May 06

අපේ රටේ හැදූ එක්ස්කැවේටරය


බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණු ක්ෂේත්‍රයක නියැලිලා ඉන්න තරුණයෙකු ගැනයි; අද අනාවරණය. ඔහු Bushitha Heavy Machinery Engineers (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ භූෂිත සෙහාන්. නව නිපැයුම්කරණයේ යෙදී සිටින ඔහු බර යන්ත්‍රෝපකරණ මෙරටදී නිපදවීම මේ වන විට ආරම්භ කොට තිබෙනවා.

එහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස භූෂිත විසින් නිර්මාණය කළ එක්ස්කැවේටර් යන්ත්‍රය හඳුන්වන්න පුලුවන්. ඇත්තෙන්ම කිව්වොත් ඔහු නිර්මාණය කළ යන්ත්‍රය ලෝකයටම අලුත් එකක්. එයට හේතුව දැනට භාවිත කරන එක්ස්කැවේටර් යන්ත්‍ර වල දක්නට නොලැබෙන විශේෂාංග කිහිපයක් මේ යන්ත්‍රයට එකතු කර තිබීමයි.

1. දුර වෙනස් කළ හැකි Counter Weight කොටස :

සෑම එක්ස්කැවේටර් යන්ත්‍රයකම මේ කියන Counter Weight කොටස ස්ථාපිත කොට තිබෙනවා. සාමාන්‍යයෙන් එහි බර 600 kg ක් පමණ වෙනවා. වැඩ නොකරන වෙලාවටත් යන්ත්‍රයට මේ බර දරා සිටීමට සිදුවන නිසා, එය යන්ත්‍රයේ කාර්යක්ෂමතාවට වගේම, ඉන්ධන පිරිමැස්මටත් අහිතකර ලෙස බලපානවා. මෙයට විසඳුමක් ලෙසයි; භූෂිත, චලනය කළ හැකි Counter Weight කොටස නිර්මාණය කරන්නේ. එය සාමාන්‍ය බරින් අඩක් එනම්, 300 kg ක් පමණ වෙනවා. නව Counter Weight කොටස ඉදිරියට හා පසුපසට චලනය කිරීම මගින් යන්ත්‍රයේ සමබරතාව සකසා ගන්න පුලුවන්. මේ මගින් වැඩිපුර බරක් දරා සිටීමෙන් ඇතිවන අකාර්යක්ෂමතාව හා ඉන්ධන නාස්තිය අඩු කෙරෙනවා.

2. දිග වෙනස් කළ හැකි Boom කොටස :

සාමාන්‍ය එක්ස්කැවේටර් යන්ත්‍ර වල Boom එකේ දිග අචලව පවතිනවා. නමුත්, මෙම නව යන්ත්‍රයේ Boom එකෙහි දිග අඩු වැඩි කිරීමට පුලුවන්. එමගින් එක් තැනක යන්ත්‍රය රඳවාගෙන වැඩි ප්‍රදේශයක වැඩ කිරීමේ පහසුව, ඉන්ධන පිරිමැස්ම හා අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් සිදු කර ගැනීමේ අවස්ථාව උදා වන බව භූෂිත පෙන්වා දෙනවා.

3. වැඩි දියුණු කළ Bucket එක :

සාමාන්‍ය එක්ස්කැවේටර් යන්ත්‍රයක Bucket එකට වඩා මේ යන්ත්‍රයේ එම කොටස විශේෂ හැඩයකට හා ක්‍රමයකට සකසා ඇති අතර, එමගින් Bucket එකේ ධාරිතාව වැඩි කර ගැනිමට හැකි වූ බවයි; නිෂ්පාදකයා පෙන්වා දෙන්නේ.

ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය පසුගිය දශකයක පමණ කාලය තුළ වේගවත් වී තිබෙනවා. ඒ හැම ව්‍යාපෘතියකම භාවිත කරන්නේ, ජපානය ඇතුළු රටවල නිෂ්පාදනය කරන ලද බර යන්ත්‍ර සූත්‍ර. භූෂිත නිපදවූ ප්‍රමාණයේ යන්ත්‍රයක් ලංකාවට රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලකට ගෙන්වා අලෙවි කෙරෙනවා. මේ එක්ස්කැවේටර් යන්ත්‍රය මෙරට නිපදවන්නේ නම්, ඊට වඩා අඩු මුදලකට අලෙවි කළ හැකි බවත්, විදේශ රටවලට අපනයනය කිරීම මගින් අපනයන ආදායමක් උපයා ගත හැකි බවත් භූෂිත පෙන්වා දෙනවා. එනිසා, මේ යන්ත්‍රය කඩිනමින් වෙළෙඳපොළට ගෙන ඒම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හේතු වනු ඇති.

මෙහිදී රජයේ පාර්ශ්වයට සිදු කළ හැකි කටයුතු කීපයක් තිබෙනවා. ජපානයේ හදන යන්ත්‍ර පිළිබඳ බොහෝ දෙනෙකු විශ්වාසය තබා ඇති පසුබිමක භූෂිතගේ එක්ස්කැවේටර් යන්ත්‍රය අපේ රටේ පළාත් පාලන ආයතන වලට ලබා දීමෙන් යන්ත්‍රය ජනප්‍රිය කරවීම හා පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම වේගවත් කිරීමට පුලුවන්. ඒ වගේම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආනයනය කළ යුතු කොටස් සඳහා බදු සහන ලබා දෙන්නේ නම්, එයත් රුකුලක් වනු නොඅනුමානයි.

භූෂිත සෙහාන් නිපද වූ එක්ස්කැවේටර් යන්ත්‍රය නුදුරු අනාගතයේ වැඩබිම් වල දැකගන්නට ලැබීම අපේ ප්‍රාර්ථනය යි.

භූෂිත, ඔබටත්, මව්බිමටත් ජය….!!!

– ප්‍රබෝධිත් ධර්මාජීව, කැඳවුම්කරු,
නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.