Sep
25
මවගේ තුරුළේ නිදාගන්නවා යැයි කිපුණු සුළු පියා 18 වියැති තරුණයාට කළ දේ
දහඅට හැවිරිදි තිළිණ දර්ශන පාදුක්ක නගරයට ගියේ සුළු පියාගෙන් ලද ආරාධනයක් නිසාය. එහෙත් එය තම ජීවිතයේ අවසන් මොහොත යැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත.
එහෙත් පාදුක්ක ලියන්වල පාලම යට තිබී කබරයන් විසින් කාදමන ලද එම තරුණයාගේ සිරුර (14 වැනිදා) පාදුක්ක පොලිසිය විසින් සොයාගත්තේ මුළු ප්‍රදේශයම කම්පා කරවමිනි.
මළ සිරුර සොයා ගැනීමත් සමග එම අභිරහස අනාවරණය කරගැනීමේ භාරධුර වගකීම පැවැරුණේ පාදුක්ක පොලිසිය වෙතයි. වැළලී යාමට තිබූ මෙම අභිරහස් මරණය පිළිබඳ මුල්ම හෝඩුවාව ලැබෙන්නේ පාදුක්ක පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජිත් රෝහණ ජයසිංහ ඇතුළු නිලධාරීන් කළ නීතිවිරෝධි මත්පැන් වැටලීමෙනි.
එම වැටලීමේදී 29 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පාදුක්ක පොලිසියට ගෙනැවිත් ඇප මත මුදාහැරීමට පියවර ගත්තද ඔහුගේ අනියම් බිරියගේ පුතකු අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ නිසා අපරාධ අංශ ස්ථානාධිපතිගේ උකුසු ඇස එම පුද්ගලයා කෙරෙහි යොමු වූයේ නිරායාසයෙනි.
එසැණින් ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මත්පැන් චෝදනාවට රැගෙන ආ එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කරුණු එකින් එක හෙළි වූයේ මේ අයුරිනි.
මගේ බිරිඳගේ ඉස්සෙල්ල කසාදේ දරුවෙක් තමයි මම මේ විදිහට මැරුවේ. හැම වෙලාවේම අම්මට තුරුළු වෙලා ඉන්නවා. නිදාගන්නෙත් එයාගාව. මට ඒ නිසා වෛරයක් තරහක් හිතේ තිබුණා. ඒ නිසා ඔහුගෙන් පළිගන්න ඕනෑ කියන සිතුවිල්ල මගේ හිතට ආවේ ඊට පස්සේ.
ඉකුත් 11 වැනිදා සවස බියර් පානය කිරීමට ඝාතනයට ලක්වූ තරුණයා හා බියර් මිලදීගෙන පාදුක්ක ලියන්වල පාලම අසලට යන්නේ ඒවා පානය කිරීම සඳහාය.
මිලදි ගත් ලණු කැරලි දෙකක්ද සැකකරු අතේ ඒ වන විටත් තිබිණ. බියර් පානය කිරීමෙන් අනතුරුව සැකකරු අපි දැන් නාමු යනුවෙන් මියගිය තැනැත්තාට පවසා තිබේ.
ඒ අවස්ථාවේ මියගිය තරුණයාගේ අත්දෙක ගැට ගැසීමට සැකකරු ක්‍රියාකර ඇත.
එසේ කරන්නේ ඇයි දැයි තරුණයා විමසූ විට සැකකරු පවසා ඇත්තේ යටගියොත් උඩට ගන්න පහසු නිසා එසේ කරන බවකි. අත්දෙක ගැට ගැසීමෙන් අනතුරුව පාද දෙකද ගැටගැසීමට සැකකරු ක්‍රියා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
අනතුරුව ගැඹුරු දියට තරුණයා තල්ලු කර සැකකරු කිසිවක් නොවූ පරිද්දෙන් එතැනින් නික්ම ගොස් ඇත. දින තුනකට පසුව කබරුන් විසින් කා දමන සිරුර ගැන ලද තොරතුරු මත මෙලෙස සොයා ගැනුණි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පාදුක්ක පොලිසිය පවසයි.
හේමන්ත ලියනපතිරණ - අරුණ