Jun
29
ඇගිල්ලෙන් අනිමින් නීතිඥයාට උපදෙස් දුන් පවිත්‍රාට පත්තුවුන පතුවිල්ල

නඩුවට අදාළ පාර්ශ්ව සිය නීතිඥවරුන්ට උපදෙස් ලබාදෙන්න ඕනෑ අධිකරණ නඩු කටයුතු සිදුකරන අතරතුරදී නොවේ. අධිකරණයෙන් පිටතදියි. කිසිම කෙනකුට සිය නීතිඥවරුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන උපදෙස් දෙන්න අධිකරණයට ඉඩ දෙන්න බෑ.
ඒක කාටත් එකයි. මේ නඩුවට විශේෂත්වයක් දක්‌වන්න අධිකරණයට බෑ. පැමිණිලිකාරිය නීතිඥවරියක්. ඒ නිසා උසාවියේ හැසිරෙන හැටි අනිත් අයට වඩා හොඳට දැනගන්න ඕනෑ යෑයි ද අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය එහිදී මන්ත්‍රීවරියට අවවාද කරමින් පැවසුවාය.
බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් පදිංචිය සඳහා මසකට රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ කුලී පදනම මත මන්ත්‍රීවරිය විසින් පසුගිය වසරේ නොවැම්බර් මස ලබාගෙන තිබූ බවත් එකී නිවසේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමේ හේතුව මත ඇය එම නිවස හිමිකරුට ආපසු ලබා දී ඇති බවත් පැමිණිල්ලෙන් කියෑවුණි. මන්ත්‍රීවරිය විසින් රුපියල් ලක්‍ෂ 24 ක අත්තිකාරම් මුදලක් ඒ සඳහා ගෙවා ඇති අතර එම මුදලින් ලක්‍ෂ 20 ක් තමාට ආපසු ලබාදෙන ලෙසට ඇය නිවස හිමිකරුට පවසා ඇත.
මාස හයක් ඉක්‌ම යනතුරුත් මුදල ආපසු ලබා නොදීම නිසා කළ පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ප්‍රසන්න ගාර්දී පුංචිහේවා නමැත්තාට එරෙහිව රුපියල් ලක්‍ෂ 20 ක් වංචා කිරීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබිණි. එම නඩුව ඊයේ කැඳවූ අවස්‌ථාවේ සිය නීතිඥවරුන් සමඟ අධිකරණයට පැමිණි මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කනිෂ්ඨ නීතිඥවරයකුගේ ශරීරයට ඇඟිල්ලෙන් ඇන ඇන උපදෙස් ලබාදෙන අයුරුත් ඔහු අධිකරණ ශාලාවේ කෙළවරකට කැඳවාගෙන ගොස් උපදෙස් දෙන අයුරුත් නිරීක්‍ෂණය කළ අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය ඇයට එලෙස අවවාද කළාය.
සතියක් ඇතුළත රුපියල් ලක්‍ෂ 2 ක මුදලක් පැමිණිලිකාරියට ගෙවන ලෙස නියම කළ අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය ජනවාරි මසට පෙර ඉතිරි ලක්‍ෂ 18 ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළාය.