Sep
23
වන අලියකු පහරදීමෙන් මියගිය වනජීවි සහායක
‘‘ලබන නිවාඩුවට ආවාම ගඩොල් ටිකක් ගෙනල්ලා ගේ ඉතුරු වැඩ ටික පටන් ගමු. පොඩි දෙන්න හොඳට බලා ගන්න...’’ කියලා ගිය මහත්තයාට මොකක්ද මේ උනේ ? මහත්තයා සතුන්ටයි කැලේටයි හරිම ආදරෙයි. නිතරම දරුවන්ට ඒ ගැන කියලා දෙනවා. එහෙම කරපු මහත්තයට ඇයි මෙහෙම දෙයක් වුනේ. දැන් අපි තනි වුනා. වන අලියකු පහරදීමෙන් මියගිය වන ජීවි ක්ෂේත්ර සහායක ඞී. එම්. ධර්ම කුමාර මහතාගේ බිරිඳ වන කේ.එම්. නිලූකා චාමලී මහත්මිය හැඬූ කඳුළින් පවසා සිටියාය.
දමන වනජීවී කොට්ඨාසයට අයත් සියඹලාණ්ඩුව රුහුණ දනවුව හෙළ මුල්ල ප්රදේශයේ දී ගොවියෙකුගෙන් ලැබූ පැමිණිල්ලක් මත වන අලි පලවා හරින්නට ගිය අවස්ථාවේ නොසිතූ මොහොතක වන අලියෙකු ධර්ම කුමාර මහතාට පහර දෙන ලදී. ඔහුව අනික් නිලධාරී පිරිස විසින් ඒ මොහොතේ සියඹලාණ්ඩුව රෝහල වෙත රැුගෙන ගියද ඒ වන විට අලි පහරදීම් නිසා බරපතළ ලෙස තුවාල ලබා සිටි 44 හැවිරිදි ධර්ම කුමාර මහතාගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුව තිබිණි.
දොළොස් හැවිරිදි දියණිය සහ තවමත් පළමු වසරේ ඉගෙනුම ලබන නිදුක පුතා තනිකර දමා ඔහු නැවත නොඑන්නට නික්ම ගොස් ඇත. වසර පහළොවක් පමණ වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කර ලද කුමාර මහතා නිවුනු ගති ගුණවලින් හෙබි අයෙකි. දෙපාර්තමේන්තුවේ කාගේත් සිත් දිනාගත් ඔහු පරිසරයට සහ වන සතුන්ට දැඩි සේ ඇලූම් කරන්නට විය.
‘‘මගේ මහත්තයා ගෙදර ආපුවාම කියනවා අලි පන්නන ගියපුවහම බේරුන විදිහ. සමහර කැලෑවල බඩ ගාලා තියෙනවා. සමහර වෙලාවට දුවලා බේරිලා තියෙනවා. පරිස්සමින් වැඩ කරන්න. අලි ඉන්න තැන්වලට කල්පනාවෙන් යන්න කියලා මම කිව්වා. බය වෙන්න එපා. දරුවෝ දෙන්නා ලොකු වෙනකම් මට
අලින්ගෙන් කරදරයක් වෙන්නෙ නෑ. මට කොහොමත් මොකක්වත් වෙන්නේ නෑ. මම පරිස්සමින් ජීවත් වෙනවා කියල කිව්ව මහත්තයට මේ වෙච්ච දේ අදහගන්න බෑ.මම දැන් දරු දෙන්නත් එක්ක තනි වුණා...’’ යනුවෙන් ධර්ම කුමාර මහතාගේ බිරිඳ හැඩු කඳුළෙන් පැවසුවාය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. කිත්සිරි මෙවන් මහතා මෙසේ පැවසුවේය.
‘‘මේ පිළිබඳව වනජීවි නැගෙනහිර සහකාර අධ්යක්ෂකවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්තුවා. මේ පිළිබඳව සොයා බලන්නට වනජීවී දෙපාර්තමේන්තුවේ පාලන අධ්යක්ෂතුමාද පැමිණියා. අලි මිනිස් ගැටුමේදී වැඩිපුරම බැනුම් අහන්නෙ වනජීවී නිලධාරීන්. මේ පිළිබඳව තොරතුරු ලද සැනින් එම නිලධාරීන් ක්රියාත්මක වෙලා පැයක් ඇතුලත උදේ නමය වන විට ඔය සිද්ධිය වූ ස්ථානයට ගිහිල්ලා තියෙනවා.
අලි රංචුවක් සිටියොත් අපි සවස් කාලයේ පලවා හරිනවා. තනි අලියෙක් සිටියොත් අපි ඒ මොහොතේම පලවා හරින්න කටයුතු කරනවා. කවුරුත් නොසිතූ මොහොතක වන රොදින් ආපු වන අලියා පහරදීම නිසා අපේ කෙනෙක් මිය ගියා. මේක යුද්ධයක් වගේ. ඒ වුණත් දෙපැත්තම ආරක්ෂා කරගන්න වෙලා තියෙනවා. කට්ටිය අපිට කොච්චර බැන්නත් අපි ජීවිතේ දැඩි අවදානමක් අරන් තමයි අලි පලවා හැරීම සිදුකරන්නේ...’’ යනුවෙන් කිත්සිරිමෙවන් මහතා පවසා සිටියේය.
එවන් තත්ත්වයක් යටතේ අලින්ගේ ප්රහාරයන්ට ගොදුරු වන මේ ආකාරයේ වනජීවී නිලධාරීන්ගේ ජීවිතද මරු තුරුළට යෑම අතිශයින්ම කණගාටුදායකය. ගොවීන්ගේ ජීවිත මෙන්ම වගාවන් රකින්ට ගිය ධර්ම කුමාර මහතාට සිදුවූයේ ඒ වෙනුවෙන් සිය ජීවිතය පූජා කරන්නටය.
සුසන්ත අමරබන්දු