Jan
22
රතන හිමි කියන කතා පරස්පරයි - වික්‍රමබාහු කරුණාරත්න

ඔව්.
ඒ කැපවීමේ ප්‍රතිඵල අද තියෙනවද?
ගොඩක් ඒවාට විසඳුම් තියෙනවා.
සමහර ඒවා වෙලා නැහැ.
සමහර ඒවාට කල්ගත වෙලා.
ඒක මේ ආණ්ඩුවේ දුර්වලතාවක් නෙවෙයිද?
එහෙමම කියන්න බැහැ. මොකද මේ ආණ්ඩුවේ ප්‍රධානතම කාර්යය වුණේ ජනතාව බලාපොරොත්තු වුණේ ජාතික ප්‍රශ්නය විසඳලා ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී කිරීමයි. ඒ වගේම රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහස ඇති කිරීම වගේ දේවල්. නමුත් ජනතාව ආර්ථික වශයෙන් ලොකු පෙරළියක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වුණාට ආයෝජන වැඩි කරලා රටේ යහපතට වැඩ කරයි කියලයි ජනතාව හිතුවේ.
ද ජනතාව බලාපොරොත්තු වූ ඉලක්කය අසාර්ථකයි. මහින්ද යුගය මීට වඩා හොඳයි කියලා ඇතැම් පිරිස් කියන්නේ එහෙමයි.
මහින්ද රාජපක්ෂ මහතාට තිබුණේ වෙන ජන මතයක්. සිංහල ජාතිය ආරක්ෂා කිරීමට යුද්ධය ඉවර කළ නිසා එයා හිතුවේ අසීමිත බලයක් එයාට තියෙයි කියා. බහුතරය සිංහල නිසා එයා මහ රජෙක් විදියට තමයි හිටියේ. එයාගේ වන්දිභට්ටයෝ කල්පනා කරමින් නටමින් එයාගේ ඔළුව කෑවා. එයාව රෝගියෙක් බවට පත් කළා. මහින්දව රජෙක් කළා. එයා හිතුවේ හැමදාම එයාට ඉන්න පුළුවන් කියා. අද ඇතැම් ජනතාව මහින්දට කැමැත්ත ප්‍රකාශ කළත් එදා මේ රටේ බහුතරය මහින්දට විරුද්ධ වුණා. ඉතින් ජනතාව කෙටි මඟක් ඔස්සේ තමයි විසඳුම් දකින්නේ. ඒක වැරැදියි.
ඒකාබද්ධය කියන විදියට යුද්ධය ඉවර කළ මහින්ද රජෙක් විදියට දකින එක වැරැදිද?
ඒකාබද්ධය එහෙම කියයි. නමුත් ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මේ රටේ පවතින ව්‍යවස්ථාව අනුව රජෙක් පත් වෙන්නේ නැහැ. සාමකාමී ජනතාව අතරින් පත්වෙන තම වර්ගයාගේ කෙනෙක් තමයි රටේ නායකයා කරගන්නේ. එහෙම කෙනකුට සහාය දෙයි. රජ පාට් එකෙන් ආවොත් කොහොමත්ම නැහැ. ඔන්න මහින්ද කිව්ව නම් මම ඔයාලගේ කෙනෙක් ඔයාලව බේරගත්ත කෙනා මම, එහෙම කියලා පාඩුවේ හිටියානම් මහින්ද දිනනවා. ඒත් එයා ආපු විදියට එයාව ජනතාවට එපා වුණා.
මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ගමනක යනවා. එහෙම තමයි ආණ්ඩුව කියන්නේ. නමුත් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩමයි?
එහෙමම කියන්න බැහැ. මේ ආණ්ඩුව පත් වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරන්න. ඒ විප්ලවයේ මූලික ලක්ෂණ ඉදිරියට ගමන් කරනවා. ව්‍යවස්ථාව වෙනස් කිරීමට දැනට කටයුතු කරගෙන යනවා. විධායක ජනාධිපති ධුරය ඉවත් කරනවා කියන මතයේ ප්‍රධාන පක්ෂ දෙකම ඉන්නවා.
සමහරු විවිධ මත කියනවා. ඒත් නායකයන් දෙදෙනාම මුල් මතයේ තවම ඉන්නවා. ජාතික ප්‍රශ්නය විසඳීමට සාකච්ඡා යනවා. සමහර දේවල් අලුත් වෙනවා. හොඳ දේට එකඟ වෙනවා. නරක දේට අපි විරුද්ධ වෙනවා.
දෙමළ ජනයාගෙන් දිනාගත් විශ්වාසයත් ආණ්ඩුව කඩ කරලා. ඒක ඇත්තද?
දෙමළ ජනයාගේ විශ්වාසය ටිකක් පළුදු වෙලා යම් යම් කටයුතු නිසා. ඒවා ගැන අපි හඬ නඟලා තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථා වෙනස කඩිනම් කළ යුතුයි. ඒ විප්ලවයේ අපි ඉන්නවා. මේ ආණ්ඩුවේ තනතුරු මට නැහැ. ළඟ සබඳකමකුත් නැහැ. නමුත් ආණ්ඩුවට විරුද්ධව දුර්ජන විවේචන කළාම සාධාරණ පැත්තෙන් බලලා සාධාරණ විවේචන දෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවෙන් තවත් වැඩ ගත යුතුයි කියන විශ්වාසය ජනතාවට තියෙනවා. අපි ඒ ජනතා විශ්වාසය උඩ අරගල කරමින් රටට හොඳ දේ අත්කර දෙනවා.
ද ඔබ කියන විශ්වාසය ආණ්ඩුව තුළ නැහැ. ප්‍රියංකර ජයරත්න නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වුණා. රතන හිමි ස්වාධීන වෙලා. තව අය කලකිරීමෙන්. එතකොට කියන තර්කය බොරු නේද?
මේ අයගෙන් හුඟ දෙනෙක් ජාතිවාදයට හසුවෙලයි ඉවත් වෙන්නේ. රතන හාමුදුරුවෝ වුණත් කියන ප්‍රකාශ පරස්පරයි. උන්වහන්සේ මටම කියලා තියෙනවා දෙමළ ජනතාව ගැන කියන කතාව හරි. මම ඒක දැනගෙන හිටියේ නැහැ. මම ඒ පළාතට ගිහින් බැලුවම තමයි ඇත්ත දැනගත්තේ කියලා. එහෙම කියපු රතන හිමි බලය බෙදීමට විරුද්ධව කතා කරනවා. වෙනත් මඟක යනවා. මට පේන්නේ නැහැ අයින්වෙලා යන අය වඩා ප්‍රජාතන්ත්‍රවාදී, වඩා විචිත්‍රවත්, වඩා වාමගාමී ක්‍රියාවකට යන්නේ නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරන මෙහෙයුමකටයි ඔවුන් සැරසෙන්නේ කියායි මත පළ වෙන්නේ.
ඒවා මතනේ. කොහොමත් ඒ අය අන්තිමට වැටෙන්නේ එකම කුණු ගොඩකට. එතැනට වැටිලා ජාතිවාදය ගැන කතා කරයි. ජාතිවාදය අවුස්සන්න මටත් පුළුවන්. නමුත් මහ ලොකුවට කෑ ගහලා ගොන්පාට් දාලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.
2017 අවසානයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළනවා කියා කිව්වා. මේ කාරණාව සුළුකොට තකන්න එපා කියා ඔබත් කිව්වා. ඔබ මේ ආණ්ඩුව බිඳ වැටීමේ යම් පෙරනිමිත්තක් දකිනවද?
මේ ආණ්ඩුවේ නායකයෝ හරිහැටි කල්පනා නොකළොත් ෆැසිස්ට්වාදී අය ලොකු හානියක් කරලා ඔය දේ කරන්න පුළුවන්. ඒක බෑ කියන්න බෑ. මහින්ද එහෙම නොකරයි කියලා හිතන්නත් බැහැ. ජනතාව වුණත් රවටාගන්න පුළුවන්. ජනතාව වුණත් හැම වෙලාවේදීම බඩේ ගින්දර තියාගෙන ඉන්නේ නැහැ. ඔවුන් ඉවසන්නේ ටික කාලයයි. නායකයෝ සැප විඳිනකොට ඒ අය ජොලි ටි්‍රප් දානවා නම් ජනතාවට කිසි දෙයක් නැත්නම් ජනතාව වෙන අය කියන දේවල් අහන්න ගන්නවා. මේ නායකයෝ මොන මොනවා හරි කරන්න හදනවා කියලා සාධාරණව ජනතාවට පේනවා නම් ඒ අය මහින්දට ආණ්ඩුව පෙරළන්න දෙන්නේ නැහැ.
එහෙම දෙයක් පේන්න තියෙන නිසයි මහින්ද ආණ්ඩුව පෙරළන්න හදන්නේ.
සමහර විට මහින්දට එහෙම පේනවා ඇති. හැබැයි ආණ්ඩුව සැබෑවටම ජනතාව එක්ක ඉන්නවා නම් ජනතාව ආණ්ඩුව ආරක්ෂා කරයි. නැත්නම් ආණ්ඩුව තමන්ම කපෝති කර ගන්නවා. ජනතාවට පේන විදියට මේ ආණ්ඩුව ඇතුළෙත් හොරු ඉන්නවා. මුන් සැප විඳිනවා කියලා ජනතාව අනිවාර්යයෙන්ම නැඟී සිටිනවා.
මේ ආණ්ඩුවට ජනතා විශ්වාසය ගොඩනඟා ගැනීමට පුළුවන් වෙයිද? මොකද දැනටමත් ජනතාව ආණ්ඩුවට විරුද්ධ මතයකයි ඉන්නේ.
මේ නායකයෝ දෙන්නා බුද්ධිමත්ව වැඩ කරන අය. මම හිතනවා ඔවුන් හරියට වැඩේ කරයි කියා. රනිල් වික්‍රමසිංහ කියනවා සමාජීය ධනවාදයක්, සමාජ හැඟීම් තියෙන ධනවාදයක් ඇති කරනවා කියා. එවිට ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තමයි මේ අය යන්නේ. ජනතාවට මෙච්චරයි දෙන්න පුළුවන් කියා කියමින් තමයි මේ ගමන යන්නේ කියා. ආණ්ඩුව ඒ කියන විදියටම කරනවා නම් ආරක්ෂා වෙයි. නැත්නම් විරුද්ධ බලවේග ජනතාව එක්ක එකතුවෙලා ආණ්ඩු විරෝධී බලවේග ගොඩනැඟෙන එක වළක්වන්න බැහැ.
මෛත්‍රිපාල ජනාධිපතිවරයා දෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කිව්වාට පක්ෂ ඇතුළෙන් ඔහුට ආරාධනා එනවා. ජනාධිපතිතුමා කියපුවා කරන්නේ නැද්ද? මේකද මේ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය.?
පැහැදිලිවම චන්ද්‍රිකා මැතිනියත් කියනවා එහෙම දෙයක් වෙන්න බැහැ කියලා. ජනාධිපතිතුමත් මේක ගැන මොකුත් කියලා නැහැ. මම තමයි මේ රටේ අන්තිම විධායක ජනාධිපති. එහෙමයි මෛත්‍රි මහත්තයා කිව්වේ. නමුත් විවිධ බලාපොරොත්තු තියෙන උදවිය රඟපෑම් බලමින් තම පැවැත්ම සඳහා නායකත්වය ඉදිරියේ ලකුණු දා ගන්නේ. ඡන්දයට එන්න ඕන නිසා මේ කතා තමයි පෙර මඟ ලකුණු විදියට දාගන්නේ. හැබැයි මෛත්‍රිපාල ජනාධිපතිතුමා තාම මේ ගැන මොකුත් කියලා නැහැ. වටේ ඉන්න අය කරන වැඩේ විගඩමක් විදියටයි මම දකින්නේ.
- මව්බිම