Apr
04
මුහුණු ආවරණ පැලදීම ගැන ඇ.එ. ජනපදයේ උද්ගතව ඇති විවාදසම්පන්න තත්වය ගැන මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ තැබූ සටහන පහත දැක්වේ.
කොරෝනා පැතිරීම පාලනයට මුහුණු ආවරණ පැළදිය යුතුද නැතිද පිලිබඳ විවාදයක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානය (CDC) මේ පිළිබඳව දැරුවේ කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සැකසහිත රෝගියෙක් රැකබලා ගන්නවා නම් හෝ යමකුට කැස්ස හෝ කිවිසුම් යනවා නම් මිස මුහුණු ආවරණ පැළඳිය යුතු නැති බවයි.
කොරෝනා වෛරසයේ ප්‍රමාණය මයික්‍රො මීටර 0.1 නිසා රෙදි මුහුණු ආවරණයකින් හෝ සාමාන්‍ය රෝහල් මුහුණු ආවරණයකින් ප්‍රයෝජනයක් නැති බව ඔවුන්ගේ තර්කය විය කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සැකසහිත රෝගියෙක් රැකබලා ගන්නා අයට හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට මුහුණු ආවරණ ලබා නොදීම නිසා ඇතැම් ඇමරිකානු සෞඛ්‍ය සේවකයන් ඉල්ලා අස් විය.). ඇ.එ. ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් මුහුණු ආවරණ විරෝධී සටනේ මුලිකයකු විය. ඇ.එ. ජනපදය මෙම තීරණය ගැනීමට එක් හේතුවක් වූයේ එරට වැසියන්ට ප්‍රමාණවත් පරිදි මුහුණු ආවරණ ලබා දීමට ඇති නොහැකියාව නිසා බව ද අදහස් පළ විය.
කෙසේ නමුත් චීන “රෝග මර්ධන සහ රෝග වැළක්වීමේ මධ්‍යස්ථාන (CDCP)” ප්‍රධානී මහාචාර්ය ජෝර්ජ් ගාවෝ සයන්ස් සගරාව සමග පැවති සාකච්ජාවකදී ප්‍රකාශ කලේ කොරෝනාවට එරෙහි සටනේදී මුහුණු ආවරණ නොපැලදීමට ගත් තීරණය බරපතල වරදක් බවයි. මේ අතර යුරෝපයේ කොරෝනා ව්‍යාප්ති පාලනයේ සාර්ථක වූ චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව ඊට පාදක කර ගත්තේ අනිවාර්ය මුහුණු ආවරණ පැළඳීම බව සහේතුකව පෙන්වීය (වීඩියෝව බලන්න).
සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් කොරෝනා වෛරසය ශරීරගත වීම පාලනය කළ නොහැකි වුවද එම වෛරසය ශරීරයේ ඇති අයකුගෙන් පරිසරයට මුදා හැරීම සැලකිය යුතු ලෙස (90-100%) අඩු වේ. ඊට හේතුව වෛරසය මයික්‍රො මීටර 0.1 වුවද එය පිටවන්නේ ඊට බෙහෙවින් විශාල බිඳිති (droplet) තුළ වීමයි. බිඳිති පිටවීම සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් වුව අවම වේ. සියලු දෙනා මුහුණු ආවරණ පලදින්නේනම් වෛරස පරිසරයට මුදා හැරීම අවම වී නිරෝගී අයට ශරීරගතවීම ද අඩු වේ.
රෝගී අයකුගේ ශ්වසන පද්ධතිය තුළ ඇති වෛරස වැඩි වශයෙන් පරිසරයට මුදා හැරෙන්නේ නාසය ඔස්සේ නොව මුඛය ඔස්සේය. එසේම නිරෝගී අයකුට වෛරස වැඩි වශයෙන් ශරීර ගතවන්නේ නාසය ඔස්සේ නොව මුඛය ඔස්සේය. මුහුණු ආවරණයක් පැළඳීම මගින් මුඛය ඔස්සේ සිදුවන වෛරස සංචරණය සැලකිය යුතු ලෙස අඩු වීමද එය පැළදීම වෙනුවෙන් පෙනී සිටි පර්යේෂකයන්ගේ තර්කයකි.
අවසානයේ ඊයේ සවස ඇමරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානය (CDC) සාමාන්‍ය ජනතාවට මුහුණු ආවරණ පැළඳීම නිර්දේශ කළේය. දිනකට ඇමරිකානු රෝගීන් 1000 වඩා මිය යෑමත් සමග චීන සහ චෙක් උදාහරණ සහිතව CDC ආයතනය බරපතල විවේචනයකට ලක් වීම මේ තීරණයට මූලික ලෙස බලපෑවේය. මේ ගැන අදහස් දැක්වූ ඇ.එ. ජනපද ජනාධිපතිවරයා පැවසුවේ CDC ආයතනය එසේ පැවසුවද තමන් මුහුණු ආවරණ පලදින්නේ නැති බවයි. මුහුණු ආවරණ පැළදීමෙන් තමන්ට විදෙස් ජනාධිපතිවරු, අගමැතිවරු, ආඥාදායකයන්, රජුන් සහ රැජිණන් සමග අදහස් හුවමාරු කර ගැනීමට දුෂ්කර වීම ඊට හේතුව බව ඔහු පැවසීය. කෙසේ නමුත් මීට ටික වෙලාවකට පෙර ට්වීට් පණිවිඩයක් නිකුත් කළ ඇ.එ. ජනපද ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ෆ් මුහුණු ආවරණ පළදින ලෙස සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියාය.