Dec 09

ධම්මික පැණිය හා මහාචාර්ය පරීක්‍ෂාව


ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්‍ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්‍ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිව්වොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත්, වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්‍ෂා කරනවා ද?

මහාචාර්යවරුන් ඊනියා පර්‌යේෂණ සඟරාවල පත්‍රිකා පළ කරල ඇති. අපි නොදන්න පත්‍රිකා. මාත් එකමත් එක කාලයක මහාචාර්යවරයකු වුණාට ඔය මහාචාර්යවරුන් තරන් පත්‍රිකා පළ කරල නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්ත්වය. බටහිර විද්‍යාවෙ මට ඇතිවෙල තියෙන්නෙ අදහස් පහක් විතරයි. එකක් භ්‍රමණය වන (කැරකෙන) වස්තුවක් කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්‍රක්‍ෂේපණය කළොත් (විසි කළොත්) ඒ අංශුව ටික වෙලාවකින් පස්සෙ අර කැරකෙන වස්තුව පැත්තට ම වස්තුව වටේ කැරකැවෙන්න පටන් ගන්න ඕන කියන එක, දෙක දුර තියෙන මන්දාකිණියකින් අප වෙත එන ආලෝකය වෙනත් මන්දාකිණියක් මැද්දෙන් එන විට ප්‍රතිබිම්බ දෙකකට වඩා හැදෙන්න පුළුවන් බව, තුන ක්වොන්ටම් භෞතිකයට නව අර්ථකථනයක් දීම (අංශුවකට එකවර සිදුරු දෙකකින් යා හැකිය ආදී වශයෙන්), හතර අයින්ස්ටයින්ගෙ විශ්වවවේදී නියතය නියතයක් වීම අනවශ්‍ය බවට වූ අදහස අවකාශ කාලයත් තවත් ශක්ති විශේෂයක් වීම නිසා. 

පස්වැන්න ගණිතයේ ඊනියා සත්‍යයක් නැතැයි කියන්න හා බටහිර විද්‍යාවෙ අදහස් පහළ වීම ගැන අදහස. පළමු අදහස් දෙක මා උපාධිය කරන කාලයෙ ලැබුණු දේ. තුන්වැනි හා හතරවැනි අදහස් දෙක කැලණියේ සිසුන්ට පශ්චාත් උපාධි සඳහා උපදෙස් දෙන්න ගිහින් ලැබුණු දේ. පස්වැන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධියකට සම්බන්ධවීමෙන් ලැබුණු අදහසක්. පළමු අදහස් තුන ම අද පිළිගැනී තියෙනවා. හතරවැන්න ඇදි ඇදී යනවා. පස්වැන්න ගැන තමයි අද ටිකක් ලියන්න හිතුණෙ.

මා බටහිර විද්‍යාව ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මා එහි අලුත් දේ කියවනවා. ඒ මොන පට්ටපල් බොරු ද කියා හිතනවා. මා ඉදිරිපත් කර ඇති අදහස් පහත් පට්ටපල් බොරු. ඒකට කමක් නැහැ. මේ හැම තැන ම තියෙන්නෙ යම් අදහසකට විශ්වාසය ඇති කිරීම නැත්නම් දිනා ගැනීම පිළිබඳ කතාව. මිනිසුන්ට අදහස් පහළ වෙන්නෙ කොහොම ද කියන එක ගැන කිසිවකුට කිසිම අදහසක් නැහැ. අපට පුරුදු කරල තියෙනව විශ්වාසය ඇති කර ගන්න නම් බටහිර ක්‍රමයට ඒ කළ යුතුයි කියා. අප මහාචාර්ය කමිටුවට කියල පැණිය ගැන විශ්වාසය හරි අවිශ්වාසය හරි ඇති කරන්න කියා.

අප යමක් ගැන කල්පනා කරන විට එක එක අදහස් එනවා. ඒක හොරකමක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තන් හඳට යන එක ගැන වෙන්න පුළුවන්. කෙක්‍යුලෙට බෙන්සීන් අණුව පිළිබඳ අදහස ඇවිත් තියෙන්නෙ හීනෙන්. ඒකෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. හැබැයි එයා බෙන්සීන් ගැන කල්පනා කර කර ඉඳලා තියෙන්න ඕන. එහෙම නැතුවත් අදහස් එන්න පුළුවන් ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ අතර වෙනත් අයගෙන් ද අදහස් ලැබෙනවා. ඒ වෙනත් අය අදාළ ප්‍රශ්නය ගැන හිතල තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කොහෙ හරි අදහස අහල දැකල තියෙන්න ඕන.

ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අදහසක් ලැබිල තියෙනවා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන්. අදහස හීනෙන් ලැබුණ ද භූතයකුගෙන් ලැබුණ ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍ය වන්නේ ලැබුණු අදහස අදාළ ගැටලුව සම්බන්ධයෙන් වැඩ කරනව ද යන්න. වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වෙනත් අදහසක් ලැබුණොත් එයත් වැඩ කරනව නම් අපට තෝරා ගැනීමකුත් තියෙනවා. අපට වඩා, ගැළපෙන අදහස යොදා ගන්න පුළුවන්.

දැන් අදහසක් වැඩ කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ කොහොම ද? ඒකටත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. හරියන එකක් ලැබෙන කම් නැහැසුම් සැහුම් ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගයක් සම්බන්ධයෙන් නම් රෝගීන් සුව වෙනව ද කියල බලන එක. එය බලන්න බටහිර වෙදකමේ යම් ක්‍රමයක් තියෙනව කියනවා. අප ඒ ක්‍රමය ම අනුගමනය කරන්න ඕන ද? බටහිර ක්‍රිස්තියානි දැනුම් යටත්විජිතවාදයෙන් අපට කියන්නෙ ඒ ක්‍රමය ම පමණක් යොදා ගන්න ඕන කියල. ඔය මහාචාර්යවරුන්ගෙ කමිටුව පත් කරල තියෙන්නෙ ඒ සඳහා.

මේ මහාචාර්ය පරීක්‍ෂාවෙන් පස්සෙ පැණිය අසාර්ථක කියල තීරණය වෙන්න (කරන්න) පුළුවන්. එය ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු ගැන විශ්වාසයක් ඇති අය ඔහුගෙන් බේත් ගනීවි. ඔහුට වඩා මහාචාර්යවරුන්ගෙ පරීක්‍ෂාව ගැන විශ්වාසයක් ඇති අය බෙහෙත් නොගෙන සිටීවි. එහෙත් අනෙක් පැත්ත වුණොත් ඒක බටහිර වෙදකමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බටහිර වෙදකමට කොවිඩ් 19ට මොන අර්ථයකින්වත් බෙහෙතක් ප්‍රතිකාරයක් නැහැ. එන්නත් කිහිපයක් ගැන නම් කියැවෙනවා. ඒත් ඔය එන්නත් අප වැනි රටවලට ලැබෙයි ද? ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට පහසුකම් තියෙනවා ද? බටහිර රාජ්‍ය පාලක පාලිකාවන්ට අනේ දිළිඳු රටවලට එන්නත යොදා ගන්න බැහැ කියල කිඹුල් කඳුළු හෙළන්න නම් පුළුවන්.

පැණිය සාර්ථක කියල පෙනුණොත් බටහිර වෙදකමේ ගෞරවය, පිළිගැනීම, මහේශාක්‍යභාවය ආදියට ප්‍රශ්න ඇති වෙනවා. මහාචාර්යවරු තමන්ට ම ප්‍රශ්න ඇති කර ගනීවි ද? සියතින් ගෙල සිඳ ගනීවි ද? පැණිය අසාර්ථක කියල පෙන්නුවොත් ධම්මික වෙදමහතාට ප්‍රශ්නයක් වන්නෙ නැහැ. එහෙත් පැණිය සාර්ථක වුණොත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් වෙනවා. බටහිර වෙදකමේ මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් වෙනවා.

ධම්මික වෙදමහතා තම වට්ටෝරුව අනෙක් අයට නොදීම පිළිබඳ ව මහා දාර්ශනිකයාට මහා ප්‍රශ්නයක් වෙලා. ඔහු පේටන්ට් ගන්නෙ නැත්තෙ මොකද වගේ බටහිර ක්‍රමයෙ ප්‍රශ්න අහනවා. අපේ ක්‍රමයෙ පේටන්ට් නැහැ. දැනුම පොදුවෙ බෙදා හැරීමක් ගැනත් කතාවක් නැහැ. අපට එක ප්‍රශ්නයකට විසඳුම් රාශියක් තියෙන්න පුළුවන්. ඒ වගේ ම අප දන්නවා නුසුදුසු පුද්ගලයන් අතට විසඳුම්, අදහස් හා පොදුවේ දැනුම ගියොත් වෙන්න පුළුවන් දේ. අපේ ගුරුමුෂ්ටි කියල කතාවක් තියෙනවා. දැනුම දෙන්න ඉස්සෙල්ල පරීක්‍ෂා කරනවා. ඒව බටහිර පරීක්‍ෂා ක්‍රම නො වෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් නො වෙයි. මතකනේ ගුත්තිල ඇදුරන් මූසිලට දැනුම දෙන්න ප්‍රතික්‍ෂේප කළා. දුදනන් හට පිහිට වීමෙන් නරකක් වෙන බව දැක්ක. එහෙත් දෙමව්පියන්ට කීකරු වුණා. මූසිලයෙක් බිහි වුණා.

බටහිර ඖෂධ අදාළ සමාගම් සමග බැඳිලා. ආයුධ වෙළෙඳාම හා ඖෂධ වෙළෙඳාම අධික ලාභ උපයනවා. රොකෆෙලර්ලා අධික ධනවත්තු. පේටන්ට් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන් වෙනුවෙන්. බටහිර වෙදකම ධනපති ක්‍රමය සමග ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනව නම් ඓන්ද්‍රිය (organic) ව බැඳිල. බටහිර වෙදමහත්වරුත් සෑහෙන පිරිසක් බැඳිල. බටහිර දැනුම ධනපති ක්‍රමය සියල්ල එක ම චින්තනයක ක්‍රියාත්මක වෙන්නෙ. මහාචාර්ය පරීක්‍ෂාව දිහා අපි ඕනෑකමින් බලා ඉන්නවා. ඕනෑකම මොන නෑකමටත් වඩා ඉහළයි කියනව නෙ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.