Jan 02

දේපොළ - වතුපිටි දන්දී පවුලම පැවිදි බිමට


“...මහත්තයා විවාහ වෙන දිනයෙත් කිව්වා ඔයා බැන්ඳට මම කවදා හරි මහණ වෙනවා කියලා. 
එදා මමත් හිනාවෙලා කිව්වා එහෙනම් එදාට මමත් එනවා කියලා..” 

“අපි මේ ගමන යනවට ගමේ බොහොමයක් කැමති නැහැ.”

“දුවයි පුතයි ඉදිරියේදී සසුනට සමු දුන්නොත් ඒ අයට යන්න ගෙදරක් නැති වෙයි, කිව්වා...”

පොල්පිතිගම ප්‍රදේශයේ තරුණ අඹුසැමි යුවළක් තමන් ඉපැයූ සියලු ධනය අතහැර දියණිය හා පුතා ද කැටුව පැවිදි වීම සඳහා ඊයේ (01) නිවසින් නික්ම ගියා.

පොල්පිතිගම නගරයේ නාගොල්ල පන්සල පාරේ පදිංචි එස්. ඒ. ගාමිණි කුමාරසිංහ (අවු. 38) හා ඔහුගේ බිරිඳ ඒ. එම්. සමුද්‍රා කුමාරි අත්තනායක (අවු. 38) අවුරුදු 16ක් වයසැති එස්. ඒ. කවිශ්කා සංජනි දියණිය හා අවුරුදු 13ක් වයස එස්. ඒ. සදීප කෞශල්‍ය ධනංජය නම් පුතා යන සිව් දෙනා ඔවුන් වාසය කළ නිවසට සමු දී මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය බලා මෙසේ ඊයේ පිටත් ව ගියා.

යමෙකු පැවිදි දිවියට ඇතුළත් වීමට මත්තෙන් වෙහෙර විහාරස්ථානල රැඳී අනගාරික බ්‍රහ්මචාරී දිවි පෙවතක් ගත කළ යුතු අතර ඒ තුළින් භික්ෂුවකට ගැළපෙන ඇවතුම් පැවතුම් සිරිත් විරිත් ආදිය සඳහා පෙරහුරුවක් ලබා ගත යුතුයි.

ඒ අනුව එම සිව් දෙනාම පවුලේ අයද කැටුව ඊයේ (01) පෙරවරුවේ මැල්සිරිපුර පන්සියගම ඓතිහාසික නා උයන ආරණ්‍ය සේනාසනය වෙතට ගොස් අඟුල්ගමුවේ අරියනන්ද නා හිමියන් බැහැ දැක දැහැත් වට්ටියක් පිළිගන්වා තමන්ට සසුනට ඇතුළත් වීමට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියා.

එහිදී ඔවුන්ට හා කැටුව ගිය පවුලේ ඥාතීන්ට අනුශාසනාවක් කර සියලු දෙනාටම දහවල් ආහාරය පිරිනමා අනතුරුව පියා හා පුත්‍රයා එම සේනාසනයට බාර ගෙන මව හා දියණිය එම සීමාවේම පිහිටි ධම්මිකා මෙහිණි ආරණ්‍ය සේනාසනය වෙතට යැවීමට නා හිමියෝ පියවර ගත්තා.

අක්කර ගණනක පොල් වත්තක හිමිකරුවෙකු වන ගාමිණි කුමාරසිංහ මහතාගේ එම ගෙවත්තේ පැපොල් වගාවක් මෙන්ම සාර්ථක ඉඟුරු වගාවක් හා කහ වගාවක අස්වැන්න නෙළන්න ආසන්නව තිබෙනවා. ඒවායින් ලක්ෂ 45ක පමණ ආදායමක් ඉපයීමට හැකියාව ලැබෙනවා.

ඒ සියල්ලත් තම නිවසත් නීතිඥයින් ඉදිරිපිටදී පවුලේ ඥාතීන්ට නීත්‍යානූකූලව පවරා පොල්පිතිගම නගරයේ පවත්වගෙන ගිය පළතුරු කඩයටද සමුදී නික්ම යාමට ඔවුන්ට අවසන් හෝරාවේදී අවස්ථාව ලැබුණා.

"මගේ උපන්ගම පොල්පිතිගම ගල්ටැන් වැව. සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා මම. අම්මා තාත්තාතත් තවම ජීවතුන් අතර ඉන්නවා. අපි පවුලේ සියලු දෙනා සමඟියෙන් ජීවත් වෙනවා..." නිවසේ ගෘහ මූලිකයා වූ ගාමිණි කුමාරසිංහ මහතා එසේ සඳහන් කළා.

"මම මූලික අධ්‍යාපනය ගල්ටැන්වැව විදුහලේ දී ලබා වැඩිදුර අධ්‍යාපනයට පොල්පිතිගම පෙතියාගල පිරිවෙනට ඇතුළු වුණා. එහිදී අපොස සාමාන්‍ය පෙළත් උසස් පෙළත් සමත් වුණා. අමතරව දහම් පාසල් ධර්මාචාර්ය අවසන් විභාගයත් සමත් වුණා. කුඩා කාලයේ ඉඳන්ම ධර්මයට ලැදියි. මේ අතරේ ව්‍යාපාරික කටයුතුවලත් නිරත වුණා. පස්සෙ විවාහ වුණා. එයින් අපිට දුවෙකුත් පුතෙකුත් ඉන්නවා. දුවට දැන් අවුරුදු දාසයයි. ඇය මෙවර සා.පෙ. විභාගයට පෙනී සිටීමටයි ඉන්නේ. පුතාට අවුරුදු 13යි. එයා හත වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා. ඒ දෙන්නත් ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුණා. දෙන්නම ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ..."

"අපි පවුලේ හතර දෙනාම නිතර තෙිහාසික නාගොල්ල පන්සලට ගියා. මහමෙව්නාවටත් ගියා. බෞද්ධ විනයවර්ධන සමිතියටත් ගියා. පස්සේ රේරුකානේ චන්දවිමල හිමියක් උඩුදුම්බර කාශ්‍යප හිමියක් වගේම නාඋයගේ අරියධම්ම හිමියන්ගේ ධර්ම පොත් කියව්වා. බිරිඳත් දරුවනුත් ඒ පොත්පත් කියව්වා. සසර ගමන දුකක් බියක් බවට වැටහුණා. ඒ අනුව අපි හතර දෙනාම සසර ගමන ගැන තේරුම් අරන් තමයි මේ සසුනට ඇතුළත් වෙන්න තීරණය කළේ.."

ඔහුගේ බිරිඳ සමුද්‍රා කුමාරි අත්තානයක,

"මගේ උපන්ගම දිවුලපිටියේ හුණුපිටිය. කැලෑමුල්ල විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළට වාණිජ කෙරුවා. රැකියාවට යන්න තිබුණා. ඒත් යන් නැතුව විවාහ වුණා. මහත්තයා විවාහ වෙන දිනයෙත් කිව්වා ඔයා බැන්ඳට මම කවදා මහණ වෙනවා කියලා. එදා මමත් හිනාවෙලා කිව්වා එහෙනම් එදාට මමත් එනවා කියලා. ඒක විහිළුවට කිව්වා කියා සිතුවාට ඒ සිහිනය වසර දහයකට පසුව දරුවෝත් එක්ක මෙලෙස හැබෑ වෙනවා දකින්න ලැබීම ඇත්තටම පෙර පිනක් ද කියලා හිතෙනවා..."

"අපි මේ ගමන යනවට ගමේ බොහොමයක් කැමති නැහැ. ඒ අය කිව්වේ ඔය දෙන්නට ගිහි ජීවිතේ කළකිරුණාට මේ ළමා වියේ දුවයි පුතයි ඉදිරියේදී සසුනට සමු දුන්නොත් ඒ අයට යන්න ගෙදරක් නැති වෙයි, ඒ අයට යන කල දශාව මොකද්ද ඒ නිසා ඔය ගමන දරුවන්ගේ කටයුතු නිම කරලා යන්න කියා අපි දැනුවත් කෙරුවා. නමුත් දරුවෝ දෙන්නා කීවා අපි එහෙම වෙන්නේ නැහැ මේ ගමන යමු කියා. ඒ අනුව තමයි අපි මේ ගමන යන්න තීරණය කෙරුවේ.."

ඒස්. ඒ. කවිශ්කා සංජනී දියණිය

"මමයි මල්ලියි දෙන්නම ශිෂ්‍යත්ව සමත් වුණා. මම මෙරව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියත් කොරෝනා නිසා ඒක ලියන්න බැරිවුණා. මල්ලි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ. අපි දෙන්නම ශිෂ්‍යත්වය සමත් නිසා ශිෂ්‍යත්ව ආධාර ලැබුණා. අපි ඒ මුදල් අරගෙන තිබුණේ නැහැ. පස්සෙ අම්මායි තාත්තයි එක්ක පාසලට ගිහින් අපි දෙන්නාගේම මුදල් පාසලේ දියුණුවට භාර දුන්නා. ඒ අනුව අපි සසර ගමනට කෙටි කරගන්න යනවා.." ඇය හැඬුම්බර වදන් අතරින් කීවා.

මොරගොල්ලාගම සිසිර කැලේගම
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.