Dec 06

තවම අවුරුදු හතයි. විශ්වය ගැන නොකියන රහස් රැසයි


කාලය විසින් පමණටත් වඩා අඩන්තේට්ටම් කරන ලද නිවසෙහි එක් අන්තයක් වෙන් කොට ඇත්තේ නිමල් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ පදිංචිය පිණිසය. ඉතිරි කොටසත් එළිමහන් භූමියත් ”වැඩ බිම” ලෙස නම් කළ හැකිය. තැන තැන අලූත්වැඩියාව පිණිස නතර කොට තිබෙන මෝටර් රථ කිහිපයක්ය. තවත් තැනක ගලවා ඉවත දමන ලද මෝටර් රථ අමතර කොටස් දැකගත හැක. ඒ හැරුණු කොට අප දකිමින් හිඳින සහ පවුලේ උදවිය දර්ශනයට නිවසක් යැයි පැවසිය හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට නිමල් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් තවමත් එහි පදිංචිව සිටින හෙයින්ය. කඩිනමින් අලූත්වඩියාවක් ඉල්ලා සිටින මේ කියන නිවසෙහි හිමිකාරීත්වය වෙනත් පුද්ගලයෙකු සතු බැවින් නිමල් ඇතුළු පවුලේ උදවිය කලක් තිස්සේ එහි රැඳී සිටින්නේ මාසික කුලී පදනම මතය.

මෝටර් රථ අලූත්වැඩියාව පිළිබඳ උපන් හපන්කම් දක්වන නිමල් සහ පවුලේ සාමාජිකයන් රැඳී සිටින මෙම නිවස පිහිටා ඇත්තේ නයිවල දිවුලපිටිය පාර 11 වන පටුමගෙහිය. ඉකුත් දිනක අප එහි යන විට ද නිමල් සිය දෛනික රාජකාරිය අරඹා තිබුණු අතර අප එහි ළඟා වීමත් සමඟ මඳකට රාජකාරියෙන් මිදෙන නිමල් අපත් සමඟ කතාබහට එක් විය. අපගේ කතාබහේ මාතෘකාව බවට පත්වූයේ මෝටර් රථ කාර්මිකයකු වන හතළිස් නව හැවිරිදි නිමල් වීරසිංහගේ කාර්මික හැකියාවන් පිළිබඳ නොව ඊට හාත්පසින් වෙනස් කරුණක් සම්බන්ධයෙන්ය. මුල, මැද, අග නිවැරදිව ගලපා එය සටහන් කළ යුතු බැවින් අප එහි ළඟා වූ කාරණය පිළිබඳව නිමල් හමුවේ කරන ලද පැහැදිලි කිරීමෙන් අනතුරුව එයට ප‍්‍රවේශයක් සපයමින් නිමල් සිය කටහඬ අවදි කරන්නට විය.

‘‘මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නව. පවුලෙ වැඩිමලා දුවෙක්. ලොකු දුව ඉපදිලා වසර කීපයකට පස්සේ අපිට දෙවෙනි දරුවා ලැබෙනව. එයත් දුවෙක්. බිරිඳ රස්සාවක් කරන්නේ නෑ. මෝටර් රථ අලූත්වැඩියා කරන එක තමයි මගේ රස්සාව. දවස තිස්සෙම යකඩ එක්ක හැප්පෙන රස්සාවක් කරා කියල මම අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නෑ. එදා ඉඳන්ම මගේ හීනය වෙලා තිබුණේ අපේ කියල ගෙයක් හදාගෙන බිරිඳ, දරුවන් එක්ක සතුටින් ඉන්න එක විතරයි. ඔය අතරේ තමයි පුතා උපදින්නේ. දෙවෙනි දුව ඉපදිලා අවුරුදු දහතුනකට පස්සෙ තමයි පුතා උපදින්නෙ. දැන් පුතාට අවුරුදු හතක් වෙනව. පුතා ඉගෙන ගන්නෙ මාරපොල ප‍්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ. පුතා ඉපදිලා අවුරුදු දෙක හමාරක් විතර ගත වුණාට පස්සෙ එයා ටිකෙන් ටික ඉංග‍්‍රීසි වචන කියන්න ගත්ත. ඊට අමතරව හින්දි භාෂාවෙ එන වචන කියන්න ගත්ත. 

ඊට අමතරව පෙළක් වෙලාවට පෙර භවයක් ගැන ග‍්‍රහලෝක ගැන ඒ වගේම ලෝක සිතියමේ ඇමරිකාව පිහිටලා තියෙන තැන ආදිය සම්බන්ධයෙන් වරින් වර කියන්න ගත්ත. කොහොමින් හරි ඒක ටික දවසක් යද්දි දරුවාට අමතක වෙලා යනව. ඒත් ඉංග‍්‍රීසි භාෂාවයි හින්දි භාෂාවයි කතා කරන එක මෙයා නතර කළේ නෑ. මමවත් මගේ නෝනවත් ඒ ගැන ලොකුවට හිතුවේ නෑ. ඔහොම කාලයක් යද්දී මගෙන් වාහනය අලූත්වැඩියා කර ගන්න මෙතැනට එන මහත්තයෙක් දරුවාව දැකල දරුවාගේ ඉංග‍්‍රීසි දැනුම ගැන පැහැදිල දරුවා ගැන විමසිලිමත් වෙන්න ගත්ත. ඊට පස්සෙ ඒ මහත්තයාම තමයි අපිත් එක්ක කිව්වේ දරුවාට අසාමාන්‍ය ඉංග‍්‍රීසි දැනුමක් තියෙනව ඒ හින්ද දරුවා ගැන ටිකක් අවධානය යොමු කරලා බලමු කියල. ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ දරුව ඉංග‍්‍රීසි වචන නිතර නිතර කිව්වට එයාට හොඳින් ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් කියල. නමුත් හොඳින් ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් අය ඇවිත් දරුවත් එක්ක කතා කරන්න ගත්තට පස්සේ තමයි අපි දැනගත්තේ හින්දි භාෂාව වගේම ඉංග‍්‍රීසි භාෂාවත් එයාට එක වගේම කතා කරන්න පුළුවන්කම තියෙනව කියල....”

තම පුතණුවන්ගේ කුඩාම අවදිය මතකයෙන් මෙනෙහි කළ නිමල් ඉහත සඳහන් විස්තරය අප හමුවේ සඳහන් කර සිටියේ පහතින් පෙළ ගැසෙන ‘‘අරුමැති අන්දරය” පැවසීම පිණිස ප‍්‍රවේශයක් සකසා ගැනීම පිණිසය. මෙතැන් සිට මෙහි සටහන් කරනු ලබන්නේ අපගේ කතා නායකයා වන වීරසිංහ ආරච්චිගේ සෙනුර අනුහස් උපන් දා සිට මේ දක්වා ගතවූ වසර 7 තුළ ඔහු තුළින් විද්‍යමාන වන සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවන් කිහිපයක් පිළිබඳවය. ඊට පෙර මෙහි ලා වැදගත්ම කරුණක් සටහන් කළ යුතුව ඇත. එනම් පහත පෙළ ගැසෙන්නේ පෙර භවය පිළිබඳ පවසන දරුවෙකු පිළිබඳ සම්ප‍්‍රදායික සටහනක් නොවන බවය.

නිමල් සහ ජෙනිටා යුවළට දාව මෙලොව දිනන සෙනුර අනුහස් මේ වන විට හත් හැවිරිදිය. දඟකාරකම් ආදියෙන් අඩුවක් නැති සෙනුර අනුහස් තම කැදැල්ලට ආ දා සිට ඔහුව ”මැණිකක්” සේ රැකබලා ගන්නා නිමල් සහ ජෙනිටා යුවල තම පුතණුවන්ගේ වෙනස්ම ආකාරයේ ක‍්‍රියාකාරකම් හා හැසිරීම් ආදිය පිළිබඳව නිරීක්ෂණය කරනු ලබන්නේ සෙනුර ඉපදී වසර දෙක හමාරක් වැනි කෙටි කලක් ගත වීමත් සමගය. ඒ අනුව තම වැඩිමහල් දියණියන් දෙදෙනාගෙන් දැකගත නොහැකි වූ විශේෂතා කීපයක් නිරීක්ෂණය කරන දෙමාපියන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරනු ලබන්නේ ඉන් එපිට පවතින ජීවන අරගලය ජය ගැනීම පිණිස වෙහෙසීම හැර අනෙකුත් කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඒ වන විට ද කාලය විසින් ඔවුන්ට වේලාවක් වෙන් කර නොතිබීම හේතුවෙන්ය. ඒ පිළිබඳව නිමල්ගෙන් කරන ලද විමසීමේදී තම පුතණුවන් වෙනුවෙන් කළ යුතුවම පැවති යුතුකමක් මගහැරී ගිය තාත්තා කෙනෙකු සතුවන ශෝකීය කටහඬකින් එයට පිළිතුරු දුන් නිමල් පවසා සිටියේ දරුවන්ගේ බඩ කට පිරවීමත් ඔවුන්ට හැකි තරමින් හෝ අධ්‍යාපනය ලබාදීමත් පිණිස දිනපතා කීයක් හෝ මුදලක් ඉපයීම හැර වෙනත් දේ පිළිබඳ අවධානය යොමු කිරීමට තරම් කාල වේලාවක් තමන්ට හෝ බිරිඳට නොතිබූ බවක්ය.

‘‘පුංචි කාලේ ඉඳන්ම දරුවා ග‍්‍රහලෝක ගැන ඒ වගේම විවිධ ග‍්‍රහ වස්තූන් ගැන කියවන්න ගත්ත. ඊට අමතරව ලෝකයෙන් වඳවී ගිය සත්ව විශේෂයක් වන ඩයිනොසරයන් ගැන මොන මොනවදෝ කියෙව්ව. ඒ හැර මෙතන වාහන වැඩපොළක් තියෙනවා කියල වෙන පොඩි ළමයි වගේ ඒ ගැන පුතාට වගේ වගක් තිබුණේ නෑ. සෙල්ලම් බඩුවක් ඉල්ලූවත් පුතා ඉල්ලූවේ සත්තු ඉන්න සෙල්ලම් බඩු. අපිත් පුළු පුළුවන් විදියට ඒව එයාට ගෙනත් දුන්න. ඊට පස්සේ පුතා මොකද කරන්නෙ ඒව ගැන විවිධ විස්තර අපිත් එක්ක කියන්න ගත්ත. ඒ සත්තු ජීවත් වෙච්ච කාලය ගැන ඩයිනෝසරයන්ගේ ඇටකටු ගැන ලොකු දැනුමක් අවුරුදු තුන හතරෙ කාලේ ඉඳන්ම පුතා ළඟ තිබුණ. ඒක දැනුත් එහෙමයි. 

දැනුත් සමහර දවස්වලට උදැල්ලක් අරගෙන වත්තෙ තැන් තැන් හාරනව. ඔය මොකද කරන්නේ කියල ඇහුවම කියනව ඩයිනෝසරයන්ගේ ඇටකටු පොළොව යට තියෙන්න පුළුවන් ඒව හොයනව කියල. ඒ ඇරුනම පිටසක්වල ජීවීන් ගැන ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළ පරීක්ෂණ සම්බන්ධව වරින් වර පුතා අපිත් එක්ක විස්තර කියනව. ඒ වෙලාවට මම අහනව ‘‘ඔයා මේව දන්නෙ කොහොමද කියල” එතනදි පුතා දෙන උත්තරය තමයි ‘‘ඒව රහස්” කියන එක. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ තියෙන ‘‘ඒරියා 51” කියන ප‍්‍රදේශයක් ගැනත් පුතා වරින්වර විස්තර කියනව. අපිට ඒව ගැන තේරුමක් අවබෝධයක් නැති හින්ද මේ විස්තර ගෙදර අපි තුන් හතර දෙනා දැනගෙන හිටියා මිසක් ඒ ගැන අපි පිටට කියන්න ගියේ නෑ. ඒ ගැන ලොකු දැනුමක් අවබෝධයක් අපට තිබුණත් නෑ. 

ඔහොම ඉන්න අතරේ තමයි මගෙන් වාහනය අලූත්වැඩියා කර ගන්න මෙතෙන්ට එන කරුණාරත්න කියල මහත්තයෙක් පුතාගේ මේ හැසිරීම ගැන අපිටත් වැඩිය හොඳින් අවධානය යොමු කරන්න ගත්තේ. ඒ මහත්තයා පුතත් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරාට පස්සේ පුතා ඉංග‍්‍රීසී භාෂාව හසුරුවන ආකාරය දැකල අපිත් එක්ක කිව්වා ඒක එසේ මෙසේ හැකියාවක් නෙවෙයි පුතාට ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව තියෙන්නේ පුදුම උපදවන සුළු හැකියාවක් කියල. ඊට පස්සේ හින්දි භාෂාව හොඳින්ම දන්න කීප දෙනෙක්ම පුතත් එක්ක හින්දි භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්ත. එතනදිත් ඉංග‍්‍රීසි භාෂාවට නොදෙවෙනි ආකාරයට හින්දි කතා කරන්නත් පුතාට පුළුවන්කම තියෙනවා කියල ඒ අයගෙ මාර්ගයෙන් අපි දැනගත්ත. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ කරුණාරත්න මහත්තයාගේ මැදිහත්වීමෙන් පුතා සම්බන්ධව වීඩියෝ එකක් කරලා සමාජ ජාල මාධ්‍යට නිකුත් කරන්නත් ඒ මහත්වරු කටයුතු කළා. ඊට පස්සේ තමයි අපිවත් නොහිතපු ආකාරයට පුතා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තෙ...”

නිමල් සතු අගනාම වස්තුව වන සෙනුර අනුහස් පුතණුවන් පිළිබඳ පුවතට තටු ලැබෙන්නේ එම වීඩියෝව විද්‍යුත් මාධ්‍යයට මුදාහැරීමත් සමගය. ඉන් අනතුරුව මෙම අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුත් දරුවා පිළිබඳව සමාජයේ බොහෝ දෙනකුගේ අවධානය යොමුවන්නට ගත්තේය. ඉංග‍්‍රීසි භාෂාව සහ හින්දි භාෂාව හැසිරවීමට සමත් එම දරුවා තුළ කුමන හෝ සුවිශේෂී බවක් පවතින බවත් ඉංග‍්‍රීසි භාෂාව උච්චාරණයේදී එම දරුවා විසින් යුරෝපීය ජාතිකයෙකුට නොදෙවැනි ආකාරයේ භාෂා විලාශයක් ප‍්‍රදර්ශනය කිරීම මෙම දරුවා තුළින් දැකගත හැකි විශේෂ ලක්ෂණයක් වන බවත්ය.

අප ඉකුත් දිනෙක නයිවල පිහිටි සෙනුර අනුහස් පදිංචි නිවස වෙත ළඟා වූයේ ඉහත සඳහන් මතයන් අතුරින් වඩාත් නිවැරදි මතය කුමක්ද යන්න පිළිබඳව සැක හැර දැන ගැනීම පිණිසය. ඒ වන විට ද සෙනුර අනුහස්ගෙ විස්තර දැනගත් කිහිප දෙනෙක් ඔහුගේ නිවෙසට වරින් වර පැමිණ ගොස් තිබූ අතර එම පිරිස අතරට කලක් ඇමරිකාවේ පදිංචිව සිටී ශ‍්‍රී ලාංකික කාන්තාවක් ද අයත්ය. ඇයත් සමග චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හසුරවන සෙනුර අනුහස් එහිදී එම කාන්තාව අමතමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ට ග‍්‍රහ වස්තූන් පිළිබඳව සොයාබැලීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය උපකරණයක් වන දුරේක්ෂයක් නොමැතිවීම තමන්ට මහත් ගැටලූවක් බවට පත්ව ඇති බවත්ය. සෙනුර අනුහස්ගෙ එම ඉල්ලීම හමුවේ සානුකම්පිත වන එම කාන්තාව විසින් ඉන් අනතුරුව දුරේක්ෂයක් මිලදී ගෙන සෙනුර අනුහස්ට එය ප‍්‍රදානය කර තිබෙන අතර ඉන් උද්දාමයට පත්වන අනුහස් ඉන් අනතුරුව එම කාන්තාව අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී තමන් විසින් විශ්වයේ පිහිටි ග‍්‍රහ වස්තූන් පිළිබඳ මෙතෙක් හෙළි නොවූ රහස් රැුසක් හෙළි කරන බවක්ය. 

ඊට අමතරව පෘථිවියේ භූගෝලීය පිහිටීමත් සත්ව ලෝකය පිළිබඳවත් නිරන්තර අවධානයෙන් පසුවන අනුහස් තම සමීපතමයන් හමුවේ නිතර නිතර පවසන කරුණක් බවට පත්ව ඇත්තේ තමන්ට විවිධ දේ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා පැවතිය යුතු විද්‍යාගාර පහසුකම් නොමැති වීම ඊට බාධාවක්ව පවතින බවත්ය. තමන් මුණගැසී කතාබහ කිරීම පිණිස පැමිණෙන අමුත්තන් සඳහා නිශ්චිත කාලයක් වෙන් කිරීම ද අනුහස් තුළ පවතින තවත් විශේෂත්වයක් බව ඔහු හා කතා බහ කළ බොහෝ දෙනෙක් අත්දැකීමෙන් පසක් කරගත් සත්‍යයක් බවට මේ වන විට පත්ව ඇත. කෙසේ වෙතත් අපගේ වැටහීම බවට පත්ව ඇත්තේ දුප්පත් දෙමාපිය දෙපළකට දාව උපන් මෙම අගනා ‘‘මිනිස් සම්පත” සතු දැනුම සහ අවබෝධයක් තව තවත් ඔප මට්ටම් කළ යුතු කාලය දැන් පැමිණ ඇති බවය. 

එය අනුහස්ගේ දෙමාපිය දෙපලට තනිව කළ නොහැකි කාරියක් බවට පත්ව ඇත්තේ දුප්පත්කම ඊට හරස් වීම හේතුවෙනි. කුලී පදනම මත ලබාගත් නිවසක නිවසමින් කාර්මික වෘත්තියේ නියැළෙන නිමල්ගේ ලොකුම සිහිනය බවට මේ වන විට පත්ව ඇත්තේ තම පුතුණුවන් අසාමාන්‍ය හැකියාවන් හඳුනාගත් කෙනෙකු හෝ කීප දෙනෙකු හෝ ආයතනයක් හෝ වේවා ඒ කවුරුන් හෝ තමා පුතණුවන්ට අත්වැලක් වනු දැකීමය. අනුහස් සතු කුමන හෝ වාසනා මහිමයක් හේතුවෙන් එය සැබෑවක් බවට පත් වේ නම් අපගේ ද පැතුම එය වන අතර මෙම සුවිශේෂී ‘‘මොළය” රටක් රාජ්‍යයක් ජය ගැනීම පිණිස වුවද ඔපමට්ටම් කළ හැකි බව අපගේ ද වැටහීමය. මේ උදාවී ඇත්තේ වගකිව යුත්තන්ගේ අවධානය හත් හැවිරිදි කුඩා දරුවෙකු වූ වීරසිංහ ආරච්චිගේ සෙනුර අනුහස් වෙත යොමුවිය යුතු අත්‍යවශ්‍යම මොහොතය.

රුවන් ජයවර්ධන,
සිරිමෙවන් පතිරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.