Jul
03
බුකියේ ඡායාරුප ගිය ඉංජිනේරු සම්පත් එල්ලී මියගිය රහස හෙළි වූ හැටි

ඒ නොසිතූ ලෙස 96 වසරේදී අමරකෝන් ග්‍රාමසේවකවරයා ජීවිතයෙන් සමුගත් නිසාය. කුඩා දරුවන් තිදෙනකු සමග දිවිමග තනිවූ සීතා කුමාරි බොහෝ අසරණ වූවාය. ඇයට තිබූ එකම පිළිසරණ වූයේ සැමියාගේ විශ්‍රාම වැටුපයි. අමරකෝන්ගේ විශ්‍රාම වැටුප පරිස්සමින් වැය කරමින් ඇය දරුවන් හදා වඩාගත්තාය. හොඳින් ඉගැන්නුවාය. සීතා කුමාරිගේ තරුණ ජීවිතය දරුවන් වෙනුවෙන්ම කැප කිරීමේ ප්‍රතිඵල ඒ දරුවෝ ඇයට ලබාදුන්හ.
ලොකු පුතා සංජය ඉගෙනුම අවසන් කර දියතලාව රෝහලේ රැකියාවක් ලැබුවේය. සංජය ඉන්දික පුතු නොරොච්චෝලේ විදුලි බලාගාරයේ රැකියාවක් කළේය. බාල පුතු සම්පත් මේ තිදෙනාටම වඩා ඉහළට ඉගෙන ගත්තේය. වැලිමඩ බොරලන්ද වංගියකුඹුර ජාතික පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේය. ඉගෙනීමේ දක්ෂයකු වූ සම්පත් 2010 වසරේ සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ පරිගණක හා තොරතුරු තාක්ෂණය හැදෑරීමටයි. උපාධිය අවසන් කළ සම්පත් අගනුවරින් රැකියාවක් සොයාගත්තේය. ඒ කොහුවල පෞද්ගලික ආයතනයක පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙසිනි. ඔහු අගනුවර රැකියාව කළද හැම මාසයකම අම්මා බලන්නට ගෙදර ගියේය.
ඒ වනවිට ලොකු පුතු චම්පික මහගෙදර පදිංචිව සිටියද මේ දරුවන් තිදෙනාම ඔවුන් හදන්නට අම්මා කළ කැපකිරීම කිසිදා අමතක කළේ නැත.
පසුගිය ජුනි 06 වැනිදා ද සම්පත් පුරුදු ලෙස නිවාඩුවට ගෙදර ආවේය. දින කීපයක් ඔහු නිවසේ ගත කළේය.
“මට බණ්ඩාරවෙල ආච්චි අම්මා බලන්න හරි ආසයි අම්මේ.. ඊළඟ පාර නිවාඩු ආවාම අපි බණ්ඩාරවෙල යං…”
සම්පත් යළි කොළඹ එන්නට කලින් කීවේය. දවස් ගෙවුණේය. කොළඹ ගිය සම්පත් අම්මාට කීපවරක් දුරකථනයෙන්ද කතා කළේය.
“අම්මේ මට දෙවැනිදා, තුන්වැනිදා විතර ලොකු මුදලක් ලැබෙනවා. මං මේ කල්පනා කළේ වාහනයක් ගන්නවාද කොළඹින් ගෙයක් ගන්නවාද කියලා..”
එසේ කතා කළ විටෙක සම්පත් සීතා කුමාරිට කීවේය.
“ඔය ගංවතුර ගලන පැතිවලින් නම් ගෙවල් මොකටද පොඩි පුතා.. ඊට වැඩිය හොඳයි එහෙනම් වාහනයක් ගන්න..”
ඒ ගැන වැඩි තොරතුරු නොඅසා සීතා කුමාරි පුතුට කීවේය.
දවස් ගෙවුණේය.
ජුනි 17 වැනිදා කටුනායක පදිංචි සීතා කුමාරිගේ දෙවැනි පුතු ඉන්දිකට දුරකථන ඇමැතුමක් ලැබුණේය. ඒ සම්පත් රැකියාව කළ කොහුවල පෞද්ගලික ආයතනයේ ප්‍රධානියාගෙනි. ඇමැතුමින් කී පණිවිඩය වී ඇත්තේ සම්පත් 16 වැනිදා පාන්දර 3.45ට වැඩ නිමවා ගිය බවත්, පසුදා වැඩට නොපැමිණි බවත්ය. ඒ පණිවිඩය ලද වහාම ඉන්දික ලොකු අයියා චම්පිකට ඇමැතුමක් ගත්තේ ඔහු වැලිමඩ ගෙදර සිටින නිසාය.
“අයියේ.. මල්ලි ගෙදර ආවද..? අද වැඩට ඇවිත් නෑ කියනවා..”
ඒ වනවිට චම්පික රැකියාවේ යෙදෙමින් රෝහලේ සිටි නිසා අම්මාට ඇමැතුමක් ගත්තේය.
“සම්පත් ගෙදර ආවද අම්මේ..?”
අම්මාගේ උත්තරය ‘නෑ’ වීමත් සමගම චම්පික මෙන්ම ඉන්දිකද කලබල වුණේය. ඒ කිසි විටෙකත් සම්පත් මෙසේ නිහඬව සැඟවී දුරකථන නිවා නොසිටින නිසාය.
රැකියාවට යෑමේ ඒමේ පහසුවට සම්පත් කිරුළපන උද්‍යාන පාරේ නවාතැනක නැවතී සිටියේය. පැපිලියානේ බෝඩිමක හිඳි ඔහු එම ස්ථානයට පැමිණ තිබුණේ මෑතකයි. සම්පත් එදා බෝඩිමට ගොස් තිබුණේද නැත.
සම්පත්ගේ අයියලා සහ ඥාතීහු දන්නා කියන තැන්වල ඔහු සොයන්නට ගත්හ. ඔහු වැඩ කළ සේවා ස්ථානයෙන් සම්පත්ගේ අතුරුදන් වීම පිළිබඳ කොහුවල පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි.
“අපි 17 වැනිදා මල්ලී හොයලා නැති හින්දා 18 වැනිදා වැලිමඩ පොලිසියට පැමිණිලි කරන්න ගියා. පොසොන් පෝයට දවස් දෙකක් නිවාඩු හින්දා සඳුදාට ඇවිත් පැමිණිල්ල දාන්න කිව්වා. ඊට පස්සේ සඳුදා තමයි ආයෙත් අපි වැලිමඩ පොලිසියට ගිහින් සම්පත් පුතා අතුරුදන් වෙලා කියලා පැමිණිලි කළේ.”
සීතා රංජනීට වැඩිමල් පුතුන් දෙදෙනාට සේ දුව පැන සම්පත් සොයන්නට බැරිවුණත් ඇය දේවාල ගාණේ ගොස් භාරහාර වුණාය. බෝධි පූජා තිබ්බාය. සම්පත්ගේ සහෝදරයන් විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමටද සම්පත්ගේ අතුරුදන් වීම සම්බන්ධව සටහනක් ලියා තිබුණේ ඔහු ගැන දන්නා අයෙක් වෙතොත් තොරතුරු දන්වන ලෙස ඉල්ලමිනි. කොහුවල ප්‍රදේශයේ දැන්වීම්ද ඇලෙව්වේය. ඒත් ඔවුනට කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත.
“24 වැනිදා බෙලිහුල්ඔය සමනල වැව පොලිසියට සවස 4.30ට විතර නාඳුනන දුරකථන ඇමැතුමකින් කියලා සුරතලී ඇල්ලට ඉහළ කැලෑවේ ගහක කෙනෙක් එල්ලිලා ඉන්නවා කියලා. ඔය ආරංචිය චම්පික පුතාට ලැබිලා එයා ගිහින් තියෙනවා පොලිසියත් එක්ක එතෙන්ට..”
බදුල්ල-කොළඹ පාරේ සුරතලී ඇල්ලට මීටර් 200ක් පමණ ඉහළින් වූ එම ස්ථානයට ඇල්ල අසල දුර්ගය නගින්නට අපහසු නිසා සුරතලී ඇල්ලට ඉහළින් නන්පේරියල් වතුයායට අයත් මරංගහවෙල වත්ත ඔස්සේ කිලෝමීටර් 3ක පමණ දුරක් බළන්ගොඩ පොලිසියේත්, සමනල වැව පොලිසියේත් නිලධාරීහු, පොලිස් සොකෝ අංශ කණ්ඩායමක්ද, බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයාද ගියහ. ඒ සමග සම්පත්ගේ ලොකු අයියා ඉන්දික ඇතුළු ඥාති පිරිසක්ද වූහ.
ඒ වනවිට ගසෙහි එල්ලෙමින් තිබූ සිරුර නරක් වී දුගඳ පැතිරෙමින් තිබුණි. ඉන්දික ඇතුළු ඥාතීන් ඒ සම්පත් බවට හඳුනා ගත්හ. මහෙස්ත්‍රාත්වරයා සිරුර එහිම නිරීක්ෂණය කොට බැමි නොලිහා අත්ත කපා සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත යොමු කර අදාළ වාර්තා ගන්නට නියෝග කළේය.
සම්පත් මියයන අවස්ථාවේ අත් කොට කමිසයක් හා දිග කලිසමක් ඇඳ සපත්තු මේස් දමා සිටියේය. ඔරලෝසුවක්, බැංකු කාඩ්පතක් හා මුදලින් රුපියල් අටදහස් හයසිය හතළිහක මුදලකුත් ඔහු ළඟ තිබුණේය.
ඉතා දුෂ්කර අයුරින් සිරුර ඇල්ලෙන් පහළට ගෙන ආ අතර ඒ වනවිට කිසිදු වන සතකු එහි පැමිණ නොසිටි නිසාදෝ සිරුර සුරැකිව තිබි ඇත.
“පස්සේ අපිත් කොළඹ ආවා. සම්පත් පුතාව රැකියාවට දාපු එයාලගේ ළඟම යාළුවා කිව්වා සම්පත් මේ ආයතනයේම වැඩ කරන ගැහැනු ළමයෙක් ගැන බලාපොරොත්තුවෙන් හිටියා, ඒ ගෑනු ළමයා කැමැති නෑ කියලා. මට ඕන වුණා ඒ ගෑනු ළමයා හම්බවෙන්න.
ඉතින් පුතාගේ යාළුවට කිව්වත් එයා කීවා ඒක කරන්න බෑ, එයත් මොනවා හරි කරගත්තොත් කියලා. මගේ පුතාට මෙහෙම ගිහිල්ලා සියදිවි නසාගන්න තරම් වෙන ප්‍රශ්නයක් නම් තිබ්බේ නෑ. මම අනන්ත අප්‍රමාණ මහන්සි වෙලා මේ දරුවන්ට උගන්නලා මේ තැන්වලට ගෙනාවේ. මගේ පුතාට ඇත්තටම මොකද වුණේ කියලා හෙළි කරලා දෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ.”
බාල පුතුට අපමණක් ආදරය කළ අම්මා කෙනකුගේ හදවතේ දුක වචන කරන්නට බැරි තරම්ය. ඊටද මේ අම්මාගේ මුළු ලෝකයම වූයේ මේ දරුවන් තිදෙනාය.
සම්පත් අවසන් ගමන් ගියේය. ඒත් ඔහුගේ මව කියන්නේ පුතුට දිවිනසා ගැනීමට හේතුවක් නැති බවත් මෙය අභිරහසක් බවත් කියාය. නමුත් සම්පත්ගේ ෆේස්බුක් ගිනුමේ ඔහු අතුරුදන් වූ 17 දා පාන්දර 3.39ට කෙනෙකු වෙනුවෙන් තැබූ සටහනක් දිස්වෙයි. එම සටහන අවසානයේ ඇත්තේ වීරයන් මිය ගියත් මරණය නියත වුවත් ආදරය සදාකාලික බවයි.
මුලාශ්‍ර - රිවිර