Nov 28

වසංගතයේ අතුරු විපාක රැසකින් දරුවන් බේරා ගත යුතුයි


කොරෝනා වසංගතයට ගොදුරු වන වැඩිහිටි පිරිස් සම්බන්ධයෙන් නිතර ම තොරතුරු වාර්තා වුව ද ළමා පරපුර එයට මුහුණ දෙන ආකාරය ගැන නිශ්චිත දැනුමක් අප හට නැත. මෙම වසංගතය නිසා ළමයින් මුහුණ දී සිටින සෞඛ්‍ය සහ අනෙකුත් ගැටලු මොනවා ද? මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප මුණ ගැසුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හේෂාන් ජයවීර මහතා ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති ඒ මහතා එක්සත් රාජධානියේ ළමා සෞඛ්‍ය සහ බාලචිකිත්සාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ සාමාජිකත්වය හොබවයි. හෙෂාන් ජයවීර මහතා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ලෙසින් ද සේවය කරයි.

කොරෝනා නිසා විවිධ සංකූලතා ඇතිවන පිරිස අතර ළමයින් ගැන සඳහන් වෙන්නේ අල්ප වශයෙන්. ඇත්තටම කොරෝනා රෝගයෙන් ළමයින්ට බලපෑමක් නැද්ද?

දරුවන්ටත් මේ ලෙඩේ හැදෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට රෝග ලක්‍ෂණ පෙන්නන්නේ නෑ. ඉතින් ළමයෙක් වසංගතයට ගොදුරු වුණා කියලා හොයාගන්න වෙන්නේ පී. සී. ආර්. පරීක්‍ෂණයෙන්. දෙමාපියන්ට හරි සමීපව ගැටෙන කාට හරි ලෙඩේ තියෙනවා කියලා හඳුනා ගත්තට පස්සේ ආශ්‍රිතයන්ව පරීක්‍ෂා කරද්දි තමයි ඒක කරන්න වෙන්නේ. දරුවා හරහා තමන්ගේ ගෙදර ඉන්න ආච්චිලාට සීයලාට බොහොම ලේසියෙන් මේ රෝගය බෝ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා වයිරසය ආසාදනය වෙන්නේ නැති විදිහට ළමයි පරිස්සම් කර ගැනීම ඉතාමත් වැදගත්.

කොරෝනා හැදුනට පස්සෙ ළමයින්ගෙ මතක ශක්තිය අඩු වෙන්න පුළුවන් ද?

වැඩිහිටි රෝගීන්ගේ ඒ වගේ ලක්‍ෂණ පහළ වෙලා තියෙනවා. ඒත් දරුවන්ගේ නම් එහෙම දෙයක් තවමත් හඳුනාගෙන නෑ. වයිරසය ඇඟට ඇතුළු වුණාට පස්සේ වෙනත් සංකූලතා හින්දා සමහරු සෑහෙන අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා, එහෙම අය රෝහල් ගත වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අයට තමයි ඔය වගේ අතුරු ආබාධ ඇති වෙන්නේ. හොඳ ප්‍රතිශක්තියක් තියෙන, ඒ වගේ ම මේ රෝගයෙන් වැඩිය පීඩාවට පත්වෙලා නැති අයට එහෙම වෙනවා කියලා දැන ගන්න නෑ.

කොරෝනා හින්දා ළමයින්ගෙ ශරීර ප්‍රතිශක්තිය බිඳ වැටෙනවද?

ඕනෑම වයිරස් රෝගයක් හැදුණට පස්සේ සෑහෙන තරමකට ප්‍රතිශක්තිය දුර්වල වෙන්න ඉඩක් තියෙනවා. ඒක තාවකාලික දෙයක්. සමහරුන්ට ඉක්මනටත් තවත් සමහරුන්ට ක්‍රම ක්‍රමයෙනුත් ඒක සාමාන්‍ය අතට පත් වෙනවා. කොහොමත් හුඟක් ළමයින්ගේ ප්‍රතිශක්තිය හොඳ මට්ටමක තියෙනවා. ඒ හින්දා ළමයින්ගේ ප්‍රතිශක්තිය අඩුවීම පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නෑ. සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් ප්‍රචාරය කරන දේවල්වල හරි වැරැද්ද ගැන නම් අපි සැලකිලිමත් වෙන්න ඕන.

කොරෝනා වසංගතය හින්ද මේ වෙද්දි ළමයින් මුහුණපා තියෙන වෙනත් අර්බුද මොනවද?

වසංගතය හින්දා ඉස්කෝල වැහිලා. පෙර පාසල් වැහිලා. දිවා සුරකුම් මධ්‍යස්ථාන වැහිලා. දරුවෝ සුරක්‍ෂිතව ගෙවල්වලට වෙලා ඉන්නවා. එදිනෙදා හැදෙන වයිරස් උණ වගේ සාමාන්‍ය රෝග වැලඳීමත් ගොඩක් දුරට අඩු වෙලා. ස්වසන රෝගත් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා. ඒක හොඳ දෙයක්. හැබැයි මේ වසංගතයත් එක්ක සමහර දෙමාපියන්ගේ රස්සා නැති වෙලා. පවුලේ ආදායමට ලොකු බලපෑමක් වෙලා. මේ හේතුව හින්දා අඩු ආදායම් ලබන පවුල්වල, එහෙමත් නැත්නම් දිනපතා වැටුපට වැඩ කරන දෙමව්පියෝ ඉන්න පවුල්වල දරුවෝ පෝෂණ ප්‍රශ්නවලට මුහුණ දීලා. ඒ ළමයින්ට සමබල ආහාර වේලක් ලබා දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

මේකට විසඳුමක් නැද්ද?

මාස හයේ හතේ දරුවන්ට අමතර ආහාර දීලා වැඩිහිටියෝ කන දේවල්වලට ක්‍රම ක්‍රමයෙන් හුරු කරගන්න ඕන. දැන් වැඩිහිටියොත් හුඟක් වෙලාවට ගෙදර ඉන්න හින්දා අමතර ආහාරවලට හුරු කරන්න පුළුවන්. ඒ වගේ ම, අම්මලා ගෙදර ඉන්න හින්දා අමතර ආහාරවලට පුරුදු කරපු සමහර පුංචි ළමයි නැවතත් මව් කිරි බොන්න යොමු වෙන්නත් ඉඩ තියෙනවා. සමහර ගෙවල්වල වැඩිපුර ආහාර ගබඩා කරගෙන ඉන්න හින්දා ඒ පවුල්වල ළමයි නිතර ම අනවශ්‍ය විදිහට කෑමට යොමු වෙලා. ඒ වගේ ළමයි බර වැඩි වීමේ, ස්ථුලතාව පිළිබඳ ගැටලුවට මුහුණ පාලා තියෙනවා.

වසංගතය නිසා ළමයි එකතැනකට කොටුවෙලා. මේ තත්ත්වය නිසා ළමයින්ට මානසික සංකූලතාවලට ගොදුරුවීමේ අවදානම මොන වගේද?

ළමයින්ට යම් ආකාරයක ආතතිය ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. ගෙදරින් පිටට යාමට බැරිකම, ගෙදරට කොටු වී සිටීම, යහළුවන්ගේ සම්බන්ධතා නැතිවීම මේකට හේතු වෙලා. ළමයින්ගේ එදිනෙදා චර්යා බොහොමයක් වෙනස් වෙලා. සෙල්ලම් කරන්න ඉඩක් නෑ. ළමා උද්‍යානවලට යෑම සීමාවෙලා. විශේෂයෙන් ම නාගරික පරිසරයේ තට්ටු නිවාසවල ජීවත් වෙන දරුවන්ට මේක තදින් බලපානවා. ගම්වල ළමයින්ට නම් වත්ත පිටියේ ඇවිදලා, එළියේ සෙල්ලම් කරලා, නිදහස් විදිහට ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒත් නාගරික දරුවන්ට එහෙම අවස්ථාවක් නෑ. මේ කරුණු දරුවන්ට මානසිකව බලපාන්න පුළුවන්. ශරීර සුවතාව පවත්වා ගෙන යන්න ඇඟේ තියෙන ශක්තිය වැය කරලා සෙල්ලම් කරන්න ඕන. මේ ගැටලුවට අපි අපේ අවධානය යොමු කරන්න ඕන. දෙමව්පියන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

මේ විදිහෙ තවත් ගැටලු තියෙනවා ද?

සාමාන්‍යයෙන් අපි පුරුදුවෙලා ඉන්නේ එක්තරා විදිහක නිශ්චිත ජීවන රටාවකට. දරුවෝ ඉස්කෝලේ යනවා. වැඩිහිටියෝ රස්සාවට යනවා. හවසට ගෙදර එනවා. ළමයි එක්ක ගත කරන්න තියෙන කාලය අඩුයි. ඒත් දැන් ඒ රටාව වෙනස් වෙලා. ළමයි එක්ක ඉන්න ලොකු වෙලාවක් ලැබිලා. මේ වෙනසේ හොඳ වගේ ම නරකත් තියෙනවා. එක දිගට ම දෙමව්පියෝ එක්ක ඉන්න කොට ළමයි වැඩිපුර දඟකාර වෙන්න පුළුවන්. කියන දේ අහන්නේ නැති වෙන්න පුළුවන්. මෙහෙම වුණාම ගැටුම් ඇති වෙනවා. දෙමව්පියන්ට දරුවා ගැන තරහක් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් දරුවන්ට බණින්න, ගහන්න යොමු වෙන්නත් පුළුවන්. මේ වෙනස ළමයින්ට මානසිකව බලපානවා.

ළමයින්ගෙ අධ්‍යාපනයට මේ වසංගතය සෘජුවම බලපෑම් කරල තියෙනව…

ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීම් කටයුතු යම් දුරකට සිද්ද වෙනවා. හැබැයි පොඩි ළමයි කරන දේවල්වලට ගුරුවරයාගේ අවධානය ඕන. ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගනිද්දි ඒ අවධානය ලැබෙන්නේ නෑ. වෙන තැනක ඉඳලා උගන්වන ගුරුවරයාට ඒ අවධානය ලබා දෙන්න බෑ. ඉතින් යමක් හොඳින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ළමයින්ට අහිමි වෙනවා. “ගුරුවරයා මං ගැන බලන්නේ නෑ. ඉස්සර වගේ නෙවෙයි” කියලා දරුවන්ට හිතෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔන්ලයින් ක්‍රමයට තමන් උගන්නන දේ ළමයින්ට තේරුණා ද කියන එක දැන ගන්න විදිහක් ගුරුවරයාටත් නෑ.

මේ ඔන්ලයින් පන්ති හින්දා ළමයින්ට මොන වගේ බලපෑම්ද විය හැක්කේ…?

මේ ඔන්ලයින් පන්ති කරන්නේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා. ඒ මාර්ගයෙන් ඉගෙන ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දුරකථනයේ ස්ක්‍රීන් එක හරි ම පුංචියි. ඒ හරහා පෙන්නන රූප, අකුරු ඊටත් පුංචියි. ඒවා ග්‍රහණය කර ගන්න එක ලේසි නෑ. එක දිගට ම බලාගෙන ඉඳිද්දි ස්ක්‍රීන් ඒකෙන් නිකුත් කරන ආලෝකයෙන් ඇස්වලට අපහසුවක් වෙන්න පුළුවන්. වැඩි වෙලාවක් ජංගම දුරකථනය හෝ පරිගණකය ආශ්‍රිතව වැඩ කටයුතු කරද්දි කුඩා දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් හිසේ අමාරුව, ඉරුවාරදය, ඇස්වල අමාරුව හැදෙනවා. ඇස් පෙනීමේ දෝෂ වුණත් ඇති වෙන්න පුළුවන්.

ඊට වඩා දරුණු ආපදා ඇතිවෙන්නත් පුළුවන් ද?

මේ පන්තිවලට සම්බන්ධ වෙන්න පාවිච්චි කරන ගැජට් හින්දත් හානි වෙන්න පුළුවන්. මේවා දිගින් දිගට ම වැඩි කාලයක් පාවිච්චි කිරීම තුළින් අතුරු ආබාධ ඇති වෙනවා. දරුවා ඔන්ලයින් පන්තියට සහභාගි වෙන්නේ කොච්චර කාලයකට ද කියලා සමහර දෙමව්පියෝ බලන්නේ නෑ. ඉතින් පන්තියෙන් පස්සෙත් එක දිගට ම ළමයි තමන්ගේ විනෝදාස්වාදයට මේ උපකරණ පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. සමහර ළමයි පරිගණක ක්‍රීඩාවලට හුරුවෙලා. තවත් සමහරු අසභ්‍ය වෙබ් අඩවිවලටත් යනවා. ඇබ්බැහි වුණොත් පන්තිය තියෙන වෙලාවටත් ගේම් ගහන්න, අනෙකුත් නුසුදුසු දේ කරන්න යොමු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපේ සමාජයට හානිකර දේවල් කරන්න පවා දරුවෝ යොමු වෙන්න ඉඩ තියෙනවා.

මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා ද?

ළමයි අනවශ්‍ය දේට යොමුවීම පිළිබඳව දෙමව්පියන්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. ෆෝන් එකට තියෙන ඇබ්බැහියෙන් ළමයි ගලවා ගන්න බෑ කියලා නිතර වාර්තා වෙනවා. යෞවන වයසේ ඉන්න ළමයි අසභ්‍ය දේවල් බලලා ඒ හින්දා ඇති කරගෙන තියෙන වෙනත් ගැටලු ගැනත් වාර්තා වෙලා තියෙනවා. මේ වගේ සිද්ධිවලට මුහුණ දුන්න දෙමාපියෝ ඒවා ගැන බාහිර සමාජයට කියන්නේ නෑ. වර්තමානයේ දෙමාපියෝ සෑහෙන පිරිසක් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඇති කියලා මම හිතනවා. වෛද්‍යවරු විදිහට අපි මේ කාරණා ගැන දැන ගන්නේ අදාළ ප්‍රශ්න දරුණු වෙලා ඒ ළමයින්ව අපි ළඟට එක් කරගෙන ආවාට පස්සේ. සමාජමය හේතු හින්දා හංගන සිද්ධි ප්‍රමාණය ඊට වඩා වැඩි බවට සැකයක් නෑ.

පවුල් ඇතුළෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ ද?

ඔව්. දැන් තියෙන තත්ත්වයත් එක්ක දරුවන් සන්තෝෂයෙන් තියන්න හිතාගෙන අන්තර්ජාලය හරි ජංගම දුරකථන හරි හිතු හැටියට පාවිච්චි කරන්න අවස්ථාව දීලා. එහෙම කළාම දරුවෝ වැඩි කාලයක් තනියම මේ උපකරණත් එක්ක තමන්ගේ කාලය ගත කරනවා. දෙමාපියෝ තමන්ගේ වැඩවලට සීමා වෙලා ඉන්නවා. මෙහෙම කරද්දි දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්ධතාව විශාල විදිහට ගිලිහිලා යනවා. ඒ විදිහට දූ දරු දෙමාපිය සම්බන්ධතා ගිලිහිලා ගියාට පස්සේ ඒවා නැවත ඇති කරන්න හරි ම අමාරුයි.

මේ ගැටලු විසඳගන්න පුළුවන් කොහොම ද?

මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් හොඳ ම දේ තමයි කුඩා ඒකක විදිහට දෙමව්පියන්ව දැනුවත් කරන එක. දෙමව්පියෝ මේ ගැන දැනුවත් නම් තමන්ගේ දරුවන්ගේ අන්තර්ජාල පාවිච්චිය ගැනත් අදාළ ගැජට් පාවිච්චිය ගැනත් හොඳ අවධානයකින් ඉන්න පුළුවන්. ඒක දෙමව්පියන්ගේ වගකීමක්. තමන් කරන දේ ගැන දෙමව්පියන් අවධානයෙන් ඉන්න බව දරුවන් තේරුම් ගත්තම අනවශ්‍ය දේවලට යොමුවීමේ සම්භාවිතාව ගොඩක් අඩු වෙනවා. ඒ මාර්ගයෙන් ළමයින්ට ස්වයං පාලනයක් ඇති වෙනවා. ළමයි එක්ක කතා කරන්න වෙලාවක් දෙමව්පියෝ හොයා ගන්න ඕන. එදිනෙදා ඉගෙන ගත්තු විෂය කරුණු ගැන, අන්තර්ජාලයෙන් අහපු කරපු දේවල් ගැන ළමයින්ගෙන් අහන්න දෙමව්පියන්ට පුළුවන්. මේ විදිහෙ සාකච්ඡාවලින් පවුල් සබඳතා සහ අධ්‍යාපන කටයුතු කියන දෙක ම සමබරව පවත්වා ගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා.

මේ ගැන දෙමව්පියන් දැනුවත් කරන්න පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුවෙලා තියෙනව නේද?

අපි සමාජ දුරස්ථභාවය පිළිබඳව කතා කරනවා. පොදු මාධ්‍යවලිනුත් ඒ ගැන කියනවා. මේ වෙද්දි ඒ ගැන ලොකු දැනුමක් අපේ අයට ලැබිලා තියෙනවා. මේ විදිහට ම දරුවන් ආරක්‍ෂා කරගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ කොහොම ද කියන එක ගැනත් ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කරන්න ඕන. ඒ වැඩපිළිවෙළේ ඉලක්ක වෙන්න ඕන දෙමව්පියන් දැනුවත් කිරීම. රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් වැනි පොදු මාධ්‍ය භාවිතයෙන් මේක කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය ජාල භාවිත කරලා වුණත් මේක කරන්න පුළුවන්. ඒ හරහා මේකට දායක වෙන්න මුළු සමාජයට ම පුළුවන්.

මේකත් එක්තරා ආකාරයක අධ්‍යාපන වැඩපිළිවෙළක් නේ ද?

ඔව්. අපි මේ සම්බන්ධ අධ්‍යාපනයක් දෙමව්පියන්ට ලබා දෙන්න ඕන. ඒ හරහා දෙමව්පියන්ව දැනුවත් කරන්න පුළුවන්. මේක තමන්ගේ ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න ඕන ක්‍රමය පිළිබඳ අධ්‍යාපනයක්. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමේ දී දෙමාපියන් මොන විදිහට ඒකට මැදිහත් වෙන්න ඕන ද කියන එක මේ මාර්ගයෙන් කියලා දෙන්න පුළුවන්. එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොඳ දෙයක් තේරුම් ගත්තොත් ඒක අනිත් අය එක්ක බෙදා හදා ගනියි. මේ පණිවුඩ ඉස්සරට වඩා ඉක්මනින් දෙමව්පියන් අතර ප්‍රචාරය කිරීමේ ක්‍රම දැන් තියෙනවා.

සාකච්ඡා කළේ - චමින්ද ඒකනායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.