Sep 21

පිහි පහර කාලා අසරණ වූ ජම්බු දැන් ඉන්නේ එංගලන්තේ


පිටරටින් ලංකාවට බල්ලන් ගෙන්වනවා මිසක් ලංකාවේ බල්ලෝ පිටරට ගිය වගක් අසන්නට නොලැබෙන තරම්ය. එහෙත් දැන් ලංකාවේ බල්ලෙක් එංගලන්තයට ගොසින් සිටින්නේය. ඒ බල්ලා ප්‍රභූවරයන්ගේ බල්ලෙක් නොවේ. රාගම පාරක සිටි වල් බල්ලෙකි. එම බල්ලාට එංගලන්තයට යන්නට ලැබුවේ මාළු කාරයකු ඌට එල්ල කළ මන්නා පහරක් නිසා. මේ ඒ කතාවය.

ඉස්සර ගෙදර ආදරයෙන් හදපු බල්ලා පාරට දැම්මේ මිනිස්සුය. ඒත් පාරට දාන සත්තුන්ටත් බඩගින්න, තිබහව, නිදිමත දැනෙනවා කියා මිනිසුන්ට මතක් වුණේ නැත. පාරේ ඉන්න සත්තුත් ආදරය, කරුණාව ලබන්නට ආසයි කියාවත් ආදරණීයයන් ඇසුරේ ජීවත් වන්න ආසයි කියාවත් ඔවුන් සිතන්නේම නැත. පාරේ හිටියත්, සත්තු මිනිසුන්ගේ ආදරය ලබන්නට ආසය. කවුරුන් හෝ කෑම ටිකක් ගෙනදෙතැයි බඩගින්න දරාගෙන අසරණ ලෙස බලා සිටින්නේ ඒකය. ඒත් කෑම කටක් නොලැබෙන කොට ඉබාගාතේ යන්නේ ඒ බඩගින්න දරන්න බැරි වූ විටයි.

ගිය අවුරුද්දේ අප්‍රේල් 27 වැනිදා ජම්බුට සිදුවූයේත් එයමය. ජම්බු කියන්නේ මාස අටක බලු පැටියෙකි. කාත් කවුරුත් නැති ජම්බු හිටියේ රාගම පාරකය. එදා බඩගින්න ඉවසන්නට බැරි වුණ ජම්බු ඒ අවට තිබූ මාළු ලෑල්ල ළඟට යන්නට ඇත්තේ සාලයෙක් හෝ ලැබෙතැයි සිතාය. බල්ලෙකු දුටු විට හේතුවක් නැතිව යක්ෂාවේෂ වෙන සමහර මිනිසුන් සේ ජම්බු දුටු විට මාළු ලෑල්ලේ සිටි මාළු කපන්නාද යක්ෂාවේෂ වුණේය. ඔහු මාළු පිහිය ඒ මේ අත වනමින් ජම්බුව එළවා දමන්නට හැදුවේය. අවාසනාවකට ජම්බුගේ හොම්බ වෙන්වෙන්නම ඒ මේ වැනුණු මාළු පිහියට කැපී ගියේය.

වේදනාවෙන් ලේ ගලමින් කෑගසමින් පිස්සු හැදුණා සේ දිව ගිය ජම්බු ඒ අසල වත්තකට රිංගා ඇද වැටුණේය. එම නිවසේ සිටි තරුණයා වත්තේ වැටී සිටි බලුපැටවා දුටුවෙන් ජම්බුට තවදුරටත් ජීවත්වීමේ වාසනාව තිබුණේය. හොම්බ කැපී ලේ ගලමින් සිටි බලුපැටවා දැක කම්පා වූ ඔහු ඒ සතාට සිදුව ඇත්තේ කුමක්දැයි විපරම් කර බැලුවේය. ලැබුණු තොරතුරුත් සමග ජම්බුගේ පින්තූර කිහිපයක් ගත් තරුණයා ගිහාන් ධනුෂ්කගේ ෆෙස්බුක් ගිණුමට යැව්වේය. ගිහාන් ධනුෂ්ක සත්තුන්ට බොහෝ පිහිට වෙන තරුණයෙකි. මේ පුවත ඒ සැනින් ගිහාන්ගේ ඇස ගැසුණත් ඒ වන විට ඔහු බුද්ධික චාමර හා තවත් මිතුරන් පිරිසක් සමග සිටියේ මීගමුව කටුවාපිටියේය.

‘‘අපි ඒ වෙලාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වෙලා හිටිය කටුවාපිටිය ප්‍රදේශයේ අයට වියළි සලාක බෙදන්න ගිහිල්ලයි හිටියේ. ඒ වැඩේ ඉක්මනට ඉවර කරලා මීගමුවේ ඉඳල එන ගමන් රාගමට ඇවිත් බලු පැටියව ගත්තා. හොම්බ කැපිලා පැය ගාණක් කන්න බොන්න නැතිව ලේ ගලලා සතා හිටියේ අඩපණ වෙලා. අපි ඉක්මනටම එයාව කඩවත ‘‘Dr pet’’ සත්ත්ව රෝහලට අරන් ගියා. ප්‍රතිකාර කරන ගමන් අපි එයාගෙ පින්තූර ටිකක් අරන් ෆේස්බුක් එකට පෝස්ට් එකක් දැම්මා. හොම්බ කැපුණු බලු පැටියට ජම්බු කියන නම දුන්නේ ඒ වෙලාවේ. ඒ පෝසට් එක දැකපු අහංගම ඇනිමල් SOS ආයතනයේ ප්‍රධානී කිම් කූලින් කිව්වා සතා එහාට අරන් එන්න. වැඩිදුර ප්‍රතිකාර කරන්නම් කියලා. ඊට පස්සේ අපි ජම්බු ඇනිමල් SOS එකට ගිහින් භාරදුන්නා.’’

කිම් කූලින් ඇතුළු ‘‘ඇනිමල් SOS’’ සියලු දෙනාගේ ආදරය කරුණාව මැද ජම්බු සෙමෙන් සුවපත් වුණේය. අභ්‍යන්තර අවයව වලට පිහි පහරින් හානි වී නොතිබූ නිසා ජම්බුට ජීවත්වීමේ වාසනාව ලැබී තිබිණි. අපේ රටේ පිළිසරණක් නැති බල්ලන් දහසකට වැඩි ප්‍රමාණයකට රැකවරණය දෙමින් ජීවත් කරවන ‘‘ඇනිමල් SOS’’ ආයතනය තුළ ජම්බු වැනි හදිසි අනතුරුවලට ලක්වූ සත්තුත් බොහෝ සිටියි.

‘‘අපිත් සත්තුන්ට සලකන්න නිතර එහෙ යනව එනව. ජම්බුට හොඳට කළගුණ මතක තිබ්බා. මමයි බුද්ධිකයි යන හැම අවස්ථාවකම ජම්බු ආදරයෙන් පිළිගත්තා. අද අපි ජම්බු ගැන ඊට වඩා සතුටු වෙන්න කාරණයක් තියෙනවා. ඒ ලංකාවේ ඉපදිලා කන්න බොන්න නැතිව මිනිසුන්ගේ ගුටිබැට විතරක් නෙවෙයි පිහියෙන් පහර කාලා අසරණ වෙලා හිටපු ජම්බු දැන් ඉන්නේ එංගලන්තේ නිසා. කිම් කූලින් කියන්නේ එංගලන්ත ජාතික කාන්තාවක්. ‘‘ඇනිමල් SOS’’ ​එකේ අවුරුද්දයි මාස දෙකක් වගේ හිටපු ජම්බුව කිම්ගේ ඥාතියෙක් එංගලන්තේ අරන් ගියා. අද එයා එංගලන්තයට වෙලා හරිම සතුටින් ජීවත්වෙනවා කියලා සැරින්​ සැරේ අපට එවන පින්තූරවලින් අපි දකිනවා.’’

ජම්බු ලංකාවෙන් ගියේ කොරෝනාවට ලොක්ඩවුන් වී තිබූ ගුවන් තොට ඇරී ගුවන් ගමන් පටන් ගැන්මත් සමගය. දැන් ජම්බුගේ නම ටාකින් (TARQUIN) ය. ඊයේ පෙරේදා ජම්බුගේ අලුත්ම ඡායාරූප පෙළක් එංගලන්තයේ හාම්පුතුන් විසින් ‘‘ඇනිමල් SOS වෙත’’ එවා තිබිණි. මේ ජම්බු ඒ අලුත් හාම්පුතුන් සමග සතුටින් සිටින අන්දමයි.

බියංකා නානායක්කාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.