Sep
21
යතුරුපැදියේ ගිය මහගම කත බස් රථයට බිලි
මතුගම අගලවත්ත මාර්ගයේ ඇතුලත්මුදලිගම පිවිසුම අසල දී 18 වැනිදා පෙ. ව. 08.45ට පමණ බස් රථයකට යටවීමෙන් යතුරුපැදියක ගමන්ගත් කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දෙමෝදර, මහගම පදිංචි එන්. ඞී. ශිරාණි මධුවන්ති නමැති තිස් එක් හැවිරිදි තිදරු මවකි.
හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය වැඩිමහල් දියණිය මතුගම පෞද්ගලික උපකාරක පන්තියකට ඇරලවා නැවත නිවස බලා යමින් සිටිය දී ‘ඉස්කූටි’ වර්ගයේ යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී අසලින් ගමන් ගත් බස් රථයකට යටවී මෙම කාන්තාව විසි වී තිබේ. ශ‍්‍රී ලංගමයට අයත් මෙම බස් රථයේ පිටුපස රෝද යුගලය කාන්තාවගේ සිරුර මතින් ධාවනය කර ඇති අතර එම හේතුවෙන් තිදරු මව ජීවිතක්ෂයට පත්ව තිබේ. වහා ක‍්‍රියාත්මක වූ ප‍්‍රදේශවාසීන් විසින් කාන්තාව වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව තහවුරු වී තිබේ.
මියගිය කාන්තාවට තවත් පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක් හා වසර තුනක් වයසැති පුතකු ද සිටින බවත් ඇය කලක් ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවය කරමින් සිට ඉන් ඉවත්ව ඇති බවත් සැමියා දෛනික කුලී රැකියාවේ නිරතවන බවත් අනාවරණය වී ඇත.
මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පරාක‍්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. ඞී. කේ. රුද්‍රිගෝ, පොලිස් පරීක්ෂක අල්විස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මහිලාල් පද්මසූරිය, අනුර ජයසේකර, නන්දන ශී‍්‍ර කෝට්ටේගොඩ