Oct
09
අම්මා තාත්තා නොකීවට ලෙඩේ දැනගෙන මැරෙනතුරු සිටි කවීෂා දුව
සඳ පායන්නේ මට සිසිල දීමටය. පිපෙන මල මට සුවඳ දේ. පවන මට සුවයක් දේ. ඉතින් මාගේ සිතේ කිසිදු දුකක් නැත. මේ වසර තුළ මා සියලු විභාගවලින් ජය ලබමි. ලකුණු ගනිමි. ඉන්පසු සෑමවිටම ජීවිතය දිනමි. දිනමි.
මතක සැමරුම් පොතක දොළොස් හැවිරිදි කවීෂා මදුරංගි සිසුවිය 2015 වසරේ දිනක ලියූ සටහනකින් කොටසක් වන අතර, මෙම සමරු සටහන් පොත හමුවූයේ ඇය මිය ගිය 2016 ඔක්‌තෝබර් මස 05 වන දින නිවස අස් කරද්දීය.
ඇය 2015.09.12 දින ලියන ලද දිගු සටහනක මෙසේ සදහන් විය. මගේ ජීවිතයේ විශාල වෙනසක් වූයේ එදාය. මා වෙනුවෙන් අම්මා තාත්තා පුංචි සාදයක්‌ද සූදානම් කර තිබුණා. මට අම්මා තාත්තා අයියා වගේම නෑදෑ හිතමිතුරන් තෑගිබෝග ගොඩක් ගෙනාවා. මම ජීවිතයට මුහුණ දෙනවා අද සිට….
මගේ දුව හරි අහිංසකයි. මලක් වගේ. එයාට දුකක් දුන්නේ නෑ. ඒත් අද එයා අපිට දුකක් දුන්නා. මේ දුක වාවන්නේ කොහොමද? දෙයියනේ…. කවීෂාගේ මව මාරි තෙරෙස් ආයාසයෙන් එසේ කීවද වරින් වර සිහි විසඥ වූවාය.
ප්ලැෂ්බැක් සංගීත කණ්‌ඩායමේ ගායක කිංස්‌ලි පීරිස්‌ගේ එකම දියණිය වූ කවීෂා මධුරංගි පීරිස් උපන්නේ 2004 ජනවාරි 9 වැනිදාය. ඇයගේ එකම සොයුරු කවිඳු මාලිංගයි. කවීෂා මාරවිල ශුද්ධ පවුලේ බාලිකා විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබමින් ජාතික මට්‌ටමේ සංගීත දස්‌කම්ද දැක්‌වූවාය.
මාසයක සංගීත ප්‍රසංග සඳහා ඉකුත් 28 දා ඉතාලිය බලා ගිය ප්ලැෂ්බැක් කණ්‌ඩායමේ ගායක කිංස්‌ලි පීරිස් හදිසියේම 6 දා දහවල් ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ සිය දියණිය පිළිබඳව කනවැකුනු ආරංචියෙන් වික්‌ෂිප්ත වෙමිනි.
ඔහු ‘ඉරිදා දිවයින’ට මෙසේ කීය. මම ලංකාවෙන් යන විට දුව සිටියේ පුද්ගලික රෝහලක. වරින් වර මාස තුනක් විතර පරීක්‌ෂණ කළා. බේත් ගත්තා. රට යන්න කලින් මම දුවව බලන්න රෝහලට ගියා. මම ඇහුවා දුවට මොනාද ගේන්න ඕනෑ කියලා. ”තාත්තා මට මොනවත් ගේන්න ඕනා නෑ තව දවස් තුන හතරකින් ටිකට් කපලා ගෙදර යනවානේ මම තාත්තට කෝල් කරන්නම්කෝ’‘ කියලා කිව්වා. දුව කවදත් සැහැල්ලූවෙන් ඉන්නේ. නිකමටවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවා නම් මම රට යන්නේ නැහැ. දැනට මාස 04 විතර කලින් දුවට කැස්‌ස හෙම්බිරිස්‌සාව තිබිලා බේත් ගන්න ගියාම දොස්‌තර මහත්මයා කිව්වා. පරීක්‌ෂණ වගයක් කරන්න ඕනෑ කියලා. ඒවා බලලා මාරිට කියලා තිබුණා, දරුවව කොළඹ රෝහලක නවත්තලා බේත් කරන්න කියලා. එදා අපි බය වුණා. දන්න උපරිමයෙන් බේත් කළා. පිළිකා රෝග තත්ත්වයක් මතු වෙලා කියලයි දැන ගත්තේ. අපි දුවට කිව්වේ නෑ රෝගය ගැන විස්‌තර. සිංහල බේත් කළා. පුද්ගලික රෝහලේ මාස 03 ක් විතර හිටියා. ඒත් බේර ගන්න බැරි වුණා.
කවිෂා දියණිය මතක සටහන් පොතේ 2016.08.29 දාතමින් මෙසේ ලියා තිබිණි. දොස්‌තර මහතා මාව රෝහලේ නවත්තන්න කිව්වා. මාව රෝද පුටුවේ තියලා අරන් ගියා. අවුරුදු 12 දී රෝද පුටුවේ යන්න වුණේ ඇයි කියා මට දුක හිතුණා. මගේ රෝගය ගැන අම්මි දැනගත්තු දා අම්මාට සිහි නැති වුණා. මට ඉන්ජක්‌ෂන් කටු ගහනකොට අම්මි අහක බලන් අ`ඩනවා. හැමදාම ලේ ගන්නවා. බේත් විදිනවා. මගේ දිග කොණ්‌ඩය යන්න ගත්තා. කොණ්‌ඩේ පීරද්දි අම්මා අඬනවා. තාත්තා කියනවා බේත්වලට කොණ්‌ඩේ ගියාට ආපහු එනවා කියලා. අම්මට, තාත්තට, අයියාට හරියට කෑමක් බීමක්‌වත් නෑ. මාත් එක්‌කම දුක් වෙවී ඉන්නවා.
අම්මා තාත්තා මට හරියට භාරහාර වුණා. කරන්න ඕන හැමදේම කළා. දවසක් ඩොක්‌ටර් කෙනෙක් තාත්තට කෝල් එකෙන් කිව්ව දෙය මට ඇහුණා. මම ගොඩා….ක්…. ගොඩාක් දුක් වුණා, මට සිද්ධ වෙන්න යන දේ ගැන.
කවීෂා සියලූ දේ ගැන දැන නොදන්නා සේ සිටි බව සටහන් පොතෙන් හෙළි වේ. ඇය මිය ගියේ ඉකුත් 05 වන දාය. එදින අලුයම නැගිට මුව දොවා නව ඇඳුමකින් සූදානම්ව රෝහලේ සැහැල්ලුවෙන් ගත කර ඇත්තේ තව දින කීපයකින් ගෙදර යා හැකි නිසාය. එහෙත් සියල්ල නොපිට පෙරලෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇගේ සියුමැලි වත නිසල විය. ඇයගේ සටහන් පොත සාක්‌ෂි දරන්නේ මවට – පියාට සොහොයුරුට, ඥාතීන්ට බෙහෙවින් ආදරය කළ බවකි. දෙමාපියන්ද ඇයට ලෝකය මනරම් කළ හැටි එයින් කියෑවේ. වසර 13කට ආසන්න කාලය මල් කැකුළක්‌වන් දරුවකු ඇති දැඩි කරන්නට දෙමාපියන් කොතරම් වෙහෙස දරන්නට ඇත්ද.. රටට දැයට වැඩදායක දරුවෙක් කරන්නට පෙරුම් පුරන්නට ඇතිද… අහිංසක මිනිසුන් බිලි ගන්නට මෙවන් අකාරුණික රෝග පැතිර යන්නේ ඇයි? පැවිදි පිරිස්, කලාකරුවන් විවිධ තරාතිරම්වල පිරිස් මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු අතිවිශාල ජනකායකගේ සෝසුසුම් මැද කවීෂා මධුරංගි දියණිය ඊයේ (08 දා) කටුනේරිය රෝමානු කතෝලික සුසාන භූමියේ දී මිහිදන් වූයේ මල් පොහොට්‌ටුවක් අකාලයේ වැනසී යන අයුරු සිහිපත් කරමිනි.
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්