Nov
09
හිටපු හමුදා සෙබළාට වධ දුන් පොලිස් ලොක්කන්ට වන්දි ගෙවන්න නියෝග
හමුදා සේවයෙන් නීත්‍යනුකූලව මුදාහැර සිටි හමුදා සෙබළකුව හමුදා සේවයෙන් පලා ආ අයකු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන දින දෙකක් තිස්සේ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය හෙට්ටිපොල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට රුපියල් පනස්දහස බැගින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙසට නියෝග කළේය.
එයට අමතරව දොන් සමන්ත කුමාර නමැති හිටපු හමුදා සෙබළාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය.
හිටපු හමුදා සෙබළා, නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මගින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙනිය සහ එස්. තුරේරාජා යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
එකී හමුදා සෙබළාව හෙට්ටිපොල පොලිසිය විසින් 2011 ජූලි 3 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වූ බවට ඔහුගේ මව විසින් ලිපියක් ඉදිරිපත් කොට තිබියදීත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට මාස පහකට අධික කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක