Sep
14
මානසික රෝගී තරුණිය කෙලෙසූ නරුමයාට මහාධිකරණ විනිසුරු දුන් තීන්දුව
මානසික රෝගී තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා බරපතළ වැඩ සහිත වසර 58 1/2ක සිරදඬුවමක් පසුගිය 11දා නියම කළේය.
මෙසේ සිරදඬුවම් නියම වූයේ උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචි එන්.ජී. ජයසේන නමැත්තකුටය.
වසර 2012 දෙසැම්බර් 18 සිට 2013 පෙබරවාරි 18 දක්වා වූ කාලය තුළ වරින් වර අවස්ථා තුනකදී මෙම පුද්ගලයා මැදමහනුවර ප්‍රදේශයේදී අදාළ තරුණිය දූෂණය කර තිබෙන බව අධිකරණයේදී හෙළිවිය.
අදාළ වරද චූදිතයා පිළිගැනීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වසර 18ක සිරදඬුවමක් ඔහුට නියම කළේය.
තෙවරක් එම වරද ඔහු කර තිබෙන බැවින් වසර 18 බැගින් වූ දඬුවම තුන් ගුණයකින් එනම් වසර 54ක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම් වෙන් වෙන්ව ගෙවී යායුතු බවටද නියම කළේය.
තරුණිය තෙවරක් දූෂණය කිරීම නිසා එක් වරදකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක දඩයක්ද මහාධිකරණ විනිසුරු සපුවිද මහතා නියම කර තිබේ. එම මුදල නොගෙවීම නිසා ඔහුට තවත් අවුරුදු 1 1/2ක සිරදඬුවමක් නියම වී ඇත.
මෙයට අමතරව වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියම කර තිබෙන අතර එය නොගෙව්වොත් තවත් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර තිබේ.
වින්දිතයන් ආරක්ෂා කිරීමේ අරමුදලට තැන්පත් කරන ලෙස නියම කළ රුපියල් 15,000ක මුදල තැන්පත් නොකළහොත් තවත් වසරක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගෙන ඇත.
රජය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ධනුෂ්ක රාහුබද්ද මහතා පෙනී සිටියේය.
- මව්බිම