Sep
02
ජපානයෙන් ඉගිළෙන කාර් එකක්
සාර්ථක ලෙස ඉගිළෙන මෝටර් රථයක් නිර්මාණය කිරීමට ජපානය සමත් වී ඇත. මෙය වාණිජ වශයෙන් 2023 වර්ෂයේදී වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලබන බව එය නිෂ්පාදනය කළ ආයතනය වන ස්කයිඩ්‍රයිව් සමාගම ප්‍රකාශ කරයි. මෙම රථයේ වරකට ගමන් කළ හැක්කේ එක මගියකුට පමණකි. එම කුඩා මෝටර් රථය පොළොවෙන් අඩි කිහිපයක් ඉහළින් විනාඩි 4ක් පමණ පියාසර කරනු දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයට නිකුත් කරනු ලැබ තිබේ.
මෙම රථය වඩාත් සුරක්ෂිත ආකාරයෙන් පුළුල් ලෙස නිෂ්පාදනය කිරීම තමන්ගේ අරමුණ බව ස්කයිඩ්‍රයිව් සමාගමේ ප්‍රධානි ටොමොහිරෝ ෆුකුසාවා පැවසීය. මෙම නව වාහනය ජනතාව අතර ජනප්‍රිය වන බවට ඔහු විශ්වාසය පළ කර ඇත. “දැනට මෙම මෝටර් රථයට පියාසර කළ හැක්කේ විනාඩි 5-10 අතර කාලයකි. නමුත් එම කාලය විනාඩි 30 දක්වා දීර්ඝ කිරීම අපි බලාපොරොත්තු වෙමු. චීනයටද අපගේ නිෂ්පාදනය අපනයනය කිරීමට හැකි වනු ඇත.”
මෙම පියාසර මෝටර් රථය ක්‍රියාත්මක වන්නේ ගුවන් යානා හෝ හෙලිකොප්ටර් තාක්ෂණයෙන් නොව, විද්‍යුත් සිරස් උද්ගමන ක්රමයකටය.
“නමුත් මෙම නව යානය නිසා උද්ගත වන ගැටලු දෙකකට විසඳුම් සෙවීමට අපට සිදු වනු ඇත. එනම් වැඩි කාලයක් ගුවන්ගතව තිබීමට නම් විශාල බැටරියක් අවශ්‍ය වීමත්, මෙම වාහන බහුල වුවහොත් ගුවන් තලයේ තදබදයක් ඇතිවීම වැළැක්වීමත්ය.
ඇතැම්විට දැනට හඳුනා නොගත් ප්‍රශ්න මතුවීමේ ඉඩක් ඇති බවද බැහැර කළ නොහැක” යැයි කානගී මෙලන් සරසවියේ රොබෝ තාක්ෂණ විද්‍යායතනයේ (Robotics Institute at Carnegie Mellon University) මහාචාර්ය සංජීව් සිං ප්‍රකාශ කර තිබේ. “මෙම වාහනයට ඩොලර් මිලියන 10ක් වැනි මිලක් නියම වුවහොත් එය අලෙවි කළ නොහැකි වනු ඇත. පියාසර කළ හැක්කේ විනාඩි 5ක් වැනි කෙටි කාලයක් නම් එය අවශ්‍ය වනු ඇත්තේ කා හටද? එය නිතර පොළොවට පතිත වන්නට හේතු වුවහොත් කිසිවකු මිලදී නොගනු ඇත” යැයි මහාචාර්ය සිං තවදුරටත් පවසා ඇත.
මේ වනවිට ඉගිළෙන කාර් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති 100ක් පමණ ලොව රටවල් කිහිපයක ක්‍රියාත්මකව පවතියි.
- මව්බිම