Oct
08
හොරණ වෙළෙඳසැල් දෙකක් තාවකාලිකව වසා සේවකයින් නිරෝධායනයට
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරමින් සිටියදි කොවිඩ් වැළදි මේ වනවිට අයිඩිඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන හොරණ කදන්හේන ප‍්‍රදේශයේ පුද්ගලයා පැමිණි හොරණ නගරයේ වෙළදසැලක් අද (07) දින පෙරවරුවේ තාවකාලිකව වසා දැමු බව හොරණ නගර සභාවේ ප‍්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා පැවසීය.
අදාළ පුද්ගලයා පසුගිය 26 වෙනි දින හොරණ නගරයට පැමිණ ඇති අතර මෙම වෙළදසලේ වැඩි වේලාවක් ගත කර තිබිම නිසා මෙම තීරණයට එළඹුණු බව පවසන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා එම වෙළදසැලේ සේවකයින් 05 දෙනා නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට කටයුතු යොදා ඇති බවත් හෙට දිනයේ පීසීආර් පරීක්‍ෂණ සදහා යොමු කරන බවත් පැවසිය.
තවද යාබද වෙළදසලේ සිටි සේවිකාවක් ද නිරන්තරයෙන් මෙම වෙළදසලේ ගත කිරිම හේතුකොට ගෙන එම වෙළදසල ද තාවකාලිකව වසා දමා ඇති අතර එම සේවිකාව රත්නපුර නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කිරිමට කටයුතු යොදා ඇත.
හොරණ නගරයේ පෞද්ගලික ආයතනයක සේවයේ නිරත සේවිකාවක් මිරිගම ප‍්‍රදේශයේ හදිසි අනතුරකට ලක්ව සිටින සිය සොයුරා බැලිම සදහා ගොස් තිබෙන අතර එම සොයුරාට මේ වනවිට කොරෝනා වැළදී ඇති බව තහවුරු වි ඇත. ඒ හේතුවෙන් අදාළ පෞද්ගලික ආයතනය තාවකාලිකව වසා දමා සේවිකාව නිවසේ ස්වයං නිරෝධායනයට කටයුතු කර ඇති අතර හෙට (08) දිනයේ ඇයට පීසීආර් පරීක්‍ෂණ සිදුකිරිමට නියමිතය.
මේ වනවිට හොරණ නගර සභාව මගින් නගරයට පිවිසෙන ජනතාව අවම කිරිම සහ පැමිණෙන්නන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ පිළිබදව ශබ්ද විකාශන මගින් සහ ප‍්‍රචාරක පුවරු යොදා ජනතාව දැනුම්වත් කිරීමේ ප‍්‍රචාරක වැඩපිළිවෙලක් අරඹා තිබෙන බව පවසන හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම මහතා නගරයේ මංමාවත්වල බුලත් කෙළ ගැසිමෙන් වැලකිම, මුඛආවරණ පැළදිම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ හැකි සෑමවිටම අත්‍යවශ්‍යකරුණකට පමණක් නගරයට පැමිණෙන මෙන් ජනතාවගෙන් ආයාචනය කරන බවත් ආදාහන කටයුතු සදහා ආදාහනාගාරය භාවිතාකිරීමේ දි මියගිය පුද්ගලයාගේ ළගම ඥාතින් 06 දෙනෙකුට පමණක් හොරණ ආදාහනාගාරයට ඇතුල්විමේ තාවකාලික සිමාවක් පනවා ඇති බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
මංගල එදිරිසිංහ