Feb
26
ක්‍රිකට් ලෝකෙ රත්කරපු මාලිංගගෙ ගැජට් එක

පසුගියදා නිමාවූ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ එක්දින සහ ටෙස්ට් යන තරගාවලි ද්විත්වයේදී පරාජයේ පතුලටම ඇද වැටී, විස්සයි -20 තරගාවලිය පමණක් තරග 2-1ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි -20 තරග සංචාරය තරග 2-1ක් ලෙස ජය ලබමින් සාර්ථකව නිම කිරීමට සමත්වුණි.
කරුණු කාරණා එසේ තිබියදී වෙනත් තරගාවලියන් හා සාපේක්‍ෂව තරගාවලිය ආරම්භයටත් පෙර සිටම ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව බොහෝ දෙනාගේ වැඩි අවධානය යොමු වූයේ ශ්‍රී ලංකා වේග පන්දු බළඇණියේ සිටි සුපිරි පැලැන්තියේ වේග පන්දු යවන්නකු වූ ලසිත් මාලිංග වසරකට අධික කාලයක නිහැ¾ඩියාවකින් පසු නැවතත් කරළියට පැමිණීම හේතුවෙනි. මාලිංගගේ සම්ප්‍රාප්තිය එසේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුවත්, ඔහුගේ පුනරාගමනය කණ්ඩායමට විශාල ශක්තියක් වූවාට සැක නැත.
එම හේතුව නිසාම මාලිංගගේ නව සැලසුම් සහ ක්‍රියා කලාපයන් පිළිබඳව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන් පසු වූයේද චකිතය මුසුවූ දැඩි උනන්දුවකිනි. මන්ද මාලිංග යනු කවදත් ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ නම ගිය වැඩක් කළ සහ කළ හැකි ක්‍රීඩකයකු බව බොහෝ දෙනා දන්නා නිසාය. එය වඩාත් තහවුරු කරමින් පසුගිය ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා විස්සයි -20 තරගාවලියේ මාලිංග පන්දු යවන අතරතුර තම සාක්කුවට අත දමන්නේ කුමන හේතුවක් නිසාද යන්නට ප්‍රශ්නාර්ථයක් සහිතව කාගේත් අවධානය යොමු විය. තරගය මදක් නතර කර විනිසුරුවරුන්ද ඒ ගැන පරීක්ෂා කිරීමට යුහුසුලු විය. එම අවස්ථාවේදී නොපැකිළිව ඉදිරිපත් වෙමින් තමා නිතර සාක්කුවට අත දැමීමේ හේතු පැහැදිලි කළ මාලිංග පැවැසුවේ තමා කලිසම් සාක්කුවේ අත් උණුසුම් කරන කුඩා උපකරණයක් තබා ගෙන සිටින බවත්, අත උණුසුම් කර ගැනීම සඳහා පන්දුවක් යැවීමට පෙර සාක්කුවට අත යොමන බවත්ය.
අනතුරුව කරුණු තේරුම් කර ගත් විනිසුරුවරයා මාලිංගගේ සාක්කුවට අත දැමීමේ අයිතිය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවසර ලබා දුන් අතර එවැනි උපකරණයක් භාවිත කිරීම නීතියට පටහැනි නොවන බව ඒ මොහොතේ තරග විස්තර විචාරයේ යේදී සිටි ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේද මතය විය. සීතල කාලගුණයක් පවතින අවස්ථාවන්හි අත් උණුසුම්කරණයක් භාවිත කිරීම මාලිංගගේ සාමාන්‍ය පුරුද්දක් බවත්, සෑම පන්දුවක්ම යැවීමට පෙර මාලිංග එසේ තම අත උණුසුම් කර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවත් ඕස්ට්‍රේලියානු විචාරකයන් වැඩි දුරටත් පැවැසීය.
ඕස්ට්‍රේලියානු විචාරකයන් එසේ පැවසූවද මාලිංග පන්දු යැවීමේදී ඔහුගේ අතේ ඉරියව්ව ගැන එදා කතා කළ බොහෝ දෙනා මෙදා කතා කළේ ඔහුගේ පන්දු යවන අත සාක්කුවේ දමන්නේ ඇයිද කියාය. ඔහුගේ එම උපක්‍රමය දැන ගන්නට බොහෝ දෙනා උනන්දු විය. එහෙත් පසුව හෙළි වූයේ එය ඔහුගේ කොණ්ඩා මෝස්තරය මෙන් විලාසිතාවකට කළ දෙයක් නොව තම කණ්ඩායම වෙනුවෙන් හා රට වෙනුවෙන් අත උණුසුම් කර පන්දුව යැවීමට කළ උත්සාහයක් බව නොවේද?
එක් එක් ක්‍රීඩකයන්ට ආවේණික වූ මෙවැනි පුරුදු අපි මීට පෙරද ක්‍රිකට් ඉතිහාසයේ දැක ඇත්තෙමු. එයට කදිම උදාහරණයක් සපයනුයේ ඕස්ට්‍රේලියාවේම ඇඩම් ගිල්ක්‍රිස්ට්ය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති 2007 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් ස්කොෂ් පන්දුවක් තම අත් ආවරණ තුළ රඳවා ගනිමින් පන්දුවට පහරදී වේගවත් ලකුණු 149ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ පෙර ගමන්කරුවා බවට පත් විය. එහිදී ගිල්ක්‍රිස්ට් පන්දු 104කදී දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 13ක් සමඟින් වේගවත් ලකුණු 149ක් රැස් කළ අතර එය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා ගත් ලකුණු ප්‍රමාණයෙන් අඩකටත් වැඩි අගයක් ගත්තේය. (ඕස්ට්‍රේලියානු මුළු ලකුණු සංඛ්‍යාව 281) එලෙස ස්කොෂ් පන්දුවක් භාවිත කිරීම ගිල්ක්‍රිස්ට්ගේ ඉනිමට කොයිතරම් උපකාරී වූවාද යන්න ගණනය කළ නොහැකි වුවත් එවැනි පන්දුවක් භාවිත කිරීමෙන් දැවැන්ත පහරවල් කරා යෑමට ආරම්භක පිතිකරුවාට විශාල පහසුවක් වූ බවට එවකට මාධ්‍ය මඟින් වැඩි වශයෙන් වාර්තා වන්නට විය.
කරුණු කාරණා එසේ තිබියදී ලසිත් මාලිංගගේ සාක්කුවට අත දැමීම පිළිබඳවත් සොයා බලන ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල් පෙරටු කරගත් ක්‍රිකට් ජාත්‍යන්තරය එදා ගිල්ක්‍රිස්ට්ගේ ක්‍රියාව පිළිබඳව සොයා බැලුවේ නැත. තවද පිත්තේ නොවැදුණු පන්දුවකට උඩ පන්දුවක් රැක ගත්තා යැයි විනිසුරුවරයා ලබා දුන් වැරදි තීන්දුවට අසතුට පළ කිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට තරග 2ක් තහනම් කිරීමටද පසුබට නොවීය.
එවැනි පසුබිමකලෝක කුසලාන අවසන් මහා තරගයකදී ක්‍රිකට් ක්‍රීඩාවට පරිබාහිරව යමින් ස්කොෂ් පන්දුවක් භාවිත කරමින් ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දුවට පහරදීම පිළිබඳව කිසිදු සාධාරණත්වයක් දක්නට නොලැබුණත් ගිල්ක්‍රිස්ට්ගේ එම ක්‍රියාව නීති විරෝධි ක්‍රියාවක්ද එසේත් නැත්නම් නීති සහගත ක්‍රියාවක්දැයි කරුණු පැහැදිලි කිරීමට හෝ මේ දක්වාත් කිසිවකුත් ඉදිරිපත්ව නොමැති වීම පුදුමයට කරුණකි.