Dec 25

කිරිදරු ජාවාරමේ සුලමුල මෙන්න


මවු කුසේ සිටින දරුවන්ට මිලක් නියම කරමින් දරු ප්‍රසූතියෙන් පසු එම දරුවන් විකුණන ජාවාරමක සුලමුල සොයා ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පසුගියදා සමත් විය. ගැබිනි මවුවරුන්ට සත්කාර කරන සමාජ සත්කාර ආයතනයක් මුවාවෙන් මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වැටලීමෙන් පසුව ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නගේ අධීක්ෂණයෙන් මාස ගණනක් තිස්සේ දක්ෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එසේ කරුණු අනාවරණය විය.

මොරටුව කල්දේමුල්ල සී.පී. ද සිල්වා මාවතේ පිහිටුවා ඇති නේෂන් ලංකා නමැති ආයතනය මගින් කරගෙන යන නීති විරෝධී ක්‍රියාවක් ගැන මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක කමිටුවේදී අනාවරණය වූයේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදාය. ඒ ආයතනය පවත්වාගෙන යන මාතලේ උකුවෙල පදිංචි මංජුල ස්වදේශ් උක්වත්ත යන අය වෙත එම කමිටුවේදී චෝදනා එල්ල වූ අතර ඒ ගැබ් ගත් කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් මොහු විසින් කර ඇති මිනිස් ජාවාරම ගැනය. ඒ පිළිබඳ ගල්කිස්ස පොලිසියේ ප්‍රජා සංවර්ධන නිලධාරී සමන් පාලිත වීරසිංහ විසින් මෙකී සිද්ධිය පිළිබඳව වාර්තාවක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් විමර්ශන ඇරඹූ අතර විමර්ශන මගින් කරුණු රැසක් අනාවරණය කර ගනිමින් ජාවාරමේ සුලමුල සොයා ගැනීමට පොලිසියට හැකි විය. මෙහිදි බිළිඳුන් දරුවන් නොමැති වෛද්‍යවරුන්, නීතිඥවරුන්, මෙන්ම ඉහළ තලයේ රැකියා කරන අයට විකුණා ඇතැයිද අනාවරණය වන්නේය.

මංජුල උක්වත්ත යන නමැත්තා 2019 අගෝස්තු 19 වනදා අන්දිරිස් සිල්වා මාවත මොරටුව ලිපිනයේ ලියාපදිංචි කර ඇති සී.එස්.සී. ලංකා සමාගමට සම්බන්ධ කල්දේමුල්ල සී.පී. ද සිල්වා මාවතේ ගොඩනැගිල්ලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ ගැබිනි මවුවරුන්ට නේවාසිකව සත්කාර කරන බව ඉඟි කරන සමාජ සේවාවක් පවත්වාගෙන යන මුවාවෙනි. සමාජ සත්කාරයක් වශයෙන් පවත්වාගෙන ගිය මෙම ස්ථානය ගැන මුහුණු පොත හරහා ප්‍රචාරය කරමින් අතවරයට ලක්ව ගැබ් ගත් මවුවරුන්ට සේවා සලසන බව කියමින් ඔවුන්ගේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් නැති මවුපියන් වෙත ලක්ෂ එක හමාරක් තුනත් අතර මුදලකට දරුවන් අලෙවි කර ඇතැයි අනාවරණය විණි. එම ගොඩනැගිල්ල ලබාගෙන ඇත්තේ මාසික රුපියල් තිස්අට දහසක කුලියටය. ගොඩනැගිල්ලේ හිමිකාරිය වෙත රුපියල් 240000 ක අත්තිකාරම් මුදලක්ද උක්වත්ත නමැත්තා විසින් ලබා දී තිබුණි.

කල්දේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ස්ථානයේ ගැබිනි මවුවරුන් 16 දෙනකු සිට ඇති අතර තවත් ගැබිනි මවුවරුන් 22 දෙනකු පමණ පිරිසක් දරු ප්‍රසූත කොට ගොස් ඇති බවත් අනාවරණය කර ගැනීමට ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබේ. ඒ අනුව අඟහරුවාදා (22) එම ස්ථානය වැටලූ පොලිසිය එම ස්ථානයේ සිටි ගැබිනි මවුවරුන් 16 දෙනා සිය භාරයට ගෙන ති​බේ.

ඔවුන් සන්තකයේ තිබූ ගැබිනි පත්‍ර සටහන් 16ක්, සී.එස්.සී. ලාංඡනය සහිත දරුවන් හදාවඩා ගැනීමට කැමැත්ත පළකර අපේක්ෂාවෙන් සිටින මවුපියන්ගේ විස්තර ඇතුළත් අයැදුම්පත්‍ර 05ක්, සී.එස්.සී. සමාගම ඇපයෙන් සීමිත සමාගමක් ලෙස කර ඇති ලියාපදිංචි සහතිකය. දරුවන් හදා වඩා ගැනීමට භාර ගත් මවුපියන්ගේ හා දරුවන්ගේ ස්වාභාවික මවුවරුන් 15 දෙනකුගේ විස්තර ඇතුළත් පෝරමයක්, සී.එස්.සී. ලාංඡනය සහිතව ෆේස්බුක් මගින් පළකළ දැන්වීම් පත්‍රිකාවක්, අන්තර්ජාලය ඔස්සේ ලබා ගත් සාමාජික අයැදුම්පත්‍ර 19ක්, සුමිත් කුමාර පොන්නම්පෙරුම යන අය විසින් මෙම ආයතනය වෙත පිරි නමා ඇති රුපියල් 170,000ක් වටිනා ශීතකරණයේ ඉන්වොයිස් පත්‍රයක් මෙලෙස​ පොලිසිය භාරයට ගෙන තිබේ.

මංජුල උක්වත්ත නමැත්තා විසින් සී.එස්.සී. නමැති තම සමාගමේ නමින් කර ගෙනගිය මෙම ජාවාරමේ සියලු මෙහෙයුම් කටයුතු මුහුණු පොත හරහා කර තිබේ. අනියම් සම්බන්ධතා, ප්‍රේම සබඳතා හා බාහිර සබඳතා මගින් ලිංගික හැසිරීම්වල නිරතව ගැබ් ගන්නා කතුන් හා එම ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව සිටින පුද්ගලයන් අරමුණු කර ගනිමින් මොහු විසින් මෙම මුහුණු පොත ගිණුම් නිර්මාණය කර ඇත.

විවාහ වී වසර 10ක 20ක වැනි කාලයක් දරුවන් නොමැතිව දරුවන් හදා වඩා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අඹු සැමියන් මෙම ගිණුම මගින් සම්බන්ධ කර ගනිමින් මෙම ජාවාරම කර ගෙන ගොස් ඇතැයිද දරුවන් ප්‍රසූත කරන කාන්තාවන්ට උපකාරයක් බව අඟවා දරුවන් නීත්‍යනුකූලව දරුවන් නොමැති දරුවන් හදා වඩා ගන්නා අය හට ගිවිසුම් ගසමින් භාර දීමේ වගකීම මොහු විසින් කර ඇති බවත් මූලික විමර්ශන මගින් තහවුරු වී තිබේ.

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය මැද සමස්ත සමාජයේම නෙත ගැටුණු මෙම මිනිස් ජාවාරමේ මහ මොළකරු පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් මෙන්ම ව්‍යාපාරික නඩයක්ම සිටින බවටද තොරතුරු ලැබේ. ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මේ සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කළද ඔහු ඇප මත මුදා හැරෙන්නේ පොලිසියේ නිසි කරුණු දැක්වීමක් නැතිව දැයි විමසිය යුතු කරුණකි.

පහත දැක්වෙන්නේ අත්අඩංගුවට ගත් මව්වරුන්ගේ අදහස්ය. (නම් ගම් මනඃකල්පිතය.)

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි හිරුණි ප්‍රියදර්ශනී

2009 වර්ෂයේ නාඳුනන දුරකථන ඇමතුමක් මගින් යුද හමුදාවේ සේවය කරන හර්ෂණ නමැත්තා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තා. ඔහු එක්ක අඹු සැමියන් මෙන් ජීවත් වුණා. එයින් දරුවකු පිළිසිඳ ගත්තා. ඉන්පසු ඔහු එම දරුවා නැති කරන ලෙස කියා පැවසුවා. ඒ වන විට දරු ගැබට මාස 06ක් වී තිබුණා. මුහුණුපොතෙන් මොරටුව ප්‍රදේශයේ සී.එස්.සී. ලංකා ආයතනය ගැන දැනගෙන එහි ප්‍රධානී මංජුල උක්වත්ත එක්ක සම්බන්ධ වෙලා පසුගිය සැප්තැම්බර් 20 වනදා එම ස්ථානය වෙත පැමිණ එදින පටන් මේ දක්වාම එහි සිටියා. මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වී කළුබෝවිල රෝහලේ සායන සඳහා යොමු වුණා. මට අවශ්‍ය විටමින් හා පෝෂණ මෙම ආයතනය මගින් ලබා දෙනවා.

සෙවණගල දලුක්කැටිය ප්‍රදේශයේ පදිංචි නිදර්ශනී


2010 පියුමාල් නමැති කෙනා සමග විවාහ වුණා. අපට ගැහැනු දරුවෙක් ඉපදුණා. මගේ සැමියා රිය අනතුරකට ලක්ව මිය ගියා. පසුව මම පිළියන්දල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ආවා. එතැන් සිට ආයතනයේ සේවය කරන කැලුම් සඳරුවන් නමැත්තා එක්ක අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියා. ඔහු නිසා තමන් ගැබ් ගෙන ඇතැයි අනියම් සැමියාට පැවසුවත් ඔහු දරු ගැබ විනාශ කරගන්නැයි කිව්වා. සී.එස්.සී. ආයතනය ගැන මුහුණු පොතෙන් දැනගෙන පසුගිය අගෝස්තු 11 වැනිදා එම ආයතනයට පැමිණියා. අගෝස්තු 23 වනදා කළුබෝවිල රෝහලේ දී දරුවා ප්‍රසූත කළා. ඒ දක්වා සියලු වියදම් මංජුල උක්වත්ත දැරුවා. එසේ කළ දරුවා වෙනත් පවුලකට දීමට කැමැත්ත පළ කළා. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ යුවළකට නීතිඥවරියක ඉදිරියේ ලිපි අත්සන් කර දරුවා හදා වඩා ගැනීම සඳහා භාර දුන්නා. ඒ අය කොහේ ඉන්නවද කියලා දන්නෙ නැහැ. මම දරුවා හදාගන්න ගත්ත අයගෙන් කිසිදු මුදලක් ගත්තෙ නැහැ.

නයකරේවත්ත ගනේගම බද්දේගම පදිංචි මල්ෂා රසාංජලී

2018 නොවැම්බර් 06 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මාත් එක්ක අධ්‍යාපන ලබන සඳරුවන් නමැති අය එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගත්තා. ඔහු එක්ක එකට ජීවත් වුණා. පසුගිය මාර්තු මාසයේ මම ගැබ්ගත්තා. ඒ ගැන සඳරුවන්ට දැනුම් දුන්නාම ඔහු මොරටුව සී.එස්.සී. ආයතනය ගැන කිව්වා. මංජුල උක්වත්තට කතා කරල දරුවා ප්‍රසූත කිරීමෙන් පසු දරුවා හදා වඩා ගැනීම සඳහා වෙනත් යුවළකට ලබාදීමට ඔහු පොරොන්දු වුණා. අම්මා සමග හම්බන්තොට සහෝදරයාගේ නිවසේ සිට සායනවලට සහභාගි වී පසුගිය ජූලි 13 වනදා දරුවා ප්‍රසූත කළා. ජූලි 15 වනදා ප්‍රසූත කළ දරුවා එක්ක මොරටුව සී.එස්. සී. ආයතනයට ඇවිල්ලා මංජුල උක්වත්ත හමුවී මග්ගොන ප්‍රදේශයේ පදිංචි යුවළකට දරුවා හදා වඩා ගැනීමට බාර දුන්නා. පස්සේ මං කැම්පස් එකට ගියා.

බදුල්ලේ පදිංචි චන්දිමා මදුෂානි

මම මහියංගණය 06 කණුව ලිපිනයේ පදිංචි මිතුරියකගේ සහෝදරයාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තා. එයින් මම ගැබ් ගත්තා. පසුගිය අගෝස්තු 08 වනදා බදුල්ල පළාත් මහ රෝහලේදී ගැහැනු දරුවකු ප්‍රසූත කළා. පසුව මුහුණු පොත ඔස්සේ දැනගත් සී.එස්. සී. ආයතනයට ගිහින් මංජුල උක්වත්ත හමුවී ඔහු හඳුන්වා දුන් යුවළකට දරුවා භාර දුන්නා. එම යුවළගේ නිවසේ නතර වී තෙමසක් මවුකිරි ලබා දුන්නා. දරුවා භාර දීම වෙනුවෙන් මම මුදල් ගත්තේ නැහැ.

මාතර අකුරැස්ස පදිංචි මනෝහාරී

වැල්ලවාය ඇතිලිවැව පදිංචි මධුසංක යන අය එක්ක සම්බන්ධතාවක් ඇති කර ගත්තා. ඒ අනුව දරුවකු පිළිසිඳ ගත්තා. මේ ගැන මධුසංකට කී විට ඔහු දරු ගැබ විනාශ කරන්න කියා බල කළා. පස්සේ දන්න අක්ක කෙනකු මාර්ගයෙන් සී.එස්.සී. ආයතනය ගැන දැනගෙන මංජුල උක්වත්ත හමුවුණා. පසුගිය සැප්තැම්බර් 27 වනදා මේ ආයතනය වෙත එන කොට දරු ගැබට මාස 06 යි. ප්‍රසූත කිරීමට සිටින දරුවා හදා වඩා ගැනීමට වෙනත් පාර්ශ්වයකට දීමට එකඟ වුණා. මම තවමත් ක්ලින්ක් යනවා. මෙලෙස දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින හා දරුවන් ප්‍රසූත කළ කාන්තාවන් පොලිසිය හමුවේ කළ පාපොච්චාරණවලින් මංජුල උක්වත්ත නමැත්තාගේ නම සහ ඔහු විසින් පවත්වාගෙන යන මොරටුව සී.එස්.සී. ආයතනය ගැන තොරතුරු මතුවෙයි. මේ මවුවරුන්ට දරුවන් වෙනත් පාර්ශ්වයකට හදා වඩා ගැනීමට භාරදීම සමාජ සත්කාරයක ස්වරූපයෙන් කර ඇති මොහු දරුවන් හදා වඩා ගැනීමට භාර දෙන පාර්ශ්ව වෙතින් ලක්ෂ එක හමාරත් තුනත් අතර මුදලක් උපයා ගන්නා බව අනාවරණය වී ඇත.

එෆ්. අස්ලම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.