Sep 28

පැරදුණු මැති ඇමැතිවරු දැන් ජීවත් වෙන හැටි


වසර ගණනාවක් තිස්සේ, පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයෝ කිහිප දෙනෙකු ම, පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වී ගෙදර ගියෝය. පරාජය ලැබූ අයගෙන් වැඩිදෙනෙකු මේ දිනවල කරමින් සිටින්නේ, දේශපාලනය නිසා මඟහැරී තිබුණු ව්‍යාපාර වල සහ වතුපිටිවල කටයුතු සොයා බැලීම ය. තවත් කිහිප දෙනෙකු, දේශපාලනයට පිවිසෙන්නට කලින් කළ වෘත්තීන් හි නියැළෙමින් සිටිති. තවත් පිරිසක් තවදුරටත් කරමින් සිටින්නේ, ‘දේශපාලන වැඩ ම’ ය.

‘‘මම තිස් අට අවුරුද්දක් එකදිගට දේශපාලනය කරපු කෙනෙක්… බිම් මට්ටමින් පටන් අරං ඉහළට ම ගියපු කෙනෙක්… ඇමැතිවරයෙක් හැටියටත් අවුරුදු 8 ක් වැඩ කළා… ඇත්තවශයෙන්ම මම දේශපාලනයේ ‘ෆුල්ටයිමර්‘ කෙනෙක්… කවදාවත් ‘බිස්නස්‘ කරලා නෑ… කරන්නෙත් නෑ…. ඉස්සරහටත් කරන්න ඉන්නෙ ‘දේශපාලනය‘ ම තමයි… මේ දවස් වලත් කරන්නෙ ඒකම යි….’’ එසේ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු එ.ජා.ප. මන්ත්‍රී වජිර අබේවර්ධනය.

‘‘මොනවද ඉතිං මේ දවස් වල කරන දේශපාලන වැඩ…?‘‘ ඒ ප්‍රශ්නය අපෙනි.

‘‘මහජනතාවගේ දුක්ගැනවිලි හොයා බලලා අදාළ තැන් වලට යොමු කරවන එක තමයි… මගේ ගාල්ල කාර්යාල දෙකම තාමත් ඇරලා… කොළඹ කාර්යාලයත් ඇරලා… මම පැරදුණා කියල නෑ, මිනිස්සු තම තමන්ගෙ ප්‍රශ්න කියාගෙන තාමත් මා ගාවට එනවා… තාමත් මං මහන්සි වෙන්නෙ, දුක කියාගෙන මගේ ළඟට එන හැම කෙනෙකුටම මොකක් හරි ගැළපෙන විසඳුමක් අරන් දෙන්න…‘‘ වජිර අබේවර්ධන කීවේ ය.

‘‘මහජනතාවගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දෙන ගමන්, පක්ෂෙ ප්‍රතිසංවිධාන වැඩ වලටත් කරගහන හින්දා, පාර්ලිමේන්තු නොගියත් ‘පවුලෙ අය‘ එක්ක ඉන්න වැඩි කාලයක් නැතුව ඇති…?‘‘ අපි ඇසුවෙමු.

‘‘පාර්ලිමේන්තු ගියා නොගියා, හැමදාමත් මම පවුල එක්ක හිටපු කෙනෙක්… දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් දැන් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරනවා… අනෙක් දරුවා තවමත් උසස් අධ්‍යාපනය ලබනවා… මගේ නෝනා හැමදාමත් වගේ දැනුත් මගේ දේශපාලන වැඩවලට උදව් කරනවා… ඒ හින්දා එදා වගේම අදත් මම හැමදාමත් ඉන්නෙ මගේ පවුලෙ අයත් එක්ක…‘‘ වජිර අබේවර්ධන කීවේ ය.

මේ අතර අප සමග කතා කළ කළුතර දිස්ත්‍රික් හිටපු එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම නම් කියන්නේ අනෙකකි.

‘‘මේ දවස් වල මම මගේ මතුගම ඉඩමේ ‘අනෝදා‘ වවනවා… වත්ත සුද්ද කරගෙන, වලවල් කපාගෙන මහා ජරමරයක් තමයි කරන්නෙ… ඒ මදිවට, වැස්සෙනුත් මලවදේ…‘‘ තෙවරප්පෙරුම කීවේ ය.

‘‘ඔය කරන වගාවට අමතරව කරන අනෙක් වැඩ මොනව ද…?‘‘ අපි ඇසුවෙමු.

‘‘ඇත්තම කිව්වොත්, විශාල වැඩක් කරනවා… ඒ තමයි, දේශපාලනය හින්දා අවුරුදු ගාණකට මඟඇරුණු මගේ නෝනා එක්ක ආපහු ප්‍රේම කරන එක… ඇත්තට ම මට මේ වෙලාවෙ මගේ ම නෝනා ව දැනෙන්නෙ හරි ආගන්තුක විදියට… අලුතින් ම ප්‍රේම සම්බන්ධය පටන්ගත්තා වගේ තමයි…‘‘ තෙවරප්පෙරුම අප සමග කීවේ ය.

මේ අතර මෙවර මහ මැතිවරණයෙන් අම්පාරෙන් පරාජය ලබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නික්ම ගිය ශ්‍රියාණි විජේවික්‍රම අප සමග පැවසුවේ, ඇය තවමත් දේශපාලනය අත හැර නැති බව ය.

‘‘අම්පාරේ මගේ නිවස තවමත්, අපේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් විවෘතව තියෙනවා… ඕන කෙනෙකුට ඇවිල්ලා මාව මුණගැහිලා කතා කරන්න පුළුවන්… ලංකාවේ දුෂ්කරම ප්‍රදේශයකින් පැවත එන කාන්තාවක් හැටියට, හැමදාමත් මම මගේ දේශපාලන කටයුතු කළේ ‘දහසක්‘ බාධක මැද්දේ… මේ පරාජය ‘අඩියක්‘ පස්සට යාමක් පමණයි… ඊළඟ වතාවේ ‘අඩි දෙකක්‘ ඉස්සරහට… දිගාමඩුල්ල ගැන මම හැමදාමත් දැකපු හීනයක් තිබුණා… ඒ හීනය හැබෑවෙන කල්, තවදුරටත් වැඩ කරනවා… ‘‘ ශ්‍රියාණි විජේවික්‍රම පැවසුවා ය.

‘‘දැන් දියණියගේ අධ්‍යාපන කටයුතු කොහොම ද…? වෙනදාට වඩා ඇයත් එක්ක ගත කරන්න ‘කාලය‘ ඇති නේ ද….?‘‘

‘‘දුව ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියනවා… එයා කොහොමත් ස්වාධීනව වැඩ කරන දරුවෙක්… දැන් කියලත්, ඒ දරුවා වෙනුවෙන් මහා කාලයක් වැයවෙන්නෙ නෑ… මම හිතන්නෙ මට කවදාවත්, මම කරපු දේශපාලනික අරගලයෙන් ගැලවිල්ලක් ලැබෙන එකක් නෑ… ඒක මන්ත්‍රීකමක් තිබුණත්, නැතත් එහෙම ම තමයි… ‘‘ ශ්‍රියාණි අප සමග කීවේ, ‘අම්පාරේ අලි‘ එක්ක හැප්පුණු ‘ඇතින්නියක‘ ශක්තිය ප්‍රදර්ශනය කරමිනි.

මේ අතර අප සමග කතා බහට එක් වූයේ, හිටපු අමාත්‍ය ‘අජිත් පී. පෙරේරා’ ය. දේශපාලනයට එන්නට කලින් ඔහු පානදුර උසාවියේ ප්‍රසිද්ධ නීතිඥයෙකි.

‘‘මම නං මේ දවස් වල කරන්නෙ, උසාවි යන එක… මම සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ, පානදුර මහාධිකරණයේ… ඊට අමතරව ලැබෙන ‘කේස්‘ අනුව, ලංකාවෙ ඕනෑම තැනකට යනවා… ‘‘ අජිත් පී. පෙරේරා පැවසුවේ ය.

‘‘එතකොට දේශපාලනය අතඇරිල ද…?‘‘ අපි ඇසුවෙමු.

‘‘ දේශපාලනය නම් කවදාවත් අතඇරෙන එකක් නෑ… නමුත් මම මේ ආණ්ඩු කාලය ගත වන තුරු ‘නීතිඥ වෘත්තිය‘ තුළ වැඩියෙන් වැඩකරයි කියල හිතෙනවා… ‘‘ ඔහු කීවේ ය.

මේ අතර අප කතා කළේ, ජනතා විමුක්ති පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු ව සිටි වෛද්‍ය නලින්ද ජයතිස්සට ය.

‘‘මේ දවස් වල මොකද වෙන්නේ…?‘‘ අපි ඇසුවෙමු.

‘‘අපි පැරදුණාට, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පැරදිලා නෑනෙ… ඉතිං තවමත් අපේ දේශපාලන ගමන අවසන් වුණේ නෑ… පහුගිය මැතිවරණ පරාජයට හේතු තේරුම්ගැනීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන සාකච්ඡාවලට සහභාගි වෙනවා… දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යාපනික හැදෑරීම් කරනවා… ඊට අමතරව මට භාර ව තියෙන කළුතර දිස්ත්‍රික්කයේ සංවිධානාත්මක කටයුතු කරනවා…‘‘ වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේ ය.

‘‘හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා නම් දැන් ‘උසාවි‘ යනවලු… වෛද්‍ය වෘත්තිකයෙකු වන ඔබත් ‘වෛද්‍ය වෘත්තියේ‘ වැඩ කරන්න පටන් ගත්ත ද…?‘‘ අපි ඇසුවෙමු.

‘‘නැහැ… වෘත්තියක් හැටියට වෛද්‍ය උපදේශනය හරි, ප්‍රතිකාර කිරීම හරි කරන්නේ නෑ… මම හිතන්නෙ, මම දැන් දේශපාලකයෙක්… ඉදිරියටත් එහෙමම තමයි…‘‘ ඔහු කීවේ ය.

‘‘ඔබේ සහෝදර, හිටපු මන්ත්‍රී ‘හඳුන්නෙත්ති‘ නම්, මාතරට වෙලා ‘වඩේ විකුණනවා‘ කියලා ‘ෆේස් බුක් එකේ‘ ප්‍රචාරයක් යනවා…‘‘ අපි කීවෙමු.

‘‘මමත් දැක්කා, ඔය කියන මඩ ප්‍රචාරය… හඳුන්නෙත්ති සහෝදරයා ඒකට උත්තරයකුත් දීලා තිබුණා, ‘ජනතාවට අයිති දේවල් මංකොල්ලා කනවට වඩා වඩේ විකුණන එක නම්බුකාරයි‘ කියලා… ඇත්තටම මම කළුතර දිස්ත්‍රික්කයේ සංවිධානාත්මක කටයුතු කරන ගමන්, ජාතික මට්ටමින් පක්ෂ දේශපාලනයේ කටයුතු කරනවා වගේ ම, හඳුන්නෙත්ති සහෝදරයා මාතර දිස්ත්‍රික් සංවිධානාත්මක කටයුතු කරන ගමන් ජාතික මට්ටමින් පක්ෂ දේශපාලනයේ කටයුතු වලටත් සහභාගි වෙනවා….‘‘ ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේ ය.

අප සමග කතා කළ තවත් ‘පැරදුණු මන්ත්‍රීවරයෙකුට‘ තිබුණු ලොකුම ප්‍රශ්නය ‘නිල නිවස‘ නැතිවීම ය. ඔහු අවංකව තමන් මුහුණ පා සිටින තත්ත්වය අප සමග බෙදාගත්තේ ‘නම නොදමන‘ පොරොන්දුව පිට ය.

‘‘අපි දුර බැහැර අයනෙ… දැන් නිල නිවාසයත් නැති වුණ හින්දා ලොකු ප්‍රශ්නයක් වුණා… ගේ විතරක් යැ, යාන වාහනත් නැති වුණා නෙ… අන්තිමේදි කොළඹ ඉස්කෝල වල යන දරුවො දෙන්නව කොළඹ ම ‘බෝඩිං‘ කරලා මමයි නෝනයි ගමේ ගියා… දැන් තමයි, නිල නිවසේ තිබුණු බඩු ටික ටික ගමේ අරං යන්නෙත්… ලොරි හතර පහක බඩු තියෙනවා…‘‘

කෙසේ වෙතත්, මන්ත්‍රීකම් ඇමැතිකම් නොව ‘මොනකම්’ තිබුණත්, ඒවා සදාකාලික නොවන බැවින්, ජය පරාජය සමසිතින් විඳ දරාගැනීමට හුරුවීම කාගෙ කාගෙත් ‘ඇඟට ගුණ’ බව පැරදුණු මන්ත්‍රීන් කියන මේ කතාවලින් පැහැදිලි වන්නේය.

සුරේඛා සමරසේන - අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.