Nov
20
රංගන නම් කළ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනා මෙන්න

අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පිළිබඳවත් ඔහු එහිදී සඳහන් කිරීමට අමතක කර නැහැ.
පුවත්පතකට ඔහු කරන ලද එම අදහස් දැක්වීමෙන් උපුටා ගත් වැදගත් කොටසක් පහතින් කියවිය හැකියි.
ප්‍රශ්නය – 350 වැනි ටෙස්‌ට් කඩුල්ල සිම්බාබ්වේදී ලබා ගත්තා. මේ තරගාවලියේදී ඒ ඉලක්‌කය සපුරා ගන්න පුලුවන් වෙයි කියල ඔබ විශ්වාස කළාද?
පිළිතුර – සිම්බාබ්වේ තරගාවලියට යන කොට මට 350 ට තව කඩුලු 18 ක් විතර අවශ්‍ය වුණා. නමුත් මම කඩුලු සංඛ්‍යාව ගැන බලාපොරොත්තු කිසිම අවස්‌ථාවක තියා ගත්තෙ නැහැ. කණ්‌ඩායම වෙනුවෙන් මට දවා ගන්න පුලුවන් එක කඩුල්ලද ඒක ජයග්‍රහණයට බලපානව නම් මට ඇති. රට දිනවන එක මිසක් කඩුලු කොච්චර ගන්නවද කියන එක ගැන මම හිතන්නෙ නැහැ.
ප්‍රශ්නය – ඔබ දැන් ටෙස්‌ට් පන්දු යවන්නන් අතර පළමු තැනට ළඟා වෙන්න ආසන්න වෙලා ඉන්නෙ. කොහොමද ඒ ගැන දැනෙන හැඟීම.
පිළිතුර – මම ශ්‍රේණිගත කිරීම් බලාගෙන ක්‍රීඩා කරන්නෙ නැහැ. කණ්‌ඩායම වෙනුවෙන් කරන දෙය අනුව ඒ දේවල් සිදුවේවි.
ප්‍රශ්නය – ඔබ කණ්‌ඩායමට පැමිණි කාලයේ කඩින් කඩ තමයි තරග ලැබුණෙ. එක දිගට තරග කරන්න ලැබුණ නම් අද වෙනකොට ටෙස්‌ට් කඩුලු 500 සීමාවත් ඉක්‌මවා යන්න තිබුණා. මුරලි නිසා ඔබට ඒ අවස්‌ථාව අහිමි වුණාද?
පිළිතුර – මම කිසිම විටෙක කියන්නෙ නැහැ මුරලි නිසා මට ඒ කාලෙ කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වුණා කියලා. ඔහුගේ දක්‍ෂතාව අනුව කණ්‌ඩායමට ඔහුගේ තැන ලියවිලා තිබුණා. එදා මට එහෙම වුණා නම් අද මම කණ්‌ඩායමේ ඉන්නකොට තවත් ක්‍රීඩකයන් පිරිසකට ස්‌ථානය අහිමි වෙන්න පුලුවන්. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ දක්‍ෂතාවය. හැබැයි ඕන කෙනෙකුට මුරලි නිසා ස්‌ථානයක් මට අහිමි වුණා කියල කියන්න පුලුවන්. ඒත් මම කවදාවත් එහෙම හිතල නැහැ.
ප්‍රශ්නය – තව කොපමණ කාලයක් ශ්‍රී ලංකාවේ ටෙස්‌ට් ජයග්‍රහණවලට කර තියන්න බලාපොරොත්තු වෙනවද?
පිළිතුර – ඒක කියන්න බැහැ. කොහොමත් මම දැන්ම ටෙස්‌ට් ක්‍රීඩාවෙන් සමුගැනීමක් ගැන හිතල නැහැ. නමුත් මගේ ශරීර යෝග්‍යතාව සහ දක්‍ෂතාව නැති වුණදාට සමුගන්නවා. දැනටත් මගේ ශරීර යෝග්‍යතාව හොඳ තැනක තියා ගන්න අපේ පුහුණු අංශය ගොඩක් හොඳ සහයක් ලබා දෙනවා.
ප්‍රශ්නය – මුරලිගෙ වාර්තා බිඳ දමන්න හැකි පන්දු යවන්නෙක් ඔබට කියන්න පුලුවන්ද?
පිළිතුර – ටෙස්‌ට් කඩුලු 800 ක් දවා ගන්නව කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. දැන් දක්‌වන දක්‍ෂතා අනුව ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වීන්ට ටෙස්‌ට් කඩුලු 500 ක් හෝ 600 ක් වගේ ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. මොකද ඔහුට තවම අවුරුදු 29 ක් හෝ 30 ක් තමයි මට මතක විදිහට.
ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ දේශීය තරග ආකෘතිය වෙනස් වෙන්න ඕන කියල ප්‍රවීණ ක්‍රීඩකයන් කියනවා. ඔබත් එහෙම හිතනවද
පිළිතුර – ඔය ප්‍රශ්නය ක්‍රිකට් ආයතනයෙන් අහන්න ඕන. මම නම් ලොකු වෙනසක් වෙන්න ඕන කියල හිතන්නෙ නැහැ. මොකද අපේ රටේ බිහිවූ දක්‍ෂ ක්‍රීඩකයන් බිහි වෙලා තියෙන්නෙ මේ ආකෘතියෙන් ක්‍රිකට් ගහල. ඒ නිසා ලොකු වෙනසක් වෙන්න ඕන කියල මම හිතන්නෙ නැහැ. එක එක අයට හිතෙන විදිහ අනුව එහෙම කියන්න පුලුවන්. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපි වෙනුවෙන් ලොකු සහයක් ලබා දෙනවා.
ප්‍රශ්නය – ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ගෙන් පස්‌සෙ හෝ තව අවුරුදු 10 කින් විතර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය සඳහා සුදුසු ක්‍රීඩකයන් නම් කරන්න කිව්වොත් ඔබ හිතන්නෙ කවුරු ඒ තැනට සුදුසුයි කියලද?
පිළිතුර – එක එක කාලයට කණ්‌ඩායමට ඇවිල්ල දක්‍ෂතා දක්‌වන කොට ඒ ඒ ක්‍රීඩකයන් ජනප්‍රිය වෙනවා. දැන් කණ්‌ඩායම දිහා බැලුවහම කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අනාගතයේ ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවන්න පුලුවන් තරුණ ක්‍රීඩකයන් කියල කියන්න පුලුවන්. මොකද ඒ අය දක්‌වන දක්‍ෂතා ඉදිරියටත් මේ විදිහට කරගෙන ගියොත් ඒ තැන ලැබේවි