Jan 09

කොතලාවල කීදේ ඇහුවා නම් ජනපති රනිල්


2005 ජනාධිපතිවරණයේ සෑම පැත්තකම ජයග්‍රහණය හිමිවී තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහටය. මධ්‍යම පන්තිය, ව්‍යාපාරික හා නාගරික කොට්ඨාසවල ජයග්‍රහණය පිළිබඳව එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා එහි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ඉහළින්ම විශ්වාසයක් තිබුණි. සුළු ජාතීන්ගේ ඡන්දවල වාසියද ඒ වනවිට හිමිවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු අතර මතයක් ගොඩනැගී තිබුණේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉහළින්ම ජයගනු ඇති බවය. එජාප නියෝජ්‍ය ලේකම්වරයා ලෙස තිස්ස අත්තනායකට ජනාධිපතිවරණයේදී එජාපයේ බර සම්පූර්ණයෙන් ඉසිලීමට සිදුවිය. එවක එජාප මහ ලේකම්වරයා වූයේ එන්. වී. කේ. කේ. වේරගොඩ මහතාය. ඔහුට තිබුණේ පක්ෂයේ පරිපාලනය පිළිබඳව දැනුමක් මිස මැතිවරණ පිළිබඳව දැනුමක් නොවේය.

එවකට එජාපයේ තනතුරක් නොදැරුවද මලික් සමරවික්‍රම මහතා හා ගාමිණී අබේරත්න (ටැක්සි අබේ) සමග දිවයින පුරා එජාප ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවලට තිස්ස අත්තනායක මහතාට සහාය ලබාදෙමින් සිටියේ. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව මහත් බලාපොරොත්තුවෙන් සිටි එජාප ජ්‍යෙෂ්ඨයන් උතුරු නැගෙනහිර පළාත්වලට පවා සංචාරය කරමින් 2005 ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවල නිරත වූහ. ඔවුන් එවක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලන ප්‍රදේශවලටද ගියේ විශ්වාසයකිනි. දිනක් එවැනි ගමනදී මුතුර්, කින්නියා, ත්‍රිකුණාමලය ප්‍රදේශවල ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවල යෙදුණු තිස්ස අත්තනායක ඇතුළු පිරිසක් ආපසු පැමිණියේ ගුවන් යානයකිනි. එහෙත් එම ගුවන් යානය ගුවන් ගත කිරීම සිවිල් ගුවන් අධිකාරිය අනුමත නොකළේය. ඊට හේතුවූයේ එදින පැවැති අයහපත් කාලගුණික තත්ත්වයය. එහෙත් තිස්ස අත්තනායක ඇතුළු පිරිසගේ බලකිරීම මත ගුවන් ගත කෙරුණු ගුවන් යානය පැවැති කාලගුණික තත්ත්වය මත ගුවන් නියමුවාට පදවාගෙන යාමට මහත් දුෂ්කරතා විඳින්නට සිදුවී තිබේ. බලකිරීම මත ගුවන් ගත කෙරුණු යානය තුළ සිටි තිස්ස අත්තනායක ඇතුළු පිරිසට ඔවුන් සිදුකරන ලද වරදේ බරපතළකම තේරුම් ගියේය. එහෙත් කිසිදු කරදරයකින් තොරව රත්මලාන ගුවන් තොටුපළට සේන්දු වීමට ඔවුන්ට හැකියාව ලැබී තිබුණි. එවැනි අනතුරුදායක හා දුෂ්කර ගමන් යාමට ඔවුන්ට සිදුවී තිබුණේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණය එජාප නායක රනිල් වික්‍රමසිංහට ලබාදීමටය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණ කටයුතු ඒ වනවිටත් මෙහෙයවමින් සිටියේය. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වාගේ මෙහෙයවනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මගහැර සිටියේය. අනුර බණ්ඩාරනායක. රත්නසිරි වික්‍රමනායක, අනුරුද්ධ රත්වත්ත, මහින්දානන්ද අලුත්ගමගේ වැනි පිරිස් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියේ ‘‘එපා වාහේට හොදි බෙදන’’ අයුරිනි. එවක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා කුමාරතුංග (ශ්‍රීලනිප නායිකාව ලෙස එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය අපේක්ෂා නොකළ බව ඒ වන විට ප්‍රචාරය වෙමින් තිබුණි.

2005 ජනාධිපතිවරණ දිනයේදී ඉතා උණුසුම් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබුණේය. එදින දහවල් වන විට උතුරේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව විවිධ වාර්තා පළවෙමින් තිබුණේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම තහනම් කර ඇති බවට ඒ වනවිටත් වාර්තා පළවන්නට විය. උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව එජාප ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දැනුවත් කළද ඔහු කමිටුවට ප්‍රකාශ කර තිබුණේ උතුරේ ඡන්ද නැති වුවත් ඔහු ජයග්‍රහණය කරන බවය. ඒ පිළිබඳව කලබල නොවන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට පවසා තිබුණේය.

එජාප ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට උතුරේ ඡන්ද පිළිබඳව සැකය මතුවී තිබුණේ 2005 ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිටය. එජාප නියෝජ්‍ය මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිතා තිබුණේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සම්බන්ධවීමෙන් උතුරේ ඡන්දය එජාප නායක රනිල් වික්‍රමසිංහට ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වේවි කියා. ඊට ආසන්නම හේතුව වූයේ 2002 වසරේදී එජාප පෙරමුණු ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්සන් කළ අවබෝධතා ගිවිසුමය. එම ගිවිසුම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වුවහොත් සාම සාකච්ඡා යළි ආරම්භ කළ හැකි බවත් එමගින් උතුරේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ලැබෙන බවද බොහෝ දෙනෙක් විශ්වාස කළහ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ රැස්වීම්වලදී දිගින් දිගටම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වුවහොත් උතුරට සාකච්ඡාවකින්ම ඊළාම් රාජ්‍යය ලබාදීමට ක්‍රියා කරනු ඇති බවය. පාර්ලිමේන්තුව නියෝජනය කළ උතුරු නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් මෙන්ම වතු ක්ෂේත්‍රය නියෝජනය කළ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ හා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හා සුළු ජාතික ජනතාවගේද පූර්ණ සහායද ලැබී තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. උද්ගත වී තිබූ තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රාහී මානසික තත්ත්වයකිනි.

මේ අතර උතුරේ ඡන්ද එජාප ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට නොලැබෙන බවට සතියකට පමණ පෙර එවක සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතා එජාප නියෝජ්‍ය මහ ලේකම් තිස්ස අත්තනායකට ප්‍රකාශ කර තිබුණේය. කොතලාවල මහතා 2005 ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේම සහාය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහටය. ලලිත් කොතලාවල මහතා ලබාදුන් පණිවුඩය තිස්ස අත්තනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් විට ඔහු ප්‍රකාශ කර තිබුණේ ‘‘තිස්ස, ඔයා කලබල වෙන්න එපා, ඒ ගැන මම බලාගන්නම්’’ කියාය.

රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතාට වැඩිදුරටත් පවසා තිබුණේ උතුරේ කටයුතු සියල්ල මිලින්ද මොරගොඩ මහතා සම්බන්ධීකරණය කරනු ඇති බවය. මිලින්ද මොරගොඩ මහතා ඒ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළේය. 2001 එජාප පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම සකස් කිරීම හා දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමට මූලිකව ක්‍රියා කළ අයෙක් වූයේ මිලින්ද මොරගොඩ මහතාය. උතුරේ ද්‍රවිඩ නායකයන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවා ගැනීම සඳහා 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබුණේ මිලින්ද මොරගොඩ මහතාවය. එම කටයුතු රහසිගතව මිලින්ද මොරගොඩ මහතාට බාරදී ඇති බව ඒ වනවිටත් එජාප ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට දැනගැනීමට ලැබී තිබුණේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ උතුරේ කටයුතු සඳහා එජපායේ වෙනත් කිසිදු ජ්‍යෙෂ්ඨයකුට මිලින්ද මොරගොඩ මහතාව හැර සම්බන්ධීකරණය කිරීමට ඉඩ ලබාදී නොතිබුණි.

මේ අතර එජාප පා.ම. නවීන් දිසානායක පුවත්පතකට ප්‍රකාශයක් කරමින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ප්‍රකාශයක් කර තිබූ අතර එම ප්‍රකාශය පිළිබඳව එම සංවිධානය සිටියේ තදබල කෝපයකිනි. එමනිසා එජාපය සමග එල්ටීටීඊ සංවිධානය අමනාපයක් ඇතිකර ගත් බවට පසුව කට කතා පැතිර ගියේ. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ දැනුවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා යම් පියවරක් ගත්තේ නම් 2005 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණු බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මේ ලියුම්කරුට ප්‍රකාශ කළේය. එහෙත් මිලින්ද මොරගොඩ මහතා කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ අසීමිත විශ්වාසය හේතුවෙන් එම පසුබෑම සිදුවී තිබූ අතර 2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව මිලින්ද මොරගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවක්ද ගොඩනගා ගත්තේය.

මෙම තත්ත්වය දැනගත් ලලිත් කොතලාවල මහතා දැඩි ලෙස කම්පා වූ අතර ඔහු එජාප නියෝජ්‍ය මහ ලේකම් තිස්ස අත්තනායකට පවසා තිබුණේ උතුරේ කටයුතු ඔහුට බාරදී තිබුණේ නම් කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාට වාසිවන අයුරින් එල්ටීටීඊ සංවිධානය මෙහෙයවා ගැනීමට හැකියාව තිබූ බවය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වුවද ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ පෞද්ගලික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙසිනි. එය මහින්ද චින්තනය නම් විය. එම මැතිවරණ ප්‍රකාශනයේ දිනවමු ලංකා යන මැයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති හා ප්‍රතිඥා 24 ක් ඉදිරිපත් කර තිබුණි. එජාප මැතිවරණ ප්‍රකාශනය ‘‘ජනතා න්‍යාය පත්‍රය’’ නම් විය. එහි තේමාව වූයේ බඩගින්නට නිමාවක්, හැකියාවට රැකියාවක්, බෙදුම්වාදයට පරාජයක් යන්නය.

කෙසේ වුවද ජනාධිපතිවරණ දින එල්ටීටීඊ සංවිධානය උතුරේ ජනතාවට සහමුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කර තිබුණේය. 2005 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වුවහොත් මරා දමන බවටද තර්ජනය කර තිබුණි. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්දවලින් බහුතරයක් ලැබී තිබුණේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහටය. එය සංවිධානය කර තිබුණේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. පසුව ඔහු එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කොට තිබුණි. යාපනයේ ඡන්ද පොළකට ගිය අහිංසක ද්‍රවිඩ කාන්තාවකගේ අත එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක් කපා දමා තිබුණේය. උතුරු නැගෙනහිර ඡන්දය ප්‍රකාශ කිරීම අවම විය. දහවල් වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවිනිශ්චිත විය. ප්‍රතිඵලය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සමාලෝචනය කිරීමක් සිදු වුවද අවසන් මොහොත වනතෙක්ම එජාපය සිතුවේ එජාප අපේක්ෂක රනිල් විකමසිංහ ජයග්‍රහණය කරනු ඇති බවය. ප.ම. රවි කරුණානායක මහතාගේ බත්තරමුල්ලේ පාර්ලිමේන්තු මාවතේ පිහිටි නිවසේ ජනාධිපතිවරණ ප්‍රතිඵල සමාලෝචන හමුවක් තිබූ අතර ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු පිරිසක්ද රවි කරුණානායක මහතාගේ නිවසේ සිටියේය.

උතුරු නැගෙනහිර ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයන් ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පැවතුණි. යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වු 7,01932 න් ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 8524 කි. වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද 250886 න් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 85874 ක් විය. මෙම දිස්ත්‍රික්කවල ඡන්ද පාවිච්චිය අඩුවීමට හේතුවූයේ එල්ටීටීඊ සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට කරන ලද ප්‍රබල බලපෑමය.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල දිස්ත්‍රික්ක 22 න් 12 ක ජය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ මැතිවරණ දිස්ත්‍රික්කවල පාවිච්චි කළ ඡන්ද ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. හම්බන්තොට 81.4% ක්ද, මාතර 81.1% ක්ද, ගම්පහ 87.7% ක්ද, මොණරාගල 81.2% ක් හා කුරුණෑගල 80.5% ක් විය.

පාවිච්චි කළ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 50 ක් ඉක්මවා මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 28520 කි. 50% ක් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වූයේ නම් දෙවන මනාපය ගණනය කිරීමට සිදුවීමට ඉඩ තිබුණි.

2005 නොවැම්බර් 17 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද 180786 කින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබුණි.

එල්ටීටීඊ සංවිධානය රනිල් වික්‍රමසිංහ මහතාට හා එජාපයට එරෙහිව ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය එම සංවිධානයට මුදල් ලබාදුන් නිසා බව පසුව ප්‍රචාරය විය. ශ්‍රීපති සූරියආරච්චි මහතා හා මංගල සමරවීර මහතා පසුව ප්‍රසිද්ධියේ පිළිගත් පරිදි 2005 ජනාධිපතිවරණයේදී එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබාදී ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමට පියවර ගෙන තිබුණි. ටිරාන් අලස් මහතාටද එම චෝදනාව එල්ල විය. එම ජනාධිපතිවරණයේදී ටිරාන් අලස් මහතාද සහාය දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතාටය. ටිරාන් අලස් ඒ වනවිටත් මංගල සමරවීර සමග දේශපාලනයට සම්බන්ධ වී සිටියේය.

රංජිත් ගුණවර්ධන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.