Oct 07

කොවිඩ් තත්ත්වය ගැන බ්‍රැන්ඩික්ස් ආයතනය නිකුත් කළ නිවේදනය


ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි.

විශේෂ ගුවන් යානා මගින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාම රජයේ නිර්දේශ මත දින 28ක නිරෝධායනයට ලක් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය:

2020 ඔක්තෝබර් 7: අපගේ සමාගමට අයත් මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ COVID-19 වෛරසය ආසාදන තත්ත්වයක් නිසා ඇති වී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරීමේ අභියෝගයට අපි මුහුණදෙමින් සිටිමු. මෙම ක්‍රියාවලිය පුරා, විනිවිදභාවය උපරිම අයුරින් ආරක්ෂා කිරීම සඳහා මහජනතාවට ඇතිවන ඕනෑම ගැටලුවක් පැහැදිලි කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු.

අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටලුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත්, අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්තශාලාවෙන් කිසිදු ඇනවුමක් භාරනොගත් බවත් පැහැදිලි කරමු.

විශේෂ ගුවන්යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි අපගේ කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන්යානා තුනක් යොමු කරන ලදි. COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා, PCR පරීක්ෂණ සිදුකිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු. තවද, මෙම ශ්‍රී ලාංකිකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බව ද සහතික වන්නෙමු.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාවක හමුවීමෙන් අනතුරුව, අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට රැකියාවට වාර්තා කරන ලෙස අප බලකර සිටි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය. එම වීඩියෝවේ කැපීපෙනෙන කාන්තාව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන තැනැත්තියකවන අතර, ඇගේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන ඇතැයි එහි සඳහන් කරන සේවිකාවන් සහ අධීක්ෂණ නිලධාරිනිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් තුන්වන පාර්ශ්වයේ පිරිසිදු කිරීමේ සේවා සම්පාදක ආයතනයකට අනුබද්ධිත සේවිකාවන් තිදෙනෙකි. එම වීඩියෝවේ සඳහන්වන කිසිවෙකු බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන බව මෙයින් තහවුරු කරමු.

අපගේ රට මෙම ආපදා තත්ත්වයෙන් නැගී සිටීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරතවන මෙවන් මොහොතක, වෛරසයෙන් ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට දායකත්වය ලබාදෙන අතරම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සුබසෙත තහවුරු කිරීමට අපි අඛණ්ඩව කැපවෙමු.

- අද දෙරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.