Aug 24

"එජාප නායකත්වය මා බාරගන්නවා" කරූගේ විශේෂ නිවේදනය මෙන්න


හිටපු කාතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි කළ එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රී ලංකාවට සැබෑ දේශමාමකත්වයෙන් යුතුව 21 වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පරිණතභාවය, නිපුණතාව, සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

එසේ වුව ද වර්තමානය වන විට එජාපය පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කණගාටුවට හේතු වී ඇත. එක්සත් ජාතික පක්ෂය නැමැති මෙම අභිමානවත් දේශපාලන බලවේගය පත්ව ඇති අවසානාවන්ත තත්වයෙන් මුදාගෙන පක්ෂයට හිමි අද්විතීය ස්ථානය යළි හිමි කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියටත් ඉටු කළ හැකි මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස පසුගිය මහ මැතිවරණයෙන් පසුව බොහෝ දේශ හිතෛශී පාර්ශවයන්ගෙන් මා හට ආරාධනා ලැබිණි.
ඒ අතර ගරුතර සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගම් නියෝජනය කරන පුජ්‍ය පක්ෂය, එජාපය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු, පක්ෂයට සහ රටට හිතැති බුද්ධිමතුන්, එජාපය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ඇතැම් පක්ෂ නායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්, පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන ද ප්‍රමුඛ විය.

එකී සියලු පාර්ශව විසින් පෙන්වා දෙන ලැබුවේ, ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළඹ ඇති බවයි. කෙසේ වෙතත්, ජනතා ඉල්ලීමට කන් දෙමින් පාක්ෂිකයාගේ අදහස් අනුව පක්ෂයට අවශ්‍ය වන කාලීන ප්‍රතිසංස්කරණ වහාම සිදු කොට නව මුහුණුවරකින් යුතු කඩිනම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මගින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාපවත්ව යළි නැගී සටීමට හැකි බව මම විශ්වාස කරමි.

වර්ෂ 1994 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂය භාරගැනීමත් සමගම පක්ෂ නායකත්වයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්ය ලබා ගත් මා එහි සභාපතිවරයකු, නියෝජ්‍ය නායකවරයකු සහ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයකු වශයෙන් ද පක්ෂයේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් වූ 2014 ඌව පළාත් මැතිවරණයට නායකත්වය දෙමින් ලද අත්දැකීම් ද එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා කටයුතු කර තිබේ.

මාගේ සමස්ත දේශපාලන ගමන් මග රටේ ප්‍රජාතනත්‍රවාදය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම පිණිස මාගේ දායකත්වය නොරහසකි. මෙලෙස 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට උපරිම ආකාරයෙන් කැප වුණෙමි.

වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මවිසින් මනාව සලකා බලන ලද අතර, පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට මවිසින් කටයුතු කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් මා විසින් ගන්නා ලද තීරණයක් වන අතර අප මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මාගෙන් ඉටු විය යුතු සියලු යතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බව අවධාරණය කරමි.

– කරු ජයසූරිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.