Jan
26
කොවිඩ් ආසාදිත බව කියූ මන්ත්‍රී තවමත් නිවසේ
කොවිඩ් ආසාදිත බවට ඊයේ (25) හඳුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (26) පස්වරුව වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනගොස් නොතිබුණු බව වාර්තා විය.
ඒ අනුව මන්ත්‍රීවරයා, සිය පවුලේ සාමාජිකයින්, කාර්යමණ්ඩලය සහ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක්ද සමග ඔහුගේ පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටී.
එහිදී, "මම ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මම මේ බලාගෙන ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට මාව ගෙනියනකම්. වෙහෙසකර භාවය නිසා යම් යම් ප්‍රමාදයන් ඇති වෙනවා. මං ඒක තේරුම් අරන් ඉන්නේ," යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසීය.
වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන නොයෑම සම්බන්ධයෙන් යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මන්ත්‍රීවරයා තෙල්දෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා රැගෙන යෑමට සියල්ල සූදානම් කරඇති බවය.