Jan 06

හිමිනම ඝාතනයේ අභිරහස එළියට


හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති උඩුවිල ධම්මතිස්ස ස්වාමීන් වහන්සේට කිසියම් පිරිසක් පහරදී පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගිය ඉරිදා (03 වැනිදා)ය. පැමිණිල්ල සිදු කළේ විහාරස්ථානයේ වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් විසිනි. ඒ අනුව පොලිසිය වහාම පරීක්ෂණ අරඹන ලදී.

විහාරාධිපති හිමියන් පැහැරගෙන යාම සැළ වූයේ කෙසේ දැයි විමසූ විට පැමිණිලිකාර හිමිනම පවසා සිටියේ ජනවාරි 02 වැනිදා පෞද්ගලික කටයුත්තකට රුවන්වැල්ල ප්‍රදේශයට ගොස් රාත්‍රී ආපසු පැමිණි පසු මේ බව දැනගත් වගය. එසේ පැමිණ ආවාස ගෙයි දොරට තට්ටු කළ විට දොර විවෘත කළේ පැවිදි දිවියට ඇතුළත් වීමට පැමිණ සිටි 33 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ පියාය. ඒ වන විට නායක ස්වාමීන් වහන්සේගේ කාමරය වසා තිබූ බැවින් ඒ පිළිබඳ විමසද්දී ඔවුන් පැවසුවේ රෑ බෝ වී තිබූ නිසා ලොකු හාමුදුරුවන් නින්දට ගිය බවකි.

පසු දින එම හිමිනම අවදි වූ විට පන්සලේ සිටි තරුණයා හා ඔහුගේ පියා පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ ස්වාමින් වහන්සේට පහර දී වෑන් රථයකින් රැගෙන ගිය බවකි. පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔවුන් සෙවූවද ඒ වන විටත් බියට පත් වූ පිය පුතු දෙපළ ඉංගිරියේ පිහිටි ඔවුන්ගේ නිවසට ගොස් තිබිණි.

පොලිසිය විසින් ඔවුන් වහාම පොලිස් ස්ථානයට කැඳවනු ලැබීය. අදාළ සිදුවීම පිළිබඳ විමසූ විට ඔවුන් පවසා සිටියේ ජනවාරි පළමු දින සවස පන්සලට පැමිණි පිරිසක් ස්වාමින් වහන්සේට හා තමන්ට පහර දී තමන්ගේ ජංගම දුරකථනයෙහි තිබූ සිම්පත් පවා විනාශ කර හාමුදුරුවන් පැහැරගෙන ගිය බවකි. එසේම මෙය කිසිවකු හට පැවසුවහොත් තමන් මරා දමන බවට තර්ජනය කළ බවද ඔවුහු පැවසූහ. එම පැමිණි පිරිස අතර සිටි දෙදෙනකු මෙම විහාරයේම වැඩ විසූ සාමණේර හිමිනමකගේ මවුපියන් යැයි හඳුනාගත් බවද ඔවුන් පොලිසියට පවසා තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට මෙහි විමර්ශන කටයුතු පැවරුණේ පැහැර ගත් ස්වාමීන් වහන්සේට සිදුවූයේ කුමක්දැයි කියා සෙවීමටය.

ඒ අනුව පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමක් විහාරස්ථානයේ වැඩ විසූ සාමණේර හිමිනමගේ නිවස සොයා හොරණ මීගත්තර, කිරිගල හේන ප්‍රදේශයට ගියහ. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ සාමණේර හිමිනම හා ඔහුගේ සොයුරා සහ සොයුරිය පමණකි. ඔවුන් පවසා ඇත්තේ මව සහ පියා යතුරුපැදියකින් පැමිණි මාමා කෙනකු, මවුපියන් සමග නිවසින් පිටත්ව ගිය බවය.

පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇස නිවසෙහි නවතා තිබූ යතුරුපැදි දෙක කෙරෙහි යොමු වූයේ එම අවස්ථාවේය. ඒ අනුව එම යතුරුපැදි ලියාපදිංචි අංක පරික්ෂා කිරීමේ දී එක් යතුරුපැදියක් සාමණේර හිමිනමගේ මවගේ නමටද, අනෙක් යතුරුපැදිය මිල්ලනිය වැරැල්ලවත්ත නො 60 ලිපිනයෙහි පදිංචි මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ නමටද ලියාපදිංචි කර තිබූ බව හෙළිවුණි. පොලිස් නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ගිය අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ ඇයගේ සැමියා වන සුමිත් බණ්ඩාර යතුරුපැදිය රැගෙන නිවසින් පිටව ගියද නැවත නිවසට නොපැමිණි බවකි.

ඔහු කෞතුක භාණ්ඩ විකිණීම, නිදන් හෑරීම වැනි කටයුතුවල යෙදුණ අයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (84762) කුමාරට ලද තොරතුරක් අනුව හෝකන්දර නිවසක රැඳී සිටියදී සාමණේර හිමිනමගේ මව බව කියන හිමාලි සහ සුමිත් බණ්ඩාර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හිමාලි සහ සුමිත් විසින් සිදු වීම වමාරන්නට පටන්ගත්තේ වැඩ වැරැදී ඇති බව සක්සුදක් සේ අවබෝධ වූ නිසාවෙනි. සාමණේර හිමිනම දැනට වසර තුනකට පමණ පෙර ආරාණ්‍ය සේනාසනයේ පැවිදිව සිට ඇත. ඒ වන විට එම හිමිනමගේ වයස අවුරුදු නවයකි. එහෙත් සැකකරුවන් පැමිණ සාමණේර හිමිනම උපැවිදි කර දරුවා නිවසට රැගෙන ගොස් ඇත්තේ ඝාතනයට ලක් වූ හිමිනමගෙන් සිදුවූ අඩන්තේට්ටම්වලින් දරුවා අපහසුතාවට පත් වී ඇති බව පවසමිනි. ඔවුන් වසර තුනකට පසු දරුවා රැගෙනවිත් විහාරාධිපති හිමිට භාරදී තිබෙන්නේ නැවතත් ශාසනයට ඇතුළු කර ගන්නා ලෙස ආයාචනය කරමින්ය. ඒ අනුව සාමණේර හිමිනම ශාසනයට ඇතුළත් කළද හිස රිදෙන බව පැවසීමෙන් අනතුරුව අසනීප තත්ත්වයේ පසු වූ සාමණේර හිමි නැවත නිවසට කැඳවාගෙන ගොස් තිබේ. මෙම සාමණේර හිමිනමගේ මව සහ ඇයගේ අනියම් සැමියා මුරුක්කු ඇතුළු කටගැස්ම වර්ග විකිණීමෙන් සිය ජීවිතය කරගෙන ගියහ. කොරෝනා ව්‍යාප්තිය නිසා ඔවුන්ගේ එම ව්‍යාපාරය කඩා වැටීමට ලක් වී තිබේ. ඒ නිසා ඔවුන්ට දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. අනතුරුව එයට විසඳුමක් ලෙස තම දරුවාට අඩන්තේට්ටම් කළ බව මාධ්‍යයට පවසන බවට තර්ජනය කර උඩුවිල ධම්මතිස්ස හිමිගෙන් මුදල් ඉල්ලා ඇත. එම අවස්ථාවේ විහාරාධිපති හිමියෝ එයට එකඟව ඇති මුත් පොරොන්දු වූ මුදල ලබා දී නැත. මෙයින් කුපිත වූ හිමාලි සහ සුමිත් කෙසේ හෝ මුදල් ලබා ගැනීමට සැලසුමක් දියත් කර තිබේ.

සුමිත් සහ ඔහුගේ මිතුරකු වන ලක්මාල් ඇතුළු පස්දෙනකු හිමාලි සමග විහාරස්ථානයට ගොස් ඇත්තේ තර්ජනය කර බියවද්දා මුදල් ලබා ගැනීමටයි.

එහි දී විහාාධිපති හිමියන්ට පහර දී ඔවුන් පැමිණි වෑන් රියට නංවාගෙන මාකොළ උතුර උදාන මාවතේ දෙමහල් නිවසකට ගොස් තිබේ. එම නිවෙස් හිමිකරු වන සිසිර ඩුබායි සිට මෙරටට පැමිණ ඇත්තේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමගය. ඔහු නැවත යාමට නොහැකිව තනිවම එම දෙමහල් නිවසෙහි රැඳී සිටින අයෙකි. ඔහුගේ බිරිඳ සහ දරුවන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිති. ලක්මාල්, සුමිත් ඇතුළු පිරිස හිමිනමට පහර දී මුඛයට රෙදිකෑලි ඔබා බැඳ දැමීමෙන් අනතුරුව කාමරයකට දමා වසා තිබේ.

අනතුරුව සුමිත් විසින් නිවෙස් හිමිකරුට පවසා ඇත්තේ ලක්මාල් ඇතුළු පිරිස වැල්ලම්පිටිය ප්‍රදේශයට වෑන් රථයෙන් ඇරලවා එන ලෙසටයි. ඔහු එම පිරිස බස්සවා නැවත නිවසට පැමිණි විට දකින්නේ ස්වාමින්වහන්සේ මියගොස් ඇති බවකි. ඒ අනුව හිමාලි විසින් නැවතත් ලක්මාල් අමතා පවසා ඇත්තේ ස්වාමින් වහන්සේ මියගොස් ඇති නිසා වහාම පැමිණෙන ලෙසටයි. ඒ අනුව ත්‍රිරෝද රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනකු සමග ලක්මාල් මාකොළ දෙමහල් නිවසට පැමිණියහ. ඒ අනුව ඔවුන් කතිකා කරගත්තේ සිරුර විනාශ කර දැමීමටයි. ඔවුන් ඇඳ ඇතිරිල්ලක ඔතා ස්වාමින් වහන්සේගේ සිරුර ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ හිඳුවා ඇත්තේ රෝගියකු ලෙස පිටතට පෙනෙන අයුරිනි. ඔවුන් කොටදෙණියාව ප්‍රදේශයට පිටත්ව යන විට හිමාලි සිය යතුරුපැදියෙන් ත්‍රිරෝද රථයේ පිටුපසින් පැමිණ ඇත්තේ බෝතලයකට පෙට්‍රල්ද පුරවාගෙනය.

ඔවුන් කොටදෙණියාව නාවාන පොදු සුසානයට ගොස් එහි මිනී වළක් මත සිරුර දමා පෙට්‍රල් යොදා ගිනි තැබීමෙන් එතැනින් පිටත්ව ගියහ. ඉන් පසුව හෝකන්දර ප්‍රදේශයේ නිවසෙහි සුමිත් සහ හිමාලි සැඟව සිටියේ සිය සැමියා වෑන් රථයද සමග පිටත් කර හැරීමෙන් අනතුරුවය.

සුමිත් සහ හිමාලි අතර අනියම් පෙමක්ද තිබෙන බවද පොලිස් නිලධාරින්ගේ විමර්ශනවලදී තහවුරු වී තිබිණි. ඔවුන් ස්වාමින් වහන්සේ පැහැර ගන්නා විට හිමියන්ගේ බැංකුපොත් සහ ලියකියැවිලි රැසක්ද පැහැරගෙන තිබිණි. ඒවාද මොවුන් සන්තකයේ තිබී තම භාරයට ගත් බව පොලිසිය පවසයි.

කොටදෙණියාව සුසානභූමියේ නාඳුනන මළසිරුරක් දැවෙන බවට කොටදෙණියාව පොලිසියට පෙරේදා (04 වැනිදා) දහවල් ලද දුරකථන ඇමතුමක් මත පොලිසිය විසින් එම ස්ථානයට ගොස් බාගෙට පිලිස්සුණු දේහය සොයාගෙන තිබිණි. මිනුවන්ගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඉන්දිකා රත්නායක විසින් සුසාන භූමියට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව දේහය හඳුනාගැනීමට මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ තබන ලෙසට නියෝග කළාය.

අනතුරුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ගල්ලව සිරිධම්ම හිමියන් හා විජිතපුර සිරිසුමේධ යන ගෝල දෙනමක් කැඳවාගෙන ආ පසුව මෙය නායක ස්වාමින් වහන්සේ බවට හඳුනාගෙන තිබිණි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරුවන් තිදෙනකු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරයි.

එසේම දැනට සැඟව සිටින ලක්මාල් නමැති පුද්ගලයා හා තවත් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවෙමින් පවතියි.

හේමන්ත ලියනපතිරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.