Jan
26
ත්‍රිකුණාමලයේ පිහිටි පාසල් තුනක ඉගෙනුම ලබන සිසුන් 99 දෙනෙකු නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
ඊට හේතු වී ඇත්තේ ත්‍රිකුණාමලයේ "ඩයික්" පාරෙන් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් 17දෙනා අතර ගුරුවරයෙක් සහ සිසුන් දෙදෙනෙකු සිටීමය.
එමෙන්ම පසුගියදා කතරගම ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගීවූ අයෙකුට වෛරසය ආසාදනයවී තිබීම නිසා සිදුකළ PCR පරීක්ෂණවලින් පසු ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනකුට කොවිඩ් වැළඳි ඇතැයි තහවුරු වී ඇත.
වෛරසය ආසාදිත සිසුවා සෙල්ල-කතරගම මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබීම නිසා ඊයේ (25) පෙරවරුවේ පාසලට එවා තිබූ දරුවන් ඔවුන්ගේ දෙමාපියන් පැමිණ නිවෙස් කරා රැගෙන ගියේය.
කොවිඩ් ආසාදිත අනෙක් සිසුවා කතරගම ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකි.
එම සිසුවා පසුගිය දින කිහිපයේ දී පාසලට පැමිණ තිබුණේ නැත.
කෙසේ වෙතත්, විදුහල්පතිවරයා පවසන්නේ, ඊයේ එම පාසලට කිසිදු දරුවෙක් නොපැමිණි බවය.
මේ අතර, දැරණියගල සිරිසමන් ජාතික පාසලේ 11වන ශ්‍රේණියේ පංති තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබේ.
ඒ, 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු කොවිඩ් ආසාදිතයෙක් ගමන්ගත් ත්‍රිරෝද රථයක ගමන් ගැනීම හේතුවෙනි.
එමෙන්ම දැරණියගල මුහන්දිරම් කණිෂ්ඨ විද්‍යාලයේ 7වැනි ශ්‍රේණියේ පංති ද තාවකාලිකව වසාදැමුනේ එහි ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මවට වෛරසය වැළඳී තිබීම හේතුවෙනි.
මෙම දරුවන්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එම පාසල්වල අදාළ පංති තාවකාලිකව වසා තබන බව දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙ අතර, කන්තලේ සේරුනුවර මහවැලිගම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරියකටත් කොවිඩ් ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ, ඇයගේ ආශ්‍රිතයින්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඇගේ පියාට සහ දරුවාටත් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බවය.
මේ හේතුවෙන් එම පාසල වසාදමා විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමුකර තිබේ.
කුලියාපිටියේ පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වූ පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පාසල් සිසුන් සහ උපකාරක පංතිවල සිසුන් අද කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී PCR පරීක්ෂණවලට යොමු කෙරුණි.
මේ අතර මදුරන්කුලිය බෝනික්කන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 101 දක්වා ඉහළ ගොස් තිබේ.
පෙරේදා (24) දිනයේදී පමණක් එම කර්මාන්ත ශාලාවෙන් හමුවූ ආසාදිතයින් ගණන 26කි.
එම ආසාදිතයින් දඹදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
මේ අතර, කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ, පොලිස් නිලධාරියාටත් කොවිඩ් ආසාදනය වී තිබේ.
මේ හේතුවෙන් එම අධිකරණ පරිශ්‍රයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් සහ අධිකරණ කාර්යය මණ්ඩලයත් ඊයේ PCR පරීක්ෂණවලට යොමුකෙරුණි.
එමෙන්ම, අනුරාධපුරය බන්ධනාගාරයේ සිදුකළ PCR පරීක්ෂණවලින් රැඳවියන් තිදෙනෙකු ආසාදිත බවට තහවුරු විය.