May
19
පාස්කු ප්‍රහාරයේ පෙර සැලැසුම් ගැන CIDය සොයා බලා නෑ. සියල්ල හෙළිකරයි!
පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකීම දැරිය යුතු පුද්ගලයකු පිළිබඳව ඍජුව ඇඟිල්ලක් දිගු කළ නොහැකි නමුත් රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉහළ පොලිස් ප්‍රධානීන් නිසි වගකීමක් ඇතිව ප්‍රහාරය පිළිබඳ තොරතුරු පහළට දැනුම් දුන්නේ නම් නියත වශයෙන්ම පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට ඉඩ තිබූ බව බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (14දා) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවැසීය.
ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් 2019-4-11 දින ප්‍රහාරයන් සම්බන්ධව තොරතුරු ඇතුළත්ව පොලිස්පතිවරයාගේ අස්සනින් යුතු ලිපියක්, එවක ජාතික බුද්ධි ප්‍රධානියාගේ ප්‍රහාරය ගැන දැන්වීමේ ලිපි කට්ටලයක්, බුද්ධි අංශය විසින් සොයාගත් තොරතුරු ඇතුළු ලිපි 4කින් යුතු කට්ටලයක් තමාට ලැබුණු බවත් එදිනම තමා එයට ආවරණ ලිපියක් සකසා අදාළ ප්‍රධානීන්ගේ උපදෙස් මත ක්‍රියාකරන ලෙසත් සැකකරුවන්ගේ ඡායාරූප, ඉලක්කගත ප්‍රදේශවල ඔවුන් සිටිනවාද ඒ ආශ්‍රිත කුලී නිවාස හා නවාතැන් පරීක්ෂා කරන ලෙස තමා ඉන් තමාට පහළ ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට 2019-4-12 දින ලිපි මඟින් දැනුම්දුන් බවත් ඒ මහතා කීය.
එසේ බුද්ධි අංශ ඉදිරිපත් කළ අදාළ ලිපි කට්ටලයේ එක් ලිපියක අවසානයේ තොරතුරු රහසිගතව තබාගන්නා ලෙසත් ජනතාව අනිසි බියකට පත් නොකරන ලෙස සඳහන් කර තිබීමත් ප්‍රහාරයක් සිදුවන නිශ්චිත දිනයක් එම ලිපියෙහි සඳහන් නොවීමත් හේතුවෙන් හදිසි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් නොදුන් බවද ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමට පැවැසීය.
ඒ අනුව අදාළ දැනුවත් කිරීම මත කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් වසම් 22ක අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණද එවක මීගමුව කොට්ඨාසයේ කටාන පොලිස් ස්ථානාධිපතිවරයා එම ක්‍රියාමාර්ග නිසි ලෙස අනුගමනය නොකර ඇති බව පෙනී ගිය බවත් ඒ හේතුවෙන් ඔහුට විරුද්ධව වහාම විනය ක්‍රියාමාර්ග ගත් බවද ඔහු කීවේය.
එහිදී අදාළ දැනුම්දීම් සිදුකර නැවතවරක් ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලුවා දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එහිදී තමා දුරකථන ඇමැතුම් ලබාදෙමින් ඒ ගැන සොයා බැලූ බවත් තමාට අදාළ ප්‍රදේශ වෙත ගොස් පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව කිරීමට නොහැක්කක් බවත් කොට්ඨාස භාර නිලධාරීන් අදාළ ආරක්ෂාව පිළිබඳ යාන්ත්‍රණ සැකසිය යුතු බවත් ප්‍රකාශ කළේය.
එහිදී අදාළ ලිපි කට්ටලයේ විශේෂ පල්ලිවලට ආරක්ෂාව ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීම ඉටු කිරීමට උපදෙස් දුන්නා දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූහ.
“දූව හා රද්්‍ෙදාලුගම පල්ලිවල පාස්කු උත්සවවලට ආරක්ෂාව ලබාදුන්නා. ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලි රැසක් පවතින නිසාත් ප්‍රසිද්ධ පල්ලිවලට ආරක්ෂාව යොදවන්න යැයි 11 දිනැති ලිපියෙහි තිබුණු නිසාත් අදාළ පල්ලිවලට ආරක්ෂාව දුන්නා. මට නිශ්චිත උපදෙස් ඉහළින් දුන්නා නම් පල්ලිවලට ආරක්ෂාව දීලා පමණක් නතරවෙන්නේ නෑ. නමුත් ඉහළින් අනිසි බියක් ඇති නොකරන්න කිව්ව නිසා මම මගේ වැඩපිළිවෙළක් සකස් කළේ නෑ. නැත්නම් මට තිබුණා සෝදිසි මෙහෙයුම්, මාර්ග බාධක යොදන්න. ඒ ඔස්සේ ප්‍රහාරයක් වීම වළක්වන්න තිබුණා.
“සහරාන් නමැති පුද්ගලයකු 2016 සියලු ආගමිකයන් විනාශ කර ඉස්ලාමය ව්‍යාප්ත කළ යුතු බවට සමාජ මාධ්‍යවලට වීඩියෝ පටයක් යොමු කර තිබූ බව බුද්ධි අංශයට වාර්තා වී තිබුණා.
2019 වවුනතිව්හි යතුරුපැදියක් පිපුරුණා. මාවනැල්ලේ බුදු පිළිම කැඩීම ගැන පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහරාන් ගැන සියලු තොරතුරු සී.අයි.ඩී.යට, බුද්ධි අංශයන්ට කිව්වා. ඉන්දියාවේ ‘රෝ’ ඔත්තු සේවය නිශ්චිත කරුණු ඇතුළත් බුද්ධි තොරතුරු ලබාදුන්නා. වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිදුවීම සහ බෝම්බ හදන තොරතුරු සියල්ල ලැබී තිබුණා. ජනවාරි 23 වැනිදා පුත්තලමෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයා වනාතවිල්ලුව සිදුවීම ගැන 2019 ජනවාරි 23 CID එකට කිව්වත් කිසිම සෝදිසි කිරීමක් හෝ පරීක්ෂණයක් වුණේ නෑ. පොලිසියේ අපිට මේවා ගැන තොරතුරු හොයන්න ක්‍රමවේදයක් නෑ.”
සහරාන්ගේ ක්‍රියාකාරකම් සහ ඒ වටා පැවැති අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව යම් තොරතුරක් දැනසිටියා දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පිළිතුර වූයේ එයයි.
පොලිසියට අදාළ තොරතුරු සෙවීමට අවස්ථාවක් නොමැති බව සඳහන් කරන්නේ ඇයි දැයි මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියදී ජාතික පොලිස් සේවාවේ පවතින සුවිශේෂී ගැටලුවක් පිළිබඳව අනාවරණය කිරීමට ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගත්තේය.
“අපේ පොලිසියට බුද්ධි තොරතුරු විශ්ලේෂණයට කිසිම තාක්ෂණයක් නෑ. අඩුම තරමේ බුද්ධි තොරතුරු හොයන අයට රුපියල් 2500 ජංගම දුරකථනයක්වත් ලබාදීලා නෑ. මෙහෙම වුණාම කොහොමද අපි තොරතුරු හොයන්නේ.”
ඉහළ ප්‍රධානීන් චක්‍රලේඛ සහ නියෝග පහළට යවලා තොරතුරු ගන්න කිව්වත් ඡායාරූප ගන්න කිව්වත් ඊට අදාළ උපකරණ හා පහසුකම් නැතිම මේ කිසිවක් කරන්න බෑ.
එමෙන්ම අදාළ ප්‍රහාරය පිළිබඳව තොරතුරු සහ සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔහුගේ නිජබිම වන නැඟෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ දැනුම්දීමට එවක බුද්ධි නිලධාරීන් හා සී.අයි.ඩී.ය කටයුතු නොකළ බවද ඔහු මෙහිදී කීය.
විශේෂ පල්ලිවලට ආරක්ෂාව යොදවන ලෙස අප්‍රේල් 11දා ලැබුණු ලිපි මඟින් දන්වා තිබූ කරුණු පිළිබඳව පහළ නිලධාරීන්ගෙන් වාර්තා කැඳවීමක් සිදුකළා දැයි යළිත් වරක් කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එහිදී සාක්ෂිකරු පැවැසුවේ කොට්ඨාස භාර නිලධාරීන් අමතර භෞතික හා මානව සම්පත් ආරක්ෂාව සැපයීමට අවශ්‍ය බව ඉල්ලීමක් නොකර ඇති පසුබිමක වාර්තා කැඳවීමක් අනවශ්‍ය බවයි. එමෙන්ම තර්ජනයක් පිළිබදව එතෙක් නිශ්චිත තොරතුරක් නොලැබී තිබූ බවත් එවැනි තොරතුරක් ලැබී තිබුණා නම් තමාට ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කර පහසුකම් සැපයීමට හැකි බවත් ඔහු කීය.
එමෙන්ම 13,14,15 අවුරුදු නිවාඩු යෙදී තිබීම හේතුවෙන් ලිපි කටයුතු හුවමාරුව නිසි ලෙස සිදුනොවුණත් තමා නිරන්තරයෙන් පහළ නිලධාරීන්ගෙන් දුරකථනයෙන් දෛනික තොරතුරු පිළිබඳව හා විමර්ශන පිළිබඳව විමසීම් කළ බවද ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමට කීය. එවක මීගමුව දිසාව භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල අප්‍රේල් 11 ලිපිවල අඩංගු කරුණු අනුව කටයුතු කළ බවත් තවදුරටත් තොරතුරු සොයමින් සිටින බව තමා දුරකථනයෙන් පැවැසීය.
තමා මේ පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලූ බවට සනාථ කරන හොඳම සාක්ෂියක් බවද ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ අනාවරණය කළේය.
එමෙන්ම කතෝලික පල්ලිවලට ආරක්ෂාව මදි නම් ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවන ලෙස තමා සියලු පහළ නිලධාරීන්ට මතක් කරමින් කිහිපවරක් උපදෙස් දුන් බවද ඔහු කීය.
තවද අප්‍රේල් 21ට පෙර සිටම බාහිර ප්‍රදේශවලින් පැමිණි අය පරීක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක් කළ බවත් එහිදීද ප්‍රහාරයට සම්බන්ධ අය පිළිබඳව තොරතුරු ලැබී නොමැති බවත් ඔහු කීය.
තමාට ප්‍රහාරයන් ගැන පළමුවරට තොරතුරු ලැබුණු අප්‍රේල් 11 වැනිදායින් පසු ඉහළ ප්‍රධානීන් කිසිදු තොරතුරක් මේ පිළිබඳව තමාට ලබානොදුන් බවත් අප්‍රේල් 20 වැනිදා සවස සිදුකළ අනෙක් අනතුර ඇඟවීම පිළිබඳව තොරතුරු ලැබෙන විට තමා දින 116කට පසුව නිවාඩු ගොස් සිටි බවද ඔහු කීය. යම් හෙයකින් අප්‍රේල් 20 වැනිදා සවස ලැබුණු තොරතුරු තමාට ලැබුණේ නම් ප්‍රහාරය සිදු නොවීමට අදාළ ක්‍රියාමාර්ග හා දැනුවත් කිරීම් නියත වශයෙන්ම සිදුකර ප්‍රහාරය අවකාශ තිබූ බවද ඔහු කීය.
එමෙන්ම අප්‍රේල් 20 එවූ ලිපිය පිළිබඳව තමාට දන්වා සිටියා නම් කතෝලික පල්ලි විශාල ප්‍රමණයක් ඇති කොළඹ උතුර භාර පොලිස් ප්‍රධානියා වශයෙන් තමා නිත්‍ය වශයෙන්ම නිවාඩු ගොස් සිටියද නැවත සේවයට වාර්තා කරන බවත් නමුත් තමන්ට එවැනි දැනුම්දීමක් ඉහළින් සිදුනොකළ බවද ඔහු කීය.
එමෙන්ම තමා නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාරගත් දිනයේ පොලිස් බුද්ධි තොරතුරු ඒකකය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් පවතින බව එවක නිරීක්ෂණය කළ බැවින් රටක ජාතික අරක්ෂාවට මුල් තැන දියයුතු යන පදනම මත පොලිස් බුද්ධි ඒකකය ප්‍රති සංවිධානය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් වැඩ භාරගෙන දින දෙකක් තුළ ආරම්භ කළ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ඵලදායි සේවාවක් ලබාගැනීම වෙනුවෙන් ඉහළින් උපදෙස් නොලැබුණු පසුබිමක පොලිස් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කළ බවද කීය.
ඒ අනුව බිම් මට්ටමේ බුද්ධි තොරතුරු නිසි ලෙස ලැබෙන යාන්ත්‍රණයක් ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රජා කමිටු පිහිටුවා සකස් කළ බවත් අට වරක් අදාළ කමිටුවල උපදෙස් ලබාදෙමින් විශේෂ බුද්ධි රැස්වීම් හා උපදෙස් පන්ති පවත්වා විධිමත්ව බුද්ධි තොරතුරු ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ බවත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
ඒ ඔස්සේ පාතාල ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම් නීති විරෝධී ගිනිඅවි භාවිතය, සංවිධානාත්මක අපරාධ නිවාරණය ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට අදාළ තොරතුරු ගලා ඒමේ නිසි ක්‍රමවේදයක් ක්‍රමයෙන් නිර්මාණය වූ බවද ඔහු කීය.
එමෙන්ම ජාතික සංහිඳියාව ගොඩනැඟීමට තමාට පොලිස්පතිවරයා ලබාදුන් උපදෙස් මත කටයුතු කරමින් වවුනියාව වැසියන් ගාල්ලටත්, ගාල්ල වැසියන් වවුනියාවටත් බස්රථ මගීන් රැගෙන ගොස් විවිධ ආගමික හා ජාතීන් අතර පවතින සංස්කෘතික හා ආගමික උත්සවලට සහභාගි කරවා වැරැදි වටහාගැනීම් හා අනවබෝධයන් දුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් දිගන, තෙල්දෙණිය, බේරුවල වැනි ප්‍රදේශවල ඇති වූ ආගමික හා ජනවාර්ගික ගැටුම් සමථයකට පත් කිරීමට ජීවිත අවදානම නොතකා ක්‍රියා කළ බවද කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
පැය හතර හමාරකට අධික කාලයක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, දිගන, මිනුවන්ගොඩ, බේරුවල, මීගමුව යන ප්‍රදේශවල සිදුවූ අන්තවාදී ක්‍රියා පිළිබඳ තොරතුරු හා සාක්ෂි ලබාදීමට නැවත වරක් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා නියෝග කිරීමෙන් පසුව දිනට නියමිත සාක්ෂි විමසීම අවසන් විය.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික දිගු විරාමයකින් පසුව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ (14දා) රැස්වූ අතර සාක්ෂි විමසීම ආරම්භයට පෙර පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිව පිළිපදිමින් විනිසුරුවන්, නීතිඥයන්, කොමිසමේ නිලධාරීන් ඇතුළු පිටස්තරින් පැමිණෙන සියලු පුද්ගලයන් කොමිසම් ශාලාවට පැමිණීමට පෙර මුලින් දෑත් සේදීමට යොමුකර, ශරීර උෂ්ණත්වය මැන බැලූ අතර කොමිසමේ විනිසුරුවන්, නීතිඥයන් නිලධාරීන් සහ සාක්ෂිකරු පමණක් කොමිෂන් ශාලාවේ රැඳී මාධ්‍යයට ශාලාවෙන් පිටත මීටරයක දුරින් අසුන් පනවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ආවරණ කටයුතු කිරීමට ඉඩ සලසා තිබීම සුවිශේෂී කරුණක් විය.
- රුවන්ත නිතුල්ගස්පිටිය