Oct
01
ලිංගික අපයෝජනයක් කල චීවරධාරියාට වසර 20ක සිර දඬුවමක්
දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණයේ වසර එකොළහක් තිස්සේ විභාගයට ගැනුණු ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වූ නඩුවක තීන්දුව ප්රකාශයට පත් කරමින් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් ඊයේ 30 එම නඩුවේ විත්තිකරුවූ චීවරධාරීවරයකුට අවුරුදු 20 ක බරපතළ වැඩසහිත සිර දඬුවමක් නියම කළේය.
සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 25,000 ක දඩයක් ද වින්දිතයාට රුපියල් 500,000 ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා දඩය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිරදඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 24 ක සිරදඬුවමක් ද නියම කළේය. මෙසේ බරපතළ වැඩ සහිත 20 වසරක සිරදඬුවම් නියම වූයේ වක්වැල්ලේ චූලාලංකාර නම් චීවරධාරියකුටය.
ලිංගික අපයෝජනයට ලක්වූ එවකට කුඩා හිමිනමක වූ වින්දිත අය මේ වනවිට චීවරය අතහැර ගිහි ජීවිතයට ඇතුළුව සිටී. 2009. 07. 01 වෙනිදා සිට 2009. 07. 31 වන දින දක්වා කාලය තුළ මෙම අපයෝජනය සිදුව ඇත. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කරුණු ඔප්පුවී ඇති බවත් විත්තිකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දු කරමින් විනිසුරුවරයා තීන්දුව ප්රකාශයට පත් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි