටින අනාරක්ෂිත බව සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ් අනුව වහාම ක‍්‍රියාත්මක වූ මඩොල්සිම පොලිසියේ පො.ප. ප‍්‍රසාද් දයානන්ද, කා.පො.සැ. (5707) එම්. ජයපද්ම මහත්මිය හා කා.පො.කො. ඒ. කුමාරි මෙනවිය ඇතුළු පිරිසක් දැරිය පදිංචි නිවස වෙත ගොස් දැරිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒ්මට කටයුතු කළහ.
කෙසේ වෙතත් පොලිසිය තුළ ඇය තබා ගැනීමට නීත්‍යනුකූල අවසරයක් නොමැතිකම නිසාම ඇය ඊයේ (17 දා) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර ඉන් පසුව පරිවාස භාරයට පත් කිරීමට ප‍්‍රසාද් දයානන්ද මහතා ඇතුළු නිලධාරීහු කටයුතු කරන බව පැවසීය.
කන්දකැටිය - ජී. චතුරංග