Sep 28

පාපන්දු ජර්සිය විකුණා ප්‍රංශ පාපැදි සවාරිය දිනු පයිනියර් කඳුවැටියේ වාසනාවන්තයා


පාපැදි ක්‍රීඩාවේ ලෝක කුසලානය ලෙසට සැලකෙන ප්‍රංශ පාපැදි සවාරිය ප්‍රංශයට සේම මුළුමහත් යුරෝපයටම ආභරණයකි. එවන් වූ සවාරියක ආරම්භක රේඛාව හෝ ස්පර්ශ කිරීම ලොව සිටින සෑම පාපැදි තරගකරුවෙකුගේම සිහිනයකි. 19 වැනි සියවසේ සිට යුරෝපය සිසාරා දිවෙන ‘ප්‍රංශකාරයන්ගේ’ ආඩම්බර ලීලාව මේ පාපැදි සවාරියේ නොඅඩුව පෙනෙන්නට තිබිණි. නමුත් වසර ගණනක් ඈතට දිවෙන පාපැදි සවාරි ඉතිහාසයේ පෙරළිකාර සටහනක් තබමින් ස්ලෝවේනියානු ගැටවරයන් දෙදෙනෙකු කරළියට පැමිණ තිබේ.

ප්‍රංශයේ ප්‍රොමේනේඩ් දෙස් ඇන්ග්ලෙස් හිදී ඇරඹෙන පාපැදි සවාරියේ, මුල් අදියර 5 අවසන් වනවිට අයර්ලන්ත ජාතික සෑම් බෙනට් ඉදිරියට පැමිණ සිටි අතර ඒ වනවිටද මේ ස්ලෝවේනියානුවන් මුල් ස්ථාන 10ට හෝ පැමිණ නොසිටියහ. නමුත් කඳු තරණය ආරම්භ වත්ම සටහන උඩු යටිකුරු වෙමින් තවත් පාපැදි කරුවන් පළමු පොකුරට එක්විය. තැන්නේ අදියර 9කින්, බෑවුම් අදියර 3කින්, කඳු අදියර 8කින් සහ කඳු මුදුන් අදියරයකින් මේ සවාරිය අන්තර්ගත වේ.

හැතැප්ම 2156ක මුළු දුරකට විහිදෙන මේ සවාරිය සාමාන්‍යයෙන් ජූනි හෝ ජුලි අග වනවිට අවසන් වීම සිරිත වුවද කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මේ සියල්ල මාස කිහිපයකට කල් දැමිණි. වෙනදා තරම් මග දෙපස එකම හිස් ගොඩක් වූ ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් යම්තාක් දුරකට මෙවර අඩුවිය. නමුත් 15 වැනි අදියර වනවිට ප්‍රංශ පාපැදි සවාරිය උණුසුම් වන්නට විය. අදියරෙන් අදියරට වෙනස් වන පෙරමුණු ධාවකයින් යුරෝපීය ප්‍රේක්ෂකයා සවාරියට ඇද බැඳ ගත්තේ ඇසිල්ලකිනි. 16 වැනි අදියරෙන් පසු සවාරිය වෙනත් මානයකට ඇදී ගියේය.

කන්දේ පාපැදි ශූරයන් වූ බෙල්ජියම් ජාතිකයින් හට මෙවර නොපැතූ අභියෝගයක් ස්ලෝවේනියානුවන්ගෙන් එල්ල විය. විටෙක විදෙස් මාධ්‍ය ‘පයනියර් කඳු වැටියේ වාසනාව’ මෙවර ස්ලෝවේනියානුවන්ට උරුම වන බවටද අනාවැකි පළකර තිබුණි. එය එසේම විය. ප්‍රිමොස් රෝග්ලික් සහ ටජෙඩ් පොගාචර් එම අදියරේදී පෙරමුණට පැමිණි අතර එම අදියර රොග්ලික් ජය ගත්තේය.

එතැන් පටන් ප්‍රංශ පාපැදි සටන ස්ලෝවේනියානු සටනක් බවට පරිවර්තනය විය. මේ සටනින් ජයගත් ටජෙඩ් පොගාචර්ගේ පළමු ආදරය ලැබෙන්නේ පාපැදියට නම් නොවේ.

ස්ලෝවේනියාවේ අගනුවර වන ලුබ්ලානාට උතුරින් කොමෙන්ඩා නගරයට නුදුරින් 1998 වසරේ සැප්තැම්බර් මාසයේදී උපත ලැබූ පොගාචර්, කුඩා කාලයේ දී පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දැක්වීය. ප්‍රාථමික පාසලේදී ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු විය. ඔහුගේ දස්කම් නිසාම දේශීය ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙකු ලෙසින් ඔහු පුහුණුවීම්වල නියැළිණි. පොගාචර් පාපැදියට ගොඩවීම අහම්බයක්ම විය. පොගාචර්ගේ වැඩිමහල් සහෝදරයා වන ටයිලන්, එරට පාපැදි ක්‍රීඩා සමාජයක් වූ ‘රොග් ලුබ්ලානා‘ ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් ආරම්භ කර තිබුණි. පොගාචර් සෑමවිටම ඔහුගේ සහෝදරයාව අනුකරණය කිරීමට ආසා කළේය. පොගාචර්ට සිය සහෝදරයා මෙන් පාපැදි පදින්නට සිතිණි.

නමුත් අවාසනාවකට ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ එතරම් කුඩා බයිසිකලයක් නොතිබුණි. දිනක් ඔහුට පුංචි වයසේ පසු වූ ආගන්තුක පාපැදි ධාවකයෙක් මුණ ගැසිණි. අදාළ ධාවකයා දුටු වහා ඔහු වෙත ගිය පුංචි පොගාචර් ඔහුගේ පාපැදිය තමාට අලෙවි කරන ලෙසින් ඉල්ලා සිටියේය. යුරෝපීය රටවල පාපන්දු ක්‍රීඩාවට ඇති ඇල්ම සහ පිළිගැන්ම කුමක්දැයි අදාළ කර නොගත් ඔහුට තම සහෝදරයා සේ පාපැදි ධාවකයෙක් වීමට තිබූ ආසාව ඉහළ විය. ආගන්තුක පාපැදි ධාවකයාට සිය ක්‍රීඩා සමාජයේ පාපන්දු ජර්සිය දුන් පොගාචර් ඒ ‘හිලව්වට’ ඔහුගේ පාපැදිය සහ ඔහුගේ පාපැදි ජර්සිය හුවමාරු කර ගත්තේය. එලෙස ලබාගත් පාපැදියෙන් 9 හැවිරිදි පොගාචර් තම පුහුණුවීම් ආරම්භ කළේය.

එය ඔහුව නැවැත්වූයේ නැත, පොගාචර්ගේ පළමු පාපැදි තරගයට 2008 දී මුහුණ දුන්නේය. ඔහු එතැන් සිට ආපසු හැරී බැලුවේ නැත. ගැටවර වියට පැමිණෙන විට ඔහු එරට පාපැදි ශූරයකු බවට පත්විය.

ටජෙඩ් පොගාචර් නමැති 16 වියැති යොවුන් පාපැදි ශූරයා ගැන ස්ලොවේනියානු පාපැදි සම්මේලනය සැලකිල්ලෙන් සොයා බැලූවේය. කනිෂ්ඨ අංශයට පිවිසෙන විටම ඔහුව ජාතික කණ්ඩායම සඳහා තෝරා ගත්තේය. එතැන් පටන් ඇරැඹි ගමනේදී ඔහු තවත් ශීඝ්‍ර විය. ඔහු මේ වනවිට එක්සත් අරාබි එමීර් පාපැදි කණ්ඩායමේ සාමාජිකයෙකි. පාපැදියට හිත දුන් ඔහුගේ පෙම්වතියද පාපැදි ශූරියකි. ඔහු උර්ස්කා සිගාර්ට් නමැති ස්ලෝවේනියානු පාපැදි ශූරියගේ ආදරවන්තයාය.

ප්‍රංශ පාපැදි සවාරි ශූරයන්ගේ ඉතිහාසයේ වයසින් අඩුම ජයග්‍රාහකයා ලෙස 1904 වසරේ ප්‍රංශ පාපැදි සවාරිය දිනූ හෙන්රි කොර්නට් වාර්තා පොත් අතරට එක්ව ඇති අතර එම ජයග්‍රහණය ඔහු ලබා ඇත්තේ සිය 20 වැනි උපන් දිනය දාය. දෛවෝපගත ලෙස ඉන් වසර 116කට පසු මේ වසරේ ප්‍රංශ පාපැදි සවාරිය දිනූ පොගාචර්, අඩුම වයසින් සවාරිය ජයගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ කෝර්නට් ට පමණක් දෙවැනි වෙමින් සිය 21 වැනි උපන්දිනය දාම ශූරතාව දිනා ගත්තේය. ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොගාචර් මෙසේ පැවසීය‘ කවදාවත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක්. අද්විතීය සති තුනක්, මට දැනෙන හැඟීම මට වචනයෙන් කියන්නට බෑ. මා දිරිමත් කළ සියලු ක්‍රීඩාලෝලීන්ට ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා’

කහ පැහැති ජර්සියද සමගින් පොගාචර් 25 න් පහළ දක්ෂතම ධාවකයා සඳහා වන සුදු ජර්සිය සහ දක්ෂතම කඳු නගින්නාට හිමිවන පොල්කා ඩොට් ජර්සිය ද දිනා ගත්තේ ප්‍රංශ පාපැදි සවාරි ඉතිහාසයේ 2020 වන වසරට සුවිශේෂී සටහනක් එක් කරමිනි.

චතුර රණසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.