Jul 24

“හිරගෙදරදී මගේ කෑම වේලට පුසෙක් දමා තම්බා කන්න දුන්නා”- ඇමති තෙවරප්පෙරුමගෙන් තීරණාත්මක ලිපියක්

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එස්.බි. නාවින්න අමාත්‍යවරයා වෙත තීරණාත්මක කරුණු රැසක් ඇතුළත් ලිපියක් යවා තිබෙනවා.

පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් ලියා ඇති එම ලිපිය මගින් දේශපාලනයේ කතාබහට ලක්වන කරුණු රැසක් අභියෝගයට ලක් කර තිබෙනවා.

එම ලිපියෙන් තමන් විඳින ලද සිර ගෙදර අත්දැකීම් පිළිබඳව ද සිහිපත් කර ඇති පාලිත තෙවරප්පෙරුම මහතා හිරගෙදරදී තම කෑම වේලට පුසෙක් දමා තම්බා කන්න දුන් බවද අවධාරණය කර තිබෙනවා.

එම ලිපිය පහතින් කියවිය හැකියි.

 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා
සංස්කෘතික කටයුතු අමාත්‍ය,
ගරු එස්.බි. නාවින්න මැතිතුමා,
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
8 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

හිතවත් ගරු අමාත්‍යතුමණි,

ඔබතුමා කල ප්‍රකාශය හා බැඳේ

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත් වූ දා සිට මා ඉතා දැඩි විශ්වාසයකින් පසු වුයේ කෘතහස්ත අත්දැකීම් බහුල දේශපාලඥයකුගේ නායකත්වයෙන් යුතු අමාත්‍යංශයක වගකීව යුතු කාර්යය භාරයක් ඉටු කිරීමට අවස්ථාව උදාවනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

උක්ත ධුරය භාරගෙන මේ වන විට මාස 4ක කාලයක් ඉක්මවා ගොස් ඇත්තේ ඇසි පිය හෙලන වේගයෙනි. මේ කාලවකවානුව තුල ජනතා හිතකාමී දේශපාලඥයෙකු ලෙස මා අමාත්‍යංශයට ලබා දුන් ආදර්ශයන් බොහෝය. මාගේ වැඩ භාරගන්නා උත්සවයෙන් මා අමාත්‍යංශයට දුන්නේ ආදර්ශයක් බැව් මාගේ පෞද්ගලික විශ්වාසය යි. සම්ප්‍රදායික ලෙස අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ වැඩ භාරගැනීමේ උත්සව අවස්ථාව වල ඊට අදාළ සියලු විය හියදම් දරනුයේ අදාළ අමාත්‍යාංශයෙන් වුවද එම සම්ප්‍රදායික සංස්කෘතියට පටහැනිව මාගේ පෞද්ගලික ප්‍රතිපාදන වලින් එම කාර්යයන් මා ඉටු කොට විදහා දැක්වුයේ “ඔවදනට වඩා ආදර්ශය උතුම්” යන තේමාව පෙරදැරි කරගෙනය.

අමාත්‍යාංශයෙන් ලැබීමට නියමිතව තිබු ලක්ෂ 280ක් පමණ වටිනා නිල රථය ස්තුති පුර්වකව ප්‍රතික්ෂේප කලේ රටේ සිටින කලාකරුවන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා යෙදවීමට බව දන්වන අතර, කුලී පදනම මත නිවසක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කලෙත්, පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ පෞද්ගලික ආරක්ෂාව ලබා නොගත්තෙත්, ජනතා වාදී දේශපාලන න්‍යාය පත්‍රයකට මා කටයුතු කරන බැවිනි.

කවදත් අසාධාරණයට, අයුක්තියට ලක්වන තැලෙන, පැගෙන අහිංසක ජනතාවගේ දෙපා මුල රැඳෙන අව්‍යාජ දේශපාලන ගමන් මඟින් බිඳක් ඔබතුමා හමුවේ තැබීමට මා තීරණය කලේ ජනතාව දේශපාලනික හා සමාජීය වශයෙන් ප්‍රතික්ෂේප කල දේශපාලඥයෙකුට මාගේ නිකැළැල් දේශපාලන දිවිය සසඳා තිබු වගකිම් විරහිත ප්‍රකාශයේ සත්‍ය කරුණු කිහිපයක් සඳහන් කොට ඔබ තුමා එළඹ ගෙන ඇති වැරදි පුර්ව නිගමනයන් නිවැරදි කිරීමේ පරම පිරිසිඳු චේතනාවෙන් විනා කිසිවෙකුගේ දේශපාලන දිවිය අපහසුතාවයට පත් කරලීමේ අරමුණින් නොවන බැව් සඳහන් කරනු කැමැත්තෙමි.

2002 වසරේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඇරඹුන ගමන් මග අද වන විට වසර 15 ක තරම් කාලයකට පැමිණ ඇත. ප්‍රාදේශීය සභාවේ කිසිඳු වරප්‍රසාදයක් හෝ නිල රථයක් හෝ ලබා නොගෙන (තිබු නිල රථය හෝ පරිහරණය නොකර) ජනතාව මා කෙරෙහි තැබූ ඒ අචල නිර්මල විශ්වාසය උපරිමයෙන්ම රකිමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදවන විට අපරාජිත දේශපාලඥයකු ලෙස ඉදිරියට යෑමේ අවස්ථාව මා හට හිමි වී ඇති බැව් ඔබතුමාගේ දැන ගැනීම පිණිස සඳහන් කරනු කැමැත්තෙමි. මේ වනවිට වසර 15ක පමණ දේශපාලන ඉතිහාසය තුල මා තරඟ කල එකදු මැතිවරණයක් සම්බන්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ වාර්තා වී තිබේ ද?. මැතිවරණ නිතී උල්ලනගනය කිරීමක් ගැන කිසිඳු සිද්ධියක් හෝ තිබේ ද?. පිළිතුර නැත යන්නයි.

අද ඔබ ඇතුළු ඇතැම් පිරිස් තෙවරප්පෙරුම පා දඩ දේශපාලන චරිතයකට සමාන කිරීමට උත්සාහ ගනිමින් සිටීම සැබැවින්ම සත්‍ය වසන් කොට වීම ඛේදජනකය. අප යහපාලන ආණ්ඩුවක් බිහි කිරීම තුල අපරිමිත කැපකිරීම තුලින් බිඳක් හෝ මතක් කර දීමට මෙය සුදුසු අවස්ථාවක් බව මාගේ විශ්වාසයයි. මාගේ දරුවන් දෙදෙනෙකුගේ ජිවිත යහපාලන රජය වෙනුවෙන් පුජා කොට දින 400ක් පමණ පක්ෂය වෙනුවෙන් සිරබත් කමින් ලෝක ඉතිහාසයේ පළමු වරට හිර කරුවෙකු ලෙස මහා පාරේ උත්ඝෝෂණය කරමින් රාජපක්ෂ රෙජීමයේ රාජ්‍ය මර්ධනය හමුවේ දනින් නොවැටී, නොසැලී කටයුතු කරමින් දින 100 ආණ්ඩුවේත් දැඩි කැපකිරීම් කරමින් අප යහපාලන ආණ්ඩුව ගොඩ නැඟූ ආකාරය එදා රාජපක්ෂ රෙජීමයේ අවශ්‍යතා වෙනුවෙන් නොපෙනී සිටි අයට අරුමයක් නොවේ. අප මෙරට තුල යහපාලන ආණ්ඩුවක් ප්‍රතිස්ථාපනය කරේ මේ රට නිලධාරීවාදයට යටත් කිරීමට නොවන බැව් පැහැදිලිවම සඳහන් කිරීමට කැමැත්තෙමි.

තවද රාජපක්ෂ පාලනයේ රාජ්‍ය මර්ධනය හමුවේ දේශපාලන පලිගැනීම් මත පැමිණිලිකරු වන මාව දින 400ක් සිර ගත කර විත්තිකරු සමාජ ගත කළේය.එතැනින් නොනැවතී සිර ගෙදරදීත්, මාගේ කෑම වේලට පුසෙක් දමා තැම්බූ අල හොද්ද බත් පතට දෑස් ඉදිරියේදී බෙදා කෑමට ලබා දෙමින් හිර ගෙදර අපායක් බවට පත් කළේය.

එම පළිගැනීම් මත අපා දුක් විඳිමින් මෙම දින ගණන ගත කළේය. නඩුවෙන් නිදහස් කරන බවට නඩු අංක පවා එදා රජයේ බලධාරීන් ඉල්ලා සිටියත් කිසි විටත් ජීවිතය දක්වා සිර ගත කලත් පක්ෂය හා ආදරණිය ජනතාව වෙනුවෙන් වරප්‍රසාද වලට පාවා දීමට කටයුතු කළේ නැත.

බලයට කැමති දේශපාලඥයින් කර ඇති මහා පරිමානයේ දුෂණ වසා ගැනීමට හා එම චෝදනා වලින් නිදහස් වීම සඳහා ඇතැම් දේශපාලඥයින් ඡන්ද දායකයා අමතක කරමින්, පක්ෂ මාරුවීම් සිදු කර ඇත. ඒ අනුව මා එදා ගත් එම තීරණය අද කොන්ද කෙලින් තබා ගෙන වැඩ කල හැකි ජනතා සේවයෙක් වශයෙන් අද සමාජය තුල සිටි. මා සිතන ආකාරයට සියලු දේශපාලඥයින්ට මෙය ආදර්ශයට ගෙන වංචාව, දුෂණය, බොරුව නොමැතිව මහජනතාවට සේවය කිරීමට හොඳ මහජන නියෝජිතයෙකු වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

ඇතැම් උද්ධච්ච නිලධාරීන් ඉදිරියේ දේශපාලඥයින් නිවට වී නියාලු වී යෑම යහපාලනය නොවන බැව් මාගේ දැඩි විශ්වාසයයි. ප්‍රායෝගික දේශපාලන ගමන් මගක නිරත මා හට නිරන්තරයෙන්ම ජනතාවගේ දෙපා මුල රැඳේ, දේශපාලඥයකු ලෙස, අව්‍යාජ ගැමියෙකු ලෙස, ජනතාවගේ ප්‍රශ්න හමුවේ ඒවා මග හැර යාම සඳහා නීතියට මුවා වී නිලධාරී වාදයට යට වී ඒ අහිංසක ජනතාව නොමග යැවීම කල නොහැකි බැව් ඔබතුමාගේ අවධානය පිණිස සඳහන් කරනු කැමැත්තෙමි.

මාගේ දේශපාලන ඉතිහාසය තුල කෙදිනකවත් මා පෞද්ගලික වරප්‍රසාද හමුවේ දණගසා මාගේ දේශපාලන දර්ශනය පවා දී නොමැත. ඉතිහාසය පුරාම එකම දේශපාලන ප්‍රතිපත්තියක රැඳෙමින් එක්සත් ජාතික පක්ෂයට අභියෝග එල්ල වී, පාක්ෂකයින් මර්ධනය වී ජනතාව යුධ ජයග්‍රහණ වලට මුවා කොට නිර්වින්ධනය කර තිබු සමාජ පසු බිම තුල පවා ඇප කැප වී සිටියෙත් පොදු ජන අරගලය උදෙසා මිස පෞද්ගලික වරප්‍රසාද උදෙසා නොවන බැව් පැහැදිලිය. ජනතාවාදී අරගල වලට නොනිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබුණු යුගයක් මෙරට පසු කල බැව් බොහෝ දෙනෙකුට අද අමතකය.

එදා අලුත්ගම බේරුවල දර්ගා නගරයේ ජාතිවාදයක් අවුස්සා අහිංසක මිනිසුන්ගේ දේපල හුරා කමින් ජිවිත බිලිගනිමින්, නිවාස ගිනිබත් කරමින්, රටේ නිතිය තඹ දොයිතුවකට මායිම් නොකරමින්, පොලිස් නිළදරුවන් අකර්මන්‍ය කරමින්, පලාතක් භීෂණයෙන් මුස පත් කරමින් සිටින විට දේශපාලන නායකයින් යැයි කියා ගන්න දේශපලඥයින් නිල නිවාස වලට වී නරඹන්නන් බවට පත්ව සිටි මොහොතේ විපක්ෂයේ මන්ත්‍රී වරයෙකු ලෙස කිසිඳු ආරක්ෂාවකින් තොරව ජීවිතය පරදුවට තබා මා කටයුතු කලේ ජාතිවාදී දේශපාලන ප්‍රචණ්ඩතාවය රටකට කරනා හානිය මා හොඳින් අවබෝධ කරගෙන තිබු නිසාය.

එපමනක් නොව එදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට දී ඇති ආගම ඇදහීමේ නිදහසට එදා බොදු බල සේනාව හා පොලිස් අධිකාරි රොෂාන් සිල්වාගේ මැර හමුදාව යොදවා යටදොල කාලි කෝවිලේ උත්සවය නතර කර දැමීමට උත්සාහ ගනිද්දී මා තනි පුද්ගලයෙකු ලෙස අහිංසක ද්‍රවිඩ ජනතාවගේ ආගමික අයිතිය ආරක්ෂා කර දුන්නේය.

එදා තෙවරප්පෙරුම සැබෑ මිනිසෙකු ලෙස පිලි ගත්තේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොව එවකට සිටි ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිතුමිය මා පෞද්ගලිකව හමුවී තානාපති කාර්යාලයට අරාධනා කොට සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කරේ “ඔබ සමඟ මේ ගත්තා වූ මේ මානුෂික මෙහෙවර තුළ රාජ්‍ය මර්ධනයක් පැමිණෙන්නේනම් මුළු ඇමරිකානු රජයම පවුරක් සේ ඔබ සමඟ සිට ගන්න බවයි”. ඒ ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ බලවත්ම රාජ්‍යය මා ප්‍රසංසා කොට පිළිගත් ආකාරයයි.

ප්‍රායෝගිකව මා මැදිහත් වූ අරගල වල අනිවාර්යයෙන්ම නිලධාරීන් විසින් ඉටුකළ යුතු නමුත් පැහැර හැරිය යුතු කරුණු තිබුණු බව ඔබතුමා දන්නවා ද?. කළුතර ජාතික පාසලට සිසුවෙකු ඇතුලත් කිරීමේ අතර මැදි භූමිකාව මා කලේ සියයට සියයක්ම සියලුම නිවැරදි ලිපි ලේඛන තිබියදීත් උද්ධච්ච විදුහපල්තිවරයෙකුගේ තීන්දු තීරණ තුල අධ්‍යාපන අයිතිය අහිමි වී යෑම වැළැක්වීමට විනා අන් කවර හේතුවකට ද?.

අදවන විට ප්‍රබල සමාජ කතිකාවක් නිර්මාණය කර ඇති මීගහතැන්න ප්‍රථමික විදුහලේ සිසුන්ගේ ගැටලුව පිලිබඳ ඔබතුමා දැනුවත් ද?. මේ සිද්ධියේ යථාර්තය පිළිබඳ ඔබතුමා කරුණු දැන සිටියා ද?. කළුතර විද්‍යාලයට ඇතුලත් කලෙත්, මීගහතැන්න විදුහලට ඇතුලත් කලෙත්, මේ රටේ අහිංසක මල් කැකුළු විනා මා ජාතක කල දරුවන් නොවන බැව් පසත් කර ගැනීම වටී.

මාගේ පුතණුවන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලෙනි. වරප්‍රසාද වලට මුවා වී ඇතැම් අය තම දරුවන් කොළඹ සුපිරි පාසල් වලට ඇතුලත් කරත්දීත් මා එසේ නොකළේ අව්‍යාජ ගැමිකම තුල ඒ දරුවන් ලබන අධ්‍යාපනය මා අගය කල නිසාවෙනි. පළාත් අධ්‍යාපන සහකාර ලේකම්වරයා ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරව කරුණු අවබෝධ කරගෙන මෙම දරුවන්ව මීගහතැන්න ප්‍රථමික පාසලට ඇතුලත් කර ගැනීම අනුමත කල ලිපිය ලැබී තිබියදීත් එය ක්‍රියාත්මක නොකරපු තැන මා මැදිහත් වුයේ ඒ ගැන විමසීමට විනා බලහත්කාරයෙන් දරුවන් පාසලට ඇතුලත් කිරීමට නොවන බැව් කව්රුත් දන්නා කරුණකි.

මා එදා අරගල කලෙත් අද අරගල කරන්නෙත් සාධාරණ අයිතීන් වෙනුවෙන් විනා වෙනත් කිසිඳු ප්‍රතිලාභයක් උදෙසා නොවේ. ඇතැම් මාධ්‍ය හා දේශපාලඥයින්ට අනුව මා මෙසේ කිරීම සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෑල්ලුවට ලක් කිරීමට උත්සහ කරමින්, උපවාස කරමින්, අරගල කරමින් ඉල්ලා සිටියේ තැබෑරුමක් විවෘත කිරීමට නම්, රේස් බයි රේස් ආයතනයක් විවෘත කිරීමට නම්, නීතිවිරෝධී මත් ද්‍රව්‍ය ජාවාරමකරුවන් වෙනුවෙන්නම් මා කල ඇත්තේ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වරදකි. නමුත් ඒ අරගල ඉටු කර දෙන්නේ සැබෑ මහජන අවශ්‍යතා විනා සමාජයට වින කරන පාප කර්ම නොවන බැව් ඔබතුමාගේ අවධානය පිණිස සඳහන් කරනු කැමැත්තෙමි.

සැබෑ ජනතා සේවය යනු දියවන්නාවට මුවා වී ලබාගන්නා වරප්‍රසාද නොවන බැව් මා අදහන දේශපාලන දහමකි. වගකිව යුතු අමාත්‍යංශ තුනක නියෝජ්‍ය අමාත්‍ය ධුරය හොබවන මා හට මේ තාක් කිසිඳු වගකීමක් පැවරී නොමැති බැව් ඔබතුමාට සිහිපත් කිරීමට කැමැත්තෙමි. මා මේ පිලිබඳ මින් පෙර අවස්ථා කිහිපයකදීම වාචිකව ඔබතුමාට මතක් කර ඇතැයි මම සිතමි. මෙසේ විමසු අවස්ථාවේ ඔබතුමා විසින් දුන් පිළිතුර වුයේ “වයඹ මාත් කළුතර ඔබත් බලා ගන්නා ලෙසය” අප අමාත්‍යාංශය සතු ප්‍රධාන ආයතන “ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව” හොඳින් පාලනය වන බැවින් ඒ සඳහා කිසිඳු මැදිහත් වීමක් අවශ්‍ය නොවන බවයි.

නමුත් අදවන විට ඉතාම දක්ෂ නිලධාරීන් රැසක් පිරිවරා මෙම ආයතන දෙක අල්ලස වෙනුවෙන් රටේ පුරවැසියන්ගේ යට ඇඳුම් පවා ගලවාගන්නා ආයතන ලෙස ගමන් කරන අතර , ඒ තුල සිදු වන ඇතැම් අකටයුතුකම් පිලිබඳ දැනුවත්ද යන්න මා හට ගැටලුවකි. ශ්‍රී ලාංකිකයන්ගේ පුරවැසිභාවය අනන්‍යතාවය තහවුරු කරන ආයතන දෙක තුල පවතින ගැටළු පිලිබඳ ඔබතුමාගේ අවධානය යොමු වී නොමැතිනම්, එය එසේ කරන නිලධාරීන් හමුවේ ඔබතුමාගේ ප්‍රකාශය “පනින රිලවුන්ට ඉනිමං බැදීමක්” වැනිය.

මේ සියලු දේවල් මා දරා සිටියේ ඔබතුමා පියෙකු ලෙස සලකාගෙනය. නමුත් මා කෘතහස්ත යැයි විශ්වාස කල ඔබතුමා කල මේ පදනම් විරහිත ප්‍රකාශය ගැන මා තුල ඇත්තේ දැඩි පිලකුලකි. මේ දක්වා ඔබතුමා මා හට පැවරු එකම රාජකාරිය වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය වීවෘත කිරීමටය. එම අවස්ථාවේ උදා වූ ශිෂ්‍ය විරෝධතාවය මා සමනය කල ආකාරය පිළිබඳව උක්ත විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයා මාගේ පෞද්ගලික ලේකම්වරයා අමතා ප්‍රකාශ කර සිටියේ “මෙම දරුවන් සිය ප්‍රායෝගික දැනුමෙන් සන්සුන් කල ආකාරය ඇමරිකානු විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකුටවත් කල නොහැකි බවයි”.

මෙම අවස්ථාවේ ඔබතුමා මා සංසන්ධනය කල එම දේශපාලඥයාට ලැබී තිබුනේනම් ඒ දවස ඔබතුමාත්, අමාත්‍යාංශයත් පත් වන අපහසුතාව පිලිබඳ තවත් කරුණු අවශ්‍ය ද?. ඔබතුමා මාව වගකීම් වලින් නිදහස් කොට තිබුන ද, කළුතර දිස්ත්‍රික්කයේ උපරිම දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවක් සිටිනා මා නියෝජනය කරනා බුලත්සිංහල ආසනය තුල මා විසින් දියත් කොට ඇති සංවර්ධන ව්‍යාපෘතියක් හා පොදු ජන අවශ්‍යතා හදුනාගෙන අවශ්‍යතා හා පසුකම් සැපයීම පිලිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්නේනම් වටී.

මේ වන විට නිවාස 400ක ව්‍යාපෘතියකට මුල පුරා ඇති අතර එයින් පළමු අදියර ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් පසු ගිය 29 වන දින විවෘත කලේ මේ දක්වා විවෘත කරන ලද යටිතල පසුකම් සහිත හොඳම සාර්ථකම ආදර්ශ ගම්මානය ලෙස බුලත්සිංහල ආසනයේ හල්වතුර ආදර්ශ ගම්මානය බව ජනතාව ඉදිරියේදී ප්‍රකාශ කර ඇති බව සිහිපත් කරනු කැමැත්තෙමි.

ඒ අනුව මා විසින් සිදු කරන සංවර්ධන කටයුතු වලදී මගේ කැපවීම වෙනුවෙන් එතුමා විසින් ලබා දී ඇති ප්‍රකාශය කොතෙක් දුරට සාධාරණ ප්‍රකාශයක් ද යන්න ඔබතුමාට සිහිපත් කරනු කැමැත්තෙමි. පෞද්ගලික පරිත්‍යාගශීලිලීන්ගේ හා ධනවතුන්ගේ උදව් උපකාර ඇතිව මෙම වැඩ සටහන මා නිමකොට ඇත. ඔබ (අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ ඇති ව්ඩියෝ පට නැරඹුව හොත් එම කාර්යය ඔබතුමා හොඳින් අවබෝධ කරගනු ඇත.) ඒ අනුව මා දියවන්නාවේ වරප්‍රසාද වලට යටකොට තැබිය යුතු පුද්ගලයෙක්ද, නැතහොත් වගකීම් පැවරිය යුතු අමාත්‍යවරයෙක්ද, යන්න ඔබතුමාට අවබෝධ වනු ඇත.

පියෙකු මරා දරුවෙකු සිර කොට එදා බදුරලිය රෝහල තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ගිය අමානුෂික වැඩ වර්ජනය හමුවේ රාජපක්ෂ රෙජීමය දණගසද්දී, ශෝභන කුක්කෙක් සේ හැසිරුණු අගලවත්ත ආසන සංවිධායකවරයා වූ මානව හිමිකම් අමාත්‍යවරයා වූ(එවකට) මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පැරශුටයෙන් කොළඹට පැන යද්දී විපක්ෂයේ බල රහිත මන්ත්‍රීවරයෙකු ලෙස පැය 72ක් කෙල බිඳක් හෝ නොගිලා අඛණ්ඩ උපවාසයක් කලේ රාජපක්ෂ රෙජීමයේ රාජ්‍යය තස්ත්‍රවාදය හා මැර බලය හමුවේ දණ නොගසා රෝහල විවෘත කොට සහන සැලසුවේ ප්‍රදේශයේ අහිංසක සිංහල ද්‍රවිඩ ජනතාවට විනා මාගේ පෞද්ගලික ප්‍රයෝජනය පිණිස නොවන බවද, ඔබතුමාට සිහිපත් කරනු වටී.

එදා බදුරලිය රෝහල විවෘත කිරීම සඳහා දෑතට මාංචු දමාගෙන මා උපවාස කලේ අහිංසක ජනතව වෙනුවෙනි. රෝහල විවෘත කිරීමේ ප්‍රතිලාභය ලැබුනේ පළාතේ ජනතාවට මිස පෞද්ගලිකවම මා හට නොවේ. මීරීගම ප්‍රදේශයේදී (අනාරක්ෂිතව තිබු) විදුලි කණු දෙකක් ඉවත් කොට එම ජනතාවට සහන සැලසුවේ උද්ධච්ච නිලධාරීන්ගේ අලසකම හමුවේ අහිංසක ජනතාව මිනී පෙට්ටියෙන් යෑම වැළැක්වීම උදෙසායි.

සිංහල දෙමල අලුත් අවුරුද්ද ලබන මොහොතේ සියලු ආයතනය වසා තිබියදීත්, සේවකයන් නිවාඩු ගොස් තිබියදීත්, බලය සහිත නිලධාරීන් අලසකමින් මග හරිද්දීත්, එම කණු ඉවත් කිරිම සඳහා මාරාන්තික උපවාසයක් ආරම්භ කොට එය ගලවා ඉවත් කර දුන්නේ අලස නිලධාරී පැලැන්තියේ හා එයට අනුබල දෙන දේශපාලන නියෝජිතයන්ගේ දෑස් විවර කරමිනි. සියලු සම්පත් සිය වාහන අංගනය තුල තබාගෙනම ජනතාව මිනි කනත්තට තල්ලු කරන්නට ඉඩ දී බලා සිටීමට මානව හිතවාදී දේශපාලඥයෙකු ලෙස මා හට කල නොහැක. මානව හිතවාදී මිනිසෙකු ලෙස මාගේ පරම යුතුකම ජනතාවට සේවය කිරීම පමණක්ම වන බැවිනි.

මතුගම හිටපු සංවිධායක වත්මන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පාක්ෂිකයින් අතරමන් කර එක්සත් ජාතික පක්ෂය අතහැර රාජපක්ෂ රෙජිමයට එක්වීමේදී මතුගම හා කළුතර දිස්ත්‍රික්කයේම පාක්ෂිකයාගේ අභිමානය වෙනුවෙන් කොන්දේසි රහිතව පළාත් සභාවෙන් ඉවත් වී මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කළේය. කිහිප අවස්ථාවක් සැළුම් දොර විවෘත ඇති බවත්, මුදල් වලට පක්ෂ මාරු කිරීමට මා වෙත යෝජනා පැමිණියත්, පාක්ෂිකයා රැකගෙන පක්ෂය සමඟ කටයුතු කළේය. ඔබතුමා මෙම කරුණුත් දැනගත යුතු බව මම සිතමි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ලැබෙන ආරක්ෂකයින් කිසිවක් මම ලබා ගෙන නැත. මේ වන විට කිසිඳු ආරක්ෂකයෙක් මා ලඟ නැති බවද, සඳහන් කරමි. වෙනත් අමාත්‍යවරුන් පිරිවරා ගෙන යන ආරක්ෂකයින් මා කිසි විටෙකත් ලබා ගෙන නැති බව ද ඔබ මා සමාන කල දේශපාලඥයා වටා සිටි කුඩු නිහාල්ලා පාතාලයින් දුෂකයින් ද මා වටා නැති බව ඔබතුමාට අවධානය කරමි.

පක්ෂ, පාට, ජාති, භේද, සියලුම බැමි පුපුරවා හරිමින් සම්ප්‍රදායික දේශපාලන ධාරාවෙන් මිදී කටයුතු කරන දේශපාලඥයින් ලෙස මාගේ ගමන් මග ඇතැම් දේශපාලන මහත් හොරුන්ට ප්‍රශ්නයක් වී ඇති බැව් පැහැදිලිය. නමුත් දේශපාලඥයෙකු ලෙස ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම රකිමින් ඔවුන්ගේ සැබෑ ඕනෑ එපා කම් වෙනුවෙන් හෙටත් මා කරනා අරගලය සීමා මායිම් වලින් තොරව ඉදිරියටම යනු ඇත.

නැවත මැතිසබයට පැමිණීම උදෙසා හෝ වරප්‍රසාද උදෙසා නොව දිස්ත්‍රික්කයේ ජනතාව හා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න නිවාලීමේ අරමුණින් පමණක්ම බැව් මතක් කරනු කැමැත්තෙමි. පක්ෂ මාරු නොකොට කිසි වියදමකින් තොරව 2002 වර්ෂයේ මම එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කර සභාවට තේරී පත් වූ සභාපතිවරයා මනාප 4201ක් ලබා ගන්නා විට මා පළමු වතාවට මනාප 7000ක් ලබා ගෙන අවුරුදු 37 කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාව පරාජය කර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභාවක් ලෙස පරිවර්තනය කළේය.

එහි සභාපතිවරයා ලෙස ප්‍රදේශයේ යටිතල පහසුකම් හා ප්‍රදේශයේ පොදු ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කල සමාජ සත්කාරය වෙනුවෙන් පළාත් සභාව නියෝජනය කරමින් ඡන්ද 39167 ක් ලබාගෙන බස්නාහිර පළාත් සභාව නියෝජනය කිරීමට කටයුතු කළේය. මතුගම හිටපු සංවිධායක වරයාගේ පක්ෂ මාරුව හේතුවෙන් අතරමං වූ මතුගම පාක්ෂිකයන් වෙනුවෙන් පළාත් සභාවෙන් කොන්දේසි රහිතව ඉල්ලා අස්වී 2006 මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කර මනාප 12677 ලබා ගනිමින් විපක්ෂ නායකවරයා ලෙස පත් විය. මා ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව ලංකාවෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන්ම දෙවෙනියා බවට පත්විය.

විපක්ෂ නායක ධුරය පරිත්‍යාග කරමින් පක්ෂ නායක ගරු රනිල් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය මත නැවත පළාත් සභාව නියෝජනය කිරීමට අවස්ථාව ලබා දුන්නේය. 2010 වර්ෂයේදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප 51153 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වුවත් එම මැතිවරණ කාලය තුල මා දේශපාලන පලි ගැනීම් මත දින 400ක් සිර ගත වී සිටි කාලය තුලය. එම මැතිවරණ අවස්ථාවේදී අපේක්ෂකයෙකු වශයෙන් මා දේශපාලන භුමිකාවේ නොසිට කිසිඳු මුදල් වියදමක් නොමැතිව දිස්ත්‍රික්කයේ මනුස්සකම හඳුනන ආදරණිය ජනතාව දිස්තික්කයේ පළමු තැනට මා ඔසවා තැබීමට කටයුතු කල බවද සිහිපත් කරමිනි.

මා විසින් කල ජනතා සේවය සලකා දිස්ත්‍රික්කයේ පක්ෂ භේදයෙන් තොරව ජනතා මනාපයෙන් බව සඳහන් කරමි. 2015 වර්ෂයේදී නැවත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය. මනාප 118128 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්විය. මා පැමිණි දේශපාලන ගමන් මගේ වැදගත් අවස්ථාවන් හා ජනතා වරම ඔබතුමාගේ දැන ගැනීමට සටහන් කරමි.

හදිසි අභාවයෙන් මිය ගිය ආදරණිය සහන් පුතු හා ඔහුගේ මිතුරු කැළ මාගේ දේශපාලන කටයුතු වලදී ලබා දුන් කැපකිරීමත්, දිස්ත්‍රික්කයේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව මාගේ මනුෂ්‍යකම හඳුනාගෙන සිය යුතුකම ගැන කැපකිරීම් කර දිස්ත්‍රික්කයෙන්ම ඉහලට ඔසවා තැබීමට කටයුතු කල බව ආඩම්බරයෙන් සිහිපත් කරමි.

මැතිවරණයකට ඉදිරිපත් නොවීමට සිතා සිටියත් ජනතාවගේ බලවත් ඉල්ලීම මත අකමැත්තෙන් හෝ එම ඉල්ලීම ඉටු කිරීමට සිදුවිය. ඒ සඳහා වියදම් කිරීමට මා ළඟ ශත 25ක් වත් නොමැති වුවත්, මට ආදරය කරන හිතතුන් මා වෙත ලබා දුන් පරිත්‍යාග මුදල් මැතිවරණයට වියදම් කර රුපියල් ලක්ෂ 50ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි විය.එම මුදල් දුප්පත් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යෙදවීමට සිතා සිටියත් හදිසියේ මරණයට පත් වූ මාගේ පුතණුවන්ගේ අවමංගල්‍යය කටයතු හා දානමය කටයුතු වලට යෙදවීමට සිදුවිය.

මා ධනවත් ව්‍යාපාර පවුලක සාමාජිකයෙකු නොවේ. පරම්පරාගත බුදලයක් නොමැත. සාමාන්‍ය පවුලක රියදුරු පියෙකුගේ පුතෙකි. වසර 15 ක් දේශපාලනයේ නියුතු වී සිටියත් තඹ දොයිතුවක් දේශපාලනයෙන් හම්බු කරගෙන නොමැත. දෛනිකව මාගේ නිවසට උදෑසන 6 සිට දුප්පත් මිනිසුන් පැමිණෙන අතර, ඔවුන්ගේ බෙහෙත් තුන්ඩුවට,ඇස් කාචයට, ගෑස් සිලින්ඩරයට,සෙවිලි තඩුවට දරුවාගේ පාසල් උපකරණ හා ඇඳුම්වලට වැනි බොහෝ අවශ්‍යතාවයන් සඳහා යුතුකම් ඉටුකරන අවස්ථා බොහෝය. මටත්, කොළඹ නිල නිවාසයට වී සැඟවී සිටිය හැක. පොළොවේ පය ගසා දුප්පත් මිනිසුන් සමඟ ජිවත් වන සැබෑ ජනතා නියෝජිතයෙකු වශයෙන් එය කල නොහැකි බැවින්, ගමේ සිට ජනතා ප්‍රශ්න විසඳමින් සාමාන්‍ය ජිවිතයක් ගත කරන බව සඳහන් කරමි.
මෙම ගුරු සංගම් හා දේශපාලන බල අධිකාරිය තුල මම කිසි විටෙකත් දණ නොගසමි. අසාධාරණයට පෙනී සිටින කොන්ද කෙලින් තබා ගෙන සත්‍ය ජය ගැනීමට කටයුතු කරන, මහ පොළොවේ පය තබා සිටින දුප්පතුන්ගේ ජනතා සේවයෙකු ලෙස සත්‍ය ජය ගැනීමට කවදත් පෙනී සිටින කෙනෙකි. මෙහි සත්‍ය තේරුම් ගත් ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජනධිපති ලේකම්තුමා මාගේ කැපකිරීම මත දුප්පත් දරුවන් 9 දෙනාට නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට පස්දුන් කෝරලයේ තිබෙන ඉහල පෙලේ පාසල් අතර මතුගම නගරයේ ජනප්‍රිය පාසලක් වන ශාන්ත මේරි මහා විද්‍යාලය 2016.07.20 දින ලබා දුන් බව සතුටින් දන්වමි.

මෙපමණක් හෝ කරුණු ගොනු කිරීමට මා තීරණය කලේ ඔබතුමා මා සම්බන්ධව එලඹගෙන ඇති වැරදි නිගමනය නිවැරදි කිරීමට විනා අන් කිසිඳු පරමාර්ථයකින් නොවන බැව් නැවතත් මතක් කර දෙමින් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ ක්‍රියාදාමය තුල සහයෝගයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන්, ජනතා අභිලාෂයෙන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා එක්සත්ව එක්සිත්ව ඉදිරියට යනු ඇතැයි මම හුදෙක්ම බලාපොරොත්තු වෙමි.

“සෙලොයථා ඒකසනෝ
වාකෙනන සමීරත්
එව නින්දා ප්‍රශංසාසු
න සමිකුජනති පණ්ඩිතා”

“ඒක ඝන වූ පර්වතය සුළඟින් නොසෙල්වෙන්නා සේ නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහිම නොසෙල්වෙති.”
(ගෞතම බුදුරජාණන්වහන්සේ)

ස්තුතියි.
මෙයට හිතවත්,

පාලිත තෙවරප්පෙරුම (පා.ම.)

පිටපත් :- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.