Sep
11
රේසින් කාර් එකක් හැදූ ඇඹිලිපිටියේ ඉසුරුගේ වැඩ මෙන්න
"මේ වගේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා. අපිත් එක්කත් ඉන්නවා, මම ඒ අය දන්නවා. ඒ අයට එකතු වෙන්න තැනක් ඒ ගොල්ලන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් හදන්න කියල තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ."
මේ බව පවසන්නේ ඇඹිලිපිටිය, මොරකැටිය පාරේ, ලියනෑගම ඉසුරු බෝවත්තේ පදිංචි ජී. ඉසුරු චතුරංග (22) තරුණයා ය.
පසුගිය කොවිඩ්-19 වසංගත කාලයේ ඇඹිලිපිටියෙන් රොබෝ යන්ත්‍ර, බීමත්ව රිය පදවන පුද්ගලයන් සොයා ගන්නා උපකරණ මෙන්ම, නවීන සොයා ගැනීම් කරන්නට තරුණයන් කිහිප දෙනෙක් සමත් වූහ.
මේ ඒ සියල්ලට ම වඩා වෙනස් නිර්මාණයක් සැකසූ තරුණයෙකුගේ කතාවයි.
උසස්පෙළ විභාගයෙන් අනතුරුව ඉසුරු, මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයට පිවිසීය. ඔහු එහිදී මෝටර් රථ කාර්මික විෂය NVQ-4 වැනි මට්ටම දක්වා සාර්ථකව හැදෑරීමට සමත් විය.
කුඩා කල සිට ම ඉසුරුට අවශ් යවී තිබුණේ මෝටර් රථයක් තම සිතැඟි පරිදි නිපදවීමය.
ඒ අනුව, තම සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඉසුරුට මේ වන විට හැකියාව ලැබී ඇත.
ඒ, ඔහු ෆොර්මියුලා රේසිං කාර් රථයකට සමාන රථයක් තම නිවසේදී ම නිපදවීමත් සමගය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ඉසුරු,
"මේ වාහනය ගොඩක් අයගේ උදව් ඇතිව තමයි හැදුණේ. ඒ අය වෙනුවෙන් ඒ හැමෝගෙ ම නම් මේ වාහනේ ගහන්න බැහැ. ඒක නිසා මම එක වාක්‍යයකින් ඒ අය මතක් වෙන්න වැකියක් මම මේ වාහනයේ ප්‍රදර්ශනය කරනවා. ඒ උදව් නැත්නම් මට දැනුම තිබුණට මේ වාහනය හදන්න වෙන්නේ නැහැ."
"පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ ආසාව පොඩිකාලේ ඉඳල ම තිබුණේ වාහන පැත්තට. ඒ නිසා මම ඔටෝමොබයිල් පැත්ත ඉගෙන ගත්තා."
"මේ වාහනයට මම විවිධ ආකාරයෙන් අවශ්‍ය භාණ්ඩ සොයා ගත්තා."
"මේකට ත්‍රීවීලර් බැලුන් සයිස් එකේ ටයර් හතරක් යොදාගෙන තියෙනවා. එන්ජින් එක 125cc සිල්න්ඩර් දෙක, ගියර් බොක්ස් එකත් ඒකමයි, 4 ස්පීඩ් මැනුවල්. මේකේ ගියර් අතට හදල තියනවා. ඇක්සලේටරය කකුලට තියෙන්නේ. චැසියට පාචිච්චි කරලා තියෙන්නේ අඟලේ ජී. අයි. බටේ. රෝද හතෙරෙම හයිඩ්‍රොලික් බ්‍රෙක් සිස්ටම් එකක් තියෙන්නේ. ඩිෆරන්සල් සිස්ටම් එකක් දාලා තියෙනවා. චේන් එකෙන් දුවන්නේ. වංගුවක් හැරෙව්වා ම, වාහනය තනිවම කෙලින් කර ගන්නවා."
"මම මේ කාර් එක හදද්දී යූ ටියුබ් එකේ මේ පිළිබඳව හොයලා යාළුවන් එක්ක කතා කරලා තමයි මේක හදා ගත්තේ. දැනට මම මේක ස්පීඩ් එක 70ට යනවා. මේකට බයික් එන්ජින් එකක් තමයි තියලා තියෙන්නේ. අවශ්‍ය නම් එන්ජින් ධාරිතාව වැඩි කරලා වීල් සයිස් එක වැඩි කළොත්, මීට වඩා ස්පීඩ් යන්න අලුතින් නිර්මාණය කරන්න පුළුවන්."
"මම මීට පෙරත් මේ වගේ කාර් එකක් හැදුවා. ඒක ඉතා ම සරල එකක්. ඒකේ කෑලිත් එකතු කරලා තමයි මම මේක නිර්මාණය කළේ."
"මේ වාහනයට ඉන්ධන හැටියට පාවිච්චි කරන්නේ පෙට්‍රල්. මේ වන විට ලීටරයට කිලෝමීටර් 15ක් පමණ වැඩ කරනවා."
"මේ වාහනය නිර්මාණය කරන්න මට උදව් කළේ මාතර මං ඉගෙන ගත්තු කාර්මික විද්‍යාලයයි, අම්මයි - තාත්තයි, පවුලේ හැමෝමයි, මගේ යාලුවන් ඔක්කොම උදව් කළා මට."
මේ වාහනය හදන්න ඕන උපකරණ ටෙක් එකෙන් මට ලබා දුන්නා. අම්මා - තාත්තා ඇතුළු පවුලේ හැමෝම මට මේ සඳහා වියදම් කළා. දැනට මට මේ තත්ත්වයට වාහනය නිෂ්පාදනය කරන්න ලක්ෂ දෙකක් පමණ ගිහින් තියෙනවා."
යනුවෙන් ඉසුරු සිය නව නිෂ්පාදනය පිළිබඳව විස්තර කළේය.
ඉසුරුට වඩාත් සාර්ථකව නිර්මාණ කිරීමට හරි හැටි ආර්ථික වත්කමක් නොමැත. ඒ තම පියාගේ විශ්‍රාම වැටුපෙන් පමණක් ඉසුරු සහ පවුලේ සාමාජිකයන්ට ජීවත් වීමට සිදුවීම නිසාවෙනි.
- මව්බිම