May 06

ලොකු සද්දයක් නැතුව දෙරණ තෝරපු අවුරුදු කුමරිය (Photos)


ඔබ තමයි මෙවර දෙරණ අවුරුදු කුමරිය වුණේ. සතුටින්ද ඉන්නේ?

ඔව්. මට ඒ ජයග්‍රහණය ගැන සතුටුයි. දෙරණ අවසන් තරගය ලොකු ෂෝ එකක් විධියට මාර්තු මාසේ 28 වැනිදා අපේ ගම පරිශ්‍රයේ කරන්න සැලසුම් කරගෙන තිබුණේ.

අපිට නර්තන පුහුණු කිරීම් කරන්න භාරවෙලා හිටියේ චන්දන වික්‍රමසිංහ සර්. නමුත් රටේ පැවතුණ තත්ත්වය එක්ක අවසාන මහා තරගය සැලසුම් කරගත්ත විධියට කරන්න ලැබුණේ නැහැ. ඒත් මේ ජයග්‍රහණය ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා.

මේ තරගයේ ජයග්‍රහණය වෙනත් අවුරුදුවල වගේ උත්සවශ්‍රී යෙන් සමරන්න බැරි වීම ගැන දුකක් නැද්ද?

වෙන අවුරුදුවල නම් අවුරුදු කුමරිය කුමරා තෝරන තරග ගැන ප්‍රේක්ෂකයෝ විමසිල්ලෙන්නේ ඉන්නේ. නමුත් මේ සැරේ රටේ පවතින තත්ත්වය එක්ක එවැනි සූදානමක් ප්‍රේක්ෂකයන්ට තිබ්බේ නැහැ. පවතින වයිරස් ව්‍යාප්ති තත්ත්වය ඉවර වෙන පාටකුත් තිබ්බේ නැති නිසා කොහොම හරි මේ තරගය කරනවා කියන තැන නාළිකාව හිටියා. ඒ නිසා අපි ඇවිදින විදිහ, මුහුණේ ඉරියව් පෙනෙන ලෙස වීඩියෝවක් සකස් කරලා එවන්න කිව්වා. අපිව තේරුවේ SMS වලින් විතරක් නෙවෙයි. විනිශ්චය මණ්ඩලයකුත් අපිව තෝරන්න සම්බන්ධවෙලා තිබුණා. දමිතා අබේරත්න මහත්මිය සහ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය තමයි විනිශ්චය මණ්ඩලය ලෙස අපිව තේරීම්වලට සම්බන්ධ වුණේ.

මේ තරගයට ඉදිරිපත් වෙන්න හේෂානිව යොමු කළේ කවුද?

මගේ අම්මට තමයි මාව මේ තරගයට දාන්න ලොකුම වුවමනාව තිබ්බේ. ගිය අවුරුද්දෙත් මේ තරගයට දාන්න කියලා අම්මා කිව්වා. ඒත් මම දැම්මේ නෑ. මේ සැරෙත් අම්මා කිව්වා බය නැතිව තරගයට දාන්න කියලා. අම්මගේ කැමැත්ත නිසා තමයි මම තරගයට ඉල්ලුම් කළේ. ඒත් මුලින්ම යන දවසේ තරගයට, ඇඳන් යන්න තිබුණ මගේ ඇඳුමත් පිච්චුණා. හැබැයි මම ඇඳුම පිච්චුණා කියලා ගෙදරට කියන්නේ නැතිව තරගයට ගියා.

තරගයේ පළමු තැන දිනන්න පුළුවන් කියන විශ්වාසය මුල ඉඳලම තිබුණද?

ලංකාවේ විවිධ පළාත්වලින් මේ තරගයට ඉල්ලුම් කරලා තිබුණා. මුල් පරීක්ෂණයට ගැහැනු ළමයි දෙසීයක් විතර සහභාගි වුණා. පළමු වටයෙන් තේරුණාට පස්සේ යම් විශ්වාසයක් තිබුණා. ඒ වුණාට බයකුත් තිබුණා. වට හතරකින් විතර ඉදිරියට ඇවිත් තමයි අන්තිම වටයට තේරුණේ. හැමෝම මොනම ක්‍ෂේත්‍රයකින් හරි දක්ෂයි. හැමෝම බොහොම සහයෝගයකින් වැඩ කළා.

ලස්සන විතරක්ම නෙවෙයි නේද මේ තරගයේදි බැලුවේ?

විසි අට දෙනාගෙන් ‍දොළොස් දෙනෙක් තෝරද්දි අපේ දක්ෂතාවයනුත් පෙන්නන්න තිබ්බා. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තනය හදාරනවා. දැන් මම තුන්වැනි වසරේ ඉගෙනුම ලබන්නේ. මට නර්තනයට, බෙර වාදනයට, කවි කියන්න දක්ෂතා තියෙනවා. ඉතිං මේ තරගයේ විවිධ දක්ෂතා තිබෙන අය හිටියා. යම් යම් දේ ප්‍රගුණ කළ අය තමයි අන්තිම ‍ෙදාළොස් දෙනාට තෝරාගෙන හිටියේ. මම උඩරට, පහතරට, සබරගමු නර්තනය එකතු වුණ නිර්මාණයක් තමයි ඉදිරිපත් කළේ.

ජයග්‍රහණය ලබා ගත්ත වෙලාවේ ඔබට එය දැනුණේ කොහොමද?

මම තරගයේ අවසන් දෙළොස් දෙනාගෙම හැකියාවන් බැලුවා. ඉතිං අපිට නාළිකාවෙන් කියලා තිබ්බේ පළමුවැනියාට වීඩියෝ ඇමතුමක් ගන්නවා කියලා. මට වීඩියෝ කෝල් එකක් ගනිද්දී මගේ අතින් ඒ ඇමතුම විසන්ධි වුණා. ඊට පස්සේ නැවැත දුරකථන ඇමැතුමක් අරගෙන තමයි මම කතා කළේ. ඉතිං මගේ අම්මා, තාත්තා හැමෝම ටීවී එක දිහා බලාගෙන අත්පුඩි ගහන්න ගත්තා. එයාලට හරිම සතුටුයි.

අවුරුදු කුමර, කුමරි තරගවලින් එළියට එන බොහෝ දෙනෙක්ට රංගන අවස්ථා හිමි වෙනවා. ඔබටත් රංගනයට එන්න බලාපොරොත්තුවක් ඇති?

දෙරණ වගේ නාළිකාවක හොඳ වැඩක් ලැබුණොත් අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා. රංගන ක්‍ෂේත්‍රයට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ දෙයක් නම් ඒ අවස්ථාවලට එකතු වෙන්න මම කැමැතියි.

හොඳ දේවල් තෝර ගන්නේ කොහොමද?

මම යමක් තෝරා ගනිද්දී මගේ අම්මා, තාත්තාගේ කැමැත්තත් බලනවා. මුලින්ම රංගනයට එද්දී ප්‍රේක්‍ෂකයන්ගේ හිතේ තරහක් ඇති වෙන දෙයක් මම කරන්නේ නැහැ. එන හැමදේම නෙවෙයි. හොඳ යමක් තෝරාගෙන කරන්න මට පුළුවන්.

ඒ කියන්නේ හේෂානි දෙරණ අවුරුදු කුමාරි තරගය රංගනයට එන්න පාලමක් කර ගන්නද හිතුවේ?

තරගයට එන්න ප්‍රධානම කාරණාව අම්මගේ සතුට. දැනට මට පුංචි හරි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව දියුණු කරගන්න මේ තරගය යම් රුකුලක් වෙයි කියලත් හිතුවා.

හේෂානි රංගනයට එනවට අම්මා තාත්තා කැමැතිද?

මම මීට කලින් ෆොටෝ ෂූට් කළා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම සම්බන්ධ වුණා. මුලින් නම් අප්පච්චි කැමැති වුණේ නැහැ මම ඒවට සම්බන්ධ වෙනවට. ඒත් ඒ දැන්වීම් දැකලා ගමේ අය තාත්තාට කියද්දී එයත් සතුටු වුණා. මම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න ගියත් අම්මත් එක්ක තමයි යන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. අම්මා ඉදිරියටත් මාත් එක්ක හැම දේකදීම පස්සෙන් ඉඳියි.

හේෂානිගේ පෞද්ගලික ජීවිතේ විස්තරත් කියමු.

මට ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි. අක්කා මානව සම්පත් කළමනාකාරවරියක්. අයියා විදේශගතව ඉන්නේ. මගේ අප්පච්චි වරායේ වැඩ කළේ. දැන් විශ්‍රාමිකයි. අම්මා විදුලිබල මණ්ඩලයේ වැඩ කළේ. ඉගෙන ගත්තේ යශෝධරා බාලිකා විද්‍යාලයේ. දැන් මට අවුරුදු 23යි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 3 වැනි වසරේ තමයි මම ඉගෙන ගන්නේ.

ඉදිරියේදී රංගනයෙන්ද නර්තනයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

මට මුලින්ම ආසාව තිබ්බේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් පවුලේ අය ඒකට කැමැති වුණේ නැහැ. පුංචි කාලේ ඉඳන් මම නර්තනයට කැමැතියි. දැනටත් මම ගෙදර නර්තන පන්තියක් කරනවා. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ වෘත්තීමය මට්ටමෙන් තෝරා ගන්න දේ ගැන හිතනවා. මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණේ. ඉතිං රංගනය පැත්තටත් ආසාවක් තියෙනවා.

දැන් හේෂානි පෙම්වතියක්ද?

මම තවම පෙම්වතියක් නෙවෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
Source - මව්බිම





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.