Jan
07
නීතිපතිගේ දැඩි විරෝධය මත ඊටීඅයි හිටපු අධ්‍යක්‍ෂවරුන්ට ඇප
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක් වූ විරෝධතාවය ප‍්‍රතික්‍ෂේප කළ කොටුව මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ජීවක එදිරිසිංහ ඇතුළු ඊ. ටී, අයි. හිටපු අධ්‍යක්‍ෂවරුන් සිවුදෙනා ඇපමත මුදාහැරීමට ඊයේ (06 ද) රාති‍්‍ර නියෝග කළේය.
මේ වන විට ඉදිරිපත් වී ඇති තොරතුරු අනුව එම සැකකරුවන් සිදුකර ඇති වංචාවේ සැබෑ වටිනාකම රුපියල් බිලියන 35 කට අධික බවත් එවන් අති විශාල මුදලක් වංචා කළ සැකකරුවන් ඇපමත මුදාහැරීමෙන් මහජන විරෝධතාවයක් ඇති විය හැකි බවත් පෙන්වා දෙමින් සැකකරුවන් ඇප මත මුදානොහරින ලෙසට නියෝ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණායෙන් ඉල්ලා සිටියේය.
එකී සැකකරුවන් ඇපමත මුදාහල හොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බවත් එමගින් ඉදිරි විමර්ශනවලට බාධාවක් ඇතිවිය හැකි බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා සැකකරුවන් අනීතික ආකාරයෙන් බෝට්ටු මාර්ගයෙන් හෝ ගුවන් මගින් විදේශ ගතවී අධිකරණය මගහැර සිටීමට ඉඩ ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.
තම අධිකරණය ප‍්‍රථමයෙන් සලකා බැලිය යුත්තේ ඇප පනත අනුව සැකකරුවන්ට ඇප ලබාදිය හැකි ද නොහැකි ද යන කරුණු බවත් ඔවුනට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ගොනු කර ඇත්තේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ගැනෙන චෝදනා වන බැවින් එකී චෝදනා තම අධිකරණයට ඇප ලබාදිය හැකි වැරදි වන්නේ යැයි මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
ඇප පනත යටතේ ඇප ලබාගත හැකි වැරදි සම්බන්ධයෙන් ඇප ලබා ගැනීමේ හිමිකම සැකකරුවන්ට ඇති බවද සිය නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරයා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කර සැකකරුවන් මුදාහැරීමට නියෝග කළේය. ඇප ලබා ගැනීමෙන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන දිනක සති දෙකකට වරක් එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන් විදේශගතවීම වළක්වමින් නියෝගයක් ද පනවනු ලැබීය.
ඊ. ටී, අයි. සමාගමේ හා ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ සිය මව වන සෝමා එදිරිසිංහ සහ තමන් සිව්දෙනා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ස්වර්ණමහල් ආයතනය මගින් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු භාරගත් බවට එම සැකකරුවන් ඊයේ (06 දා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප‍්‍රකාශ මගින්ම පිළිගෙන ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. එම සැකකරුවන් සිවුදෙනා ඇතුළු හිටපු අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව ව්‍යාපාර පනත යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
එවැනි මූල්‍ය වංචා චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අර්ජුන මහෙන්ද්‍රන් නමැත්තා විදේශගත වූ පසුව ඉදිරි අධිකරණ කටයුතු සඳහා ගෙන්වා
ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බවත් මෙම සැකකරුවන් ද විදේශගත වුවහොත් සිදුවනුයේ එවැනිම ආකාරයේ අතුරුදන්වීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. මෙම සැකකරුවන් ව්‍යාජ මුදල් පොත් භාවිත කර තැන්පත්කරුවන් තැන්පත් කළ රුපියල් ලක්‍ෂ 68640 ක මුදලක් මහ බැංකුවටත් රහසින් වංචා කර ඇති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා එකී වංචාවේ බරපතළකම නිසාම ඒ සම්බන්ධයෙන් සෙවීමට වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කළ බවද අධිකරණයට පෙන්වා දුන්නේය.
එකී වංචාවලට සැකකරුවන් වගකිව යුතු බවට එම ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව මගින්ම පෙන්වා දී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරුවන්ගේ වංචාවලට හසුවූ තැන්පත්කරුවන් විශාල පිරිසක් එම වේදනාවෙන් පීඩා විඳිමින් මියගොස් ඇති බවත්, තවත් දහස් ගණනක් මහ මගට ඇද වැටී ඉතා අසරණ තත්ත්වයට ඇදවැටී ඇතැයි ද තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනාධිපති මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
යුක්තිය ඉෂ්ටවීමට බාධා වන අයුරින් කටයුතු කර ඇති බව එක් සැකකරුවකු අධිකරණය මගහැර සැ`ගව සිටීමෙන්ම පැහැදිලි වන්නේ යැයි පෙන්වා දෙමින් අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආනන්ද සරත් ගම්ලත්ආරච්චි මහතා, මෙයටත් වඩා අඩු චෝදනා එල්ල වී තිබූ සක්විති රණසිංහ ඇප නැතුව වසර ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාරගත කරලා තිබුණා. සෙලින්කෝ සභාපතිවරයා පමණක් නෙමෙයි ඔහුගේ බිරිඳත් රිමාන්ඞ් භාරයේ සිටියා සෑහෙන කාලයක්. ඔවුන් දේපළ විකුණා තැන්පත්කරුවන්ගේ විශාල මුදලක් ආපසු ගෙවලා තියෙද්දී අවුරුද්දක් විතර රිමාන්ඞ් එකේ හිටියා. එහෙම වුණත් තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වංචා කළ මේ සැකකරුවන් තමන්ගේ මුදල් බලය හා දේශපාලන බලය උපයෝගී කරගනිමින් එක දවසක්වත් රිමාන්ඞ් නොවී නීතියෙන් ගැලවිලා ගිහින් තිබෙනවා. මේක උසාවියටත් කළ අපහාසයක් වන බවද පෙන්වා දුන්නේය. මෙම ඇප නියෝගය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (06දා* උදෑසන සිටම අධිකරණය අසලට වී සිටි තැන්පත්කරුවන් පිරිසක් සිය විරෝධය පළ කරමින් අදහස් දැක්වූහ. විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම රජයද තමන් රැුවටීමට ලක්කළ බවද ඔවුහු හඬා වැටෙමින් අදහස් දැක්වූහ. එම නඩුව ලබන මාර්තු 3 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය එහිදී දින නියම කළේය. රජයේ අධිනීතිඥ සහන්‍යා ගජනායක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි යන මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි නිලූපුල් සෝමසිංහ, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිඥ අරවින්ද ගමගේ, සජිත ජයවර්ධන, අසේල රැුකව, අනුර සේනානායක, සෙනාල් මතුගම, අසේල සේරසිංහ, අනුර චන්ද්‍රසිරි, නිර්මාල් කොඩිතුවක්කු ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා විත්තිය නියෝජනය කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක, ඡායාරූප - තුෂාර අතපත්තු